2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

බස් ගාස්තුවට වෙන්නෙ මොකක්ද?

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

රටක පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව රටේ සංවර්ධනය මනින සාධකයකි. දියුණු රටවල පොදු ප්‍රවාහන සේවය පවතින්නේ ඉතා උසස් මට්ටමකය. රාජ්‍යය මෙන්ම පෞද්ගලික අංශය මගින්ද ප්‍රවාහන සේවා සපයන නිසා බොහෝ රටවල පොදු ජනයාට එමගින් සැලසෙන්නේ විශාල සේවයකි.

ඈත අතීතයේ සිටම ලංකාවේ අසුන් පිට යාමෙන් ඇරඹි මගී ප්‍රවාහනයට රික්ෂෝ බස් රථ ආදිය එක්වෙන්නේ ඉංග්‍රීසි පාලන සමය තුළදීය. 1907 වසරේදී කොළඹ සිට හලාවත දක්වා මගීන්ගේ ගමන් පහසුව සලසමින් පෞද්ගලික බස් රජයෙන් ධාවනය වී ඇති අතර එය මෙරට මගී ප්‍රවාහන ආරම්භය ලෙස සැලකේ.

මේ අනුව 1958 ජනවාරි 01 දින එවකට පැවති ආණ්ඩුව බස් රථ ජනසතු කර රාජ්‍ය ප්‍රවාහන සේවය ඇතිකළ අතර, මෙරට තුළ බිහිවූ ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් රාජ්‍ය ප්‍රවාහන සේවය බස්රථ පන්දහසකට සීමා වී පෞද්ගලික අංශයේ බස් රථ ප්‍රමාණය විසිපන්දහස ඉක්මවා ගොස් තිබේ.

කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් මාසයේ නව අගමැතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව අවස්ථා තුනකදී ඩීසල් ලීටරයක මිල රුපියල් 19කින් පහළ ගියද බස් රථ ගාස්තුවල සැලකිය යුතු වෙනසක් සිදු නොවීය.

ඩීසල් මිල පහළ ගිය පළමු අවස්ථාවේදී බස් ගාස්තු 2%කින් අඩු කෙරුව නමුත් දෙවැනි අවස්ථාවේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුකළේ නැත. බස්ගාස්තු යළි අඩු කිරීම කෙරෙහි සමාජයේ කතාබහක් ඇති වී ඇත්තේ තවදුරටත් ඉන්ධන මිල අඩු කෙරුණද බස් ගාස්තු සංශෝධනයක් නොවීමත් සමඟයි. මෙලෙස ඩීසල් මිල තෙවරක්ම අඩුවීමෙන් පසුව බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවීම පිළිබඳ ජනතාව තුළ පවතින කතාබහත් සමඟ බස් ගාස්තු සංශෝධනය සිදු නොවනා කාරණය පිළිබඳව අපි බස් සංගම් කිහිපයකින් විමසීමක් කළෙමු.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න:

පසුගිය 5 වැනිදා පැවති සාකච්ඡාවේදී අපි එකඟ වුණේ ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය නැවත ප්‍රතිව්‍යුහගත කරන්න. මේ මාසේ 21 වැනිදා වෙනකොට පසුගිය කාලයේ ඩීසල් මිල ඉහළ ගියාම අපි කිව්වා 10%ක් බස් ගාස්තු ඉහළ නංවන්න කියලා. නමුත්, මේ ප්‍රතිපත්තියට පිටින් ගිහින් 12% වැඩිවීමක් අපිට ලබා දුන්නා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. මේ පහුගිය කාල සීමාව තුළදී රුපියල් 07කින් ඩීසල් අඩු වූ වෙලාවේ අපි 2% බස් ගාස්තු අඩු කළා. ඒ වගේම බස්වල සේවක පඩි නඩි, ටයර් ටියුබ්වලට යන වියදම බස් රථ අලුත්වැඩියාවට යන මිල ඒ වගේම බස් රථවල මිල වැඩිවීමක් වෙලා තියෙනවා. මේ සියලු කාරණා දිහා බැලුවහම මිල සංශෝධනයක් සිදු කිරීම පිළිබඳව වැඩිදුර විමසීම් කර බලන්න ඕන. මේ සියලු පිරිවැයන් බලලා ලබන 21 වැනිදාට යළි රැස්වෙන්න තීරණය කළා. ජනතාවට සහන ලබාදෙන්න පුළුවන්ද කියලා බලන්න.

දකුණු පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති චන්දන සොයිසා:

තෙල් මිල පහළ යාමක් සිදුවුණා තමයි. ඒ වුණාට බස් රථ සඳහා යන පිරිවැය ඉහළ ගිහින් තිබෙනවා. ඒ වගේම බස් රථවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. අමතර කොටස් මිල ඉහළ ගිහින් මේ විදියට පිරිවැය ඉහළ ගිහින් තිබෙන කොට ඒ සම්බන්ධව තීරණයක් ගන්න බස් සංගම් එකවර කැමැත්තක් පළකළේ නැහැ. කොහොම වුණත් ලබන 21 වැනිදා අපි නැවත රැස්වෙලා මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි අපගේ ස්ථාවරය දැනුම්දීමට සූදානම්.

සමස්ත ලංකා පෞද්ගලික බස් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්:

"ඩීසල් මිල අඩුවුණා කියලා බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය අනුව නම් අඩුවීමක් සිදුවෙන්නේ නැහැ නීත්‍යානුකූලව. මොකද හේතුව ජාතික ප්‍රතිපත්තියේ සඳහන් වෙලා තියෙනවා ඩීසල් මිල 4% අඩු වුණොත් විතරයි වාර්ෂික බස් ගාස්තුවට අමතරව බස්ගාස්තුව සංශෝධනය කළ හැක්කේ කියලා. කොහොම වුණත් බස් ගාස්තු යම් සංශෝධනයක් කරලා මගීන්ට සහනයක් දිය යුතුයි කියන මතයේ අපේ සංගමය ඉන්නවා. ඒ වගේම පහුගිය 05 වැනිදා ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ක අපි කළ සාකච්ඡාවේදී ඒ අයට දැනුම් දුන්නා මාසික බස් ගාස්තුව නිර්මාණය කරන ආකාරයට ගණනය කරලා මේ සියලු අඩුවීමක් පාදක කරගෙන බස් ගාස්තුව යම්කිසි ගණනකින් අඩු කළ හැකිද කියලා. ජාතික ගමනාගමන කොමිසමෙන් අපි ඉල්ලීමක් කළා. ලබන 21 වැනිදා මේ සංශෝධනයන්වලින් අනතුරුව මේ බස්ගාස්තු අඩුවන ආකාරය ගැන ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි."

කෙසේ නමුත් ජනතාව පවසනා ආකාරයට බස් සේවාවේ ගුණාත්මකභාවය දිනේන දිනම පහළට ඇද වැටෙමින් තිබෙන බව පැහැදිලි කාරණාවකි. නමුත් බස් සේවාව පවත්වාගෙන යෑමට නම් සෑම වසරකම වියදමට සරිලන ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුය. මේ අනුව 2002 වසරේ සිට බස් ගාස්තු සං‍ශෝධනය සහ ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබේ. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය ලෙස හැඳින්වෙන මෙම ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි පළමුවැනිදා ගාස්තු සංශෝධනයක් සිදුකළේ. එහෙත් අධික ලෙස ඩීසල් මිල ඉහළ පහළ ගොස් තිබෙන අවස්ථාවල බස්ගාස්තු සංශෝධනය වූ අවස්ථා ඇති අතර මෙවර තෙවරක්ම ඩීසල් මිල අඩු වුණද බස්ගාස්තු සංශෝධනයක් සිදු නොවීම තුළ ජනතාව තුළ ඇත්තේ කුකුසකි.
බස් ගාස්තු සංශෝධනය නොවීම පිළිබඳව සමස්ත ලංකා බස් මගී සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුංවත්ත මෙසේ කීය.

මේ වෙනකොට ඉන්ධන මිල තුන් වතාවක් සංශෝධනය වෙලා තියෙනවා තමයි රුපියල් 19කින්. නමුත් මේ වෙනකම් තාම බස් ගාස්තු සංශෝධනයක් සිදුවෙලා නැහැ. 21 වැනිදා මේ සම්බන්ධව අවසන් තීන්දුවක් ලබාදෙනවා කියලා තමයි ප්‍රවාහන බලධාරීන් වගේම බස් රථ හිමියන්ගේ සංගම් පවසන්නේ. ඉන්ධන මිල යම් ඉහළ යාමක් සිදුවුණහම බස් රථ ගාස්තු ඉහළ යනවා. ඉන්ධන මිල පහළ ගියාම තමයි මේ අය මේ බාස්ගාස්තු සංශෝධනයට ප්‍රමාදයක් දක්වන්නේ. මේ විදියට සාකච්ඡා කරමින් කල් අදින්නේ ඇයි? මේ විදියට මොවුන් කරනා මේ ගාස්තු සංශෝධනය ප්‍රමාද වීම ගැන සමස්ත ලංකා බස් මගී සංගමය විදියට අපි විරෝධය දක්වනවා. ඒක මගී ජනතාවට කරන අසාධාරණයක්. ප්‍රවාහන බලධාරිනුත් බස් හිමියන් ගැන විතරයි බලන්නේ. බස් මගීන් ගැන බලන්නේ නැහැ. අපි කියන්නේ ප්‍රමාණවත් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතුයි කියලා. මේ විදියට තත්ත්වය තව සතියක් දෙකක් පැවතුණුහොත් ප්‍රවාහන නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට යන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

 හසිත් අංජන