2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

01. රටේ පවතින දේශපාලන අර්බුදය දින හතකින් විසඳන බවට ජනාධිපතිවරයා පවසනවා. මේ ගැන විශ්වාසය තියන්න පුළුවන්ද?

02. මෙම දේශපාලන අර්බුදය හේතුවෙන් රජයේත් පෞද්ගලික අංශයේත් වැඩකටයුතු අකර්මන්‍ය වෙලා තියෙනවා කියලා පැහැදිලිවම පේනවා. නමුත් රටේ පාලනය බාර දේශපාලකයන් පවසන්නේ එහෙම තත්ත්වයක් නොමැති බවයි. කොහොම කිව්වත් රටේ ආර්ථිකය අගාධයටම යන එක වළක්වන්න බැරි බවකුත් පේනවා. මේ තත්ත්වය කොතරම් කාලයක් මේ විදිහට යයිද?

03. වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය, කොටි මහවිරු සැමරුම් සහ ඩයස්පෝරාව මතින් කොටි මතුවෙන බවක් පහුගිය දින කිහිපය තුළ ප්‍රකාශවල සඳහන් වුණා. මොකද්ද මේකේ යථාර්ථය?

04. බොහෝ දෙනකුගේ මතය වෙලා තියෙන්නේ මහ මැතිවරණයක් අවශ්‍යයි කියලා. මේ ගැන ඔබේ මතය මොකද්ද?

ගැටලුව අද හෙටම විසඳනවා
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ (එජනිස මන්ත්‍රී)

01. පාර්ලිමේන්තුව විසුරෙව්වේ නැතත් වෙනත් ආණ්ඩුවක් පත්කිරීමේ බලාපොරොත්තුවක් ජනාධිපතිතුමාට ඇති. ඒ වගේම රට වශයෙන් ගත්තත් කවර ආකාරයෙන් සැලකුවත් මෙම ප්‍රශ්නය ඉක්මනින් විසඳා ගැනීමට අවශ්‍යයි. මේ විදිහේ මොන යම් හෝ කරුණු කාරණා අතැතිව තමයි එතුමා මෙහෙම ප්‍රකාශයක් සිදු කරන්න ඇත්තේ. එතුමාට මේ සම්බන්ධ