
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගය සිකුරාදා වනවිටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙමින් තිබූ අතර මෙහි තීන්දුව ලබන සතිය මුල ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අගවිනිසුරු ප්‍රධාන සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගය දෙවැනි වරට පසුගිය 4දා ආරම්භ විය. අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම විනිසුරු මඩුල්ලට බුවනෙක අලුවිහාරේ, සිසිර ආබ, ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ඇතුළත් වූහ.
මෙම පෙත්සම් මුල් අවස්ථාවේදී සලකා බැලූ අගවිනිසුරු ප්‍රධාන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා පසුගිය 9දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය දෙසැම්බර් 07දා දක්වා අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලදී. අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පසුගිය 13දා සිය ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත් කර තිබිණ.
පෙත්සම් විභාගයට නියම කළ විනිසුරු මඬුල්ල ඒ පිළිබඳ විභාගය දෙසැම්බර් 4, 5 හා 6 යන දිනවල එකදිගට පැවැත්වෙන බවට නියෝග කළේය. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කිරීමට පසුගිය 26දා අගවිනිසුරුවරයා නියෝග කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පස්දෙනකු ඉදිරිපත් කළ මෝසම් සලකා බැලීමෙන් අනතුරුවය.
ඒ අනුව සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගය පසුගිය 4දා ඇරඹුණු අතර එහිදී මුලින්ම පෙත්සම්කාර දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ඊ. කනග් ඊශ්වරන් මහතා මූලික වශයෙන් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක ඉල්ලීම මත හෝ පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමෙන් අවුරැදු 4 ½කට පසුව හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පමණක් ජනාධිපතිට බලය තිබුණද එම දෙආකාරයට හැර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිට නොමැති බවය. එසේම රටේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථාපිතව පැවරී ඇති වගකීම අනුව ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම, ජාතියේ සමගිය හා සංහිඳියාව ඇතිවන පරිදි කටයුතු කිරීමට බැඳී සිටින්නේ යැයිද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ඔහු මෙසේද පවසා සිටියේය.
“ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති මුලින් කී බලතලවලට අමතරව ඔහුට අයත් කාර්ය හා බල අධිකාරියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒවාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලයද අඩංගු වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තියේ ඒ කරුණ පැහැදිලිව සඳහන්. ඒ අනුව පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වී වසර 4 ½කට පසුව එය විසුරුවා හැරිය හැකි අතර එයට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 2/3ක ඉල්ලීම මතද විසුරුවීමට පුළුවන්. මේ දෙආකාරය හැර වෙනත් බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී නැහැ. ඒ අනුව ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවාලමින් පසුගිය 4දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය නීතියට පටහැනියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(1) වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්වයි.”
මේ අනුව ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා මෙසේ කරුණු දැක්වීය.
“පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1), 33 සහ 62 යන වගන්ති ප්‍රකාරවයි. 62(1) වගන්තියෙන් කියැවෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම පිළිබඳ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමයි. මෙම අවස්ථා සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තියේ විධිවිධානවලට යටත්. එම වගන්ති වෙන වෙනම ගෙන සලකා බලන්න බැහැ. එසේ වුවහොත් ව්‍යාකූල තත්ත්වයක් ඇතිවෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධීයි. ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස කියා සිටිනවා.”
මෙහිදී ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ තර්කයක් වූයේ මෙය පුද්ගලයකුට රියැදුරු බලපත්‍රයක් දීම වැනි ක්‍රියාවක් බවයි. යෙමකුට රියැදුරු බලපත්‍රයක් ලැබුණාම ඒකෙන් කියන්නේ නැහැ තමන්ට ඕනෑ හැටියට රිය පදවන්න පුළුවන් කියලා. ඔහු මාර්ග නීතිවලට යටත්ව රිය පැදවිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චිරාන් කොරයා මහතා පැවසුවේ මෙම ගැසට් නිවේදනය නිසා ජනතාවට ලැබී ඇති සර්වජන ඡන්ද බලය දුර්වල වන බවයි. ඡන්දයෙන් ජනතාව වසර 5කට ව්‍යවස්ථාදායකයට බලය දී ඇති අතර එසේ දී ඇත්තේ ඔවුන්ගේ ස්වාධිපත්‍යය බලය බව ඔහු පෙන්වා දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 88 වගන්තිය ප්‍රකාරව ජනතාවගේ ස්වෛරී බලය මෙලෙස විධායකයට සහ ව්‍යවස්ථාදායකයට ලබා දී ඇති නිසා එම බලය කපාහැරීම ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් බවද ඔහු පැහැදිලි කළේය.
නීතිඥ ලාල් විජේනායක මහතාගේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ලබා දී ඇති බලය හා විධිවිධාන වෙන වෙනම ගෙන කතා කළ නොහැකියි. ඒවා සියල්ල සමස්තයක් වශයෙන් සලකා බැලීම අත්‍යවශ්‍ය වෙනවා.”
ජනතා විමුක්ති පෙරමුණේ පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා අවධාරණය කළේ මෙම විසුරුවාහැරීම සාධාරණීකරණය කරමින් ජනාධිපති ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු පිළිගත නොහැකි නිසා එය ඉවත දමන ලෙසටය.
නඩුව විභාග කළ දෙවැනි දිනයේදී නීතිපති, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා සත්පුද්ගල විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේ මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවය. මෙය ඔහු මෙයට පෙර මෙම පෙත්සම් පිළිබඳ ඉදිරිපත් කළ අදහස්වලට වඩා ඔබ්බට ගිය තර්කයකි. ඒ නිසා පෙත්සම් 13 විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
විනිසුරු මඩුල්ල හමුවේ නීතිපතිවරයා පැවසුවේ මෙම පෙත්සම් මගින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි චෝදනා එල්ල කළද ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අවස්ථාවක ඒ ගැන ගත යුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2)(අ) වගන්තියෙන් පැහැදිලි කර ඇතැයි යන්නය. ඔහු අවධාරණය කළේ මෙම ප්රතිපාදනය ප්‍රයෝජනයට ගනිමින් ජනාධිපතිට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග යෝජනාවක් සම්මත කරගෙන එම යෝජනාව හරහා ජනාධිපතිට එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ යුතු බවය. එහිදී අධිකරණය චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා වාර්තාව කතානායකවරයා වෙත යොමුකළ යුතු අතර ඒ අනුව කතානායක තීරණයක් ගන්නවා ඇත.
ඔහු පෙන්වා දුන්නේ මෙම ක්‍රියාමාර්ගයෙන් බැහැරව මේ ආකාරයට ජනාධිපතිගේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට නොහැකි බවය. ජනාධිපතිවරයා යම් හෙයකින් ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ නම් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගත යුත්තේ පාර්ලිමේන්තුව මිස අධිකරණය නොවන බවද නීතිපති පෙන්වා දී තිබිණි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට ඉඩ තිබුණද, 125 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම පිළිබඳ ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ නොහැකි බව නීතිපති පැවසීය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වෙන්නේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවයි. ව්‍යවස්ථාදායකයේ අධිකරණ බලය අධිකරණය ඇතුළු අනෙකුත් ආයතන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ රාමුව තුළ සිට ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය වුවද සිය අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුතු වන්නේ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුවයි. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති නම් ඒ සඳහා පියවර ගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(ආ) වගන්තිය අනුවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය අනුව අපරාධමය නඩු කාර්යයක් හැරෙන්නට ජනාධිපතිගේ ක්‍රියා පිළිබඳව ඔහුට අධිකරණ මුක්තිය ලබා දී තිබෙනවා. ආණ්ඩුවේ රාජ්‍ය නායකයා මෙන්ම, ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායකයා ලෙසට විධායක ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ලබා දී තියෙනවා.”
විධායක හා පරිපාලන ක්‍රියාවක් කිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව නැති බැවින් මෙම පෙත්සම් 13ම විභාග නොකර නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ව්‍යවස්ථාවට අනුව බව සපථ කරමින් විවිධ සංවිධාන සහ පුද්ගලයන් විසින් අතරමැදි පෙත්සම් 17ක් ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳ කරුණු දැක්වීම් 6 සහ 7 යන දිනවල පැවැත්විණ.
මෙම පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට අධිකරණය ඇමැතීමට ඉඩ ලබාදීම නිසා මුලදී ශ්‍රේෂ්ඨාධිකරණය 4, 5, 6 යන තෙදින පෙත්සම් සියල්ල විභාග කර අවසන් කිරීමට බලාපොරොත්තු වුවද එය කළ නොහැකි විය. එය 7දා ද පැවැත්වීමට සිදුවිය.
ඒ අනුව මැතිසබය විසුරුවාහැරීම පිළිබඳ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය 7දා දක්වා අත්හිටුවමින් නොවැම්බර් 13 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය 10දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
අභියාචනාධිකරණය අගමැති හා ඇමැතිවරුන්ගේ රාජකාරි අත්හිටවූ නඩු තීන්දුව
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයටද, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ටද සිය තනතුරුවල කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගිය 3දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
අගමැති ඇතුළු ඇමැති මණ්ඩලය සිය ධුරවල රාජකාරි කිරීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්රගතිශීලී සංවිධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබිණ.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ 49 දෙනා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් කර තිබිණ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලුණි. අර්ජුන ඔබේසේකර විනිසුරුවරයාගේ එකඟතාවයෙන් යුතුව සභාපති විනිසුරුවරයා මෙම නියෝගය 3දා සවස 3.30ට පමණ ප්‍රකාශයට පත් කළේය.
පෙත්සම්කරුවන් 122 දෙනා 225ක් වූ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවේ බහුතරය බව අභියාචනාධිකරණය පිළිගෙන ඇති ඇති අතර පසුගිය නොවැම්බර් 14 හා 16 දිනවල වගඋත්තරකරුවන්ගේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවද අධිකරණය පිළිගෙන ඇත.
වගඋත්තරකරුවන් පවසා සිටියේ අතුරු නියෝගයක් නිකුත් කළහොත් රටේ අගමැති හෝ ඇමැති මණ්ඩලයක් නොමැතිව රට අරාජික වන බව අතර පෙත්සම්කරැවන් පෙන්වා දෙන්නේ වගඋත්තරකරැවන් සිය ධුරවල කටයුතු කිරීම නීතියට පටහැනි බවය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූවිට පහසුවේ සමබරතාව (balance of convenience) යන මූලධර්මය අනුව වැඩිපුර පාඩුව සිදුවන්නේ පෙත්සම්කරුවන්ට බව අධිකරණය පිළිගෙන තිබේ.
ජාත්‍යන්තරව සහ රටේ තත්ත්වය පිළිබඳ සලකා බලන විට ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් රටට සිදුවන හානිය අවම කළ යුතු බවද අධිකරණය කියයි. ඒ අනුව වගඋත්තරකරුවන්ට පෙත්සම විභාග කර අවසන් වනතුරු සිය ධුරවල කටයුතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කරයි.
වගඋත්තරකරුවන්ට ලබන 12 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කළ අතර, ඊට අමතරව වගඋත්තරකරුවන් සිය ධුරවල කටයුතු කරන්නේ කුමන පදනමක් මතදැයි අධිකරණයට දැනුම් දෙන ලෙසද අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අභියාචනාධිකරණයේ මෙම නියෝගයට එරෙහිව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් විසින් පසුගිය 4දා විශේෂ අභියාචනා පෙත්සම් දෙකක් ගොනුකර තිබේ.
►යසවර්ධන රුද්‍රිගු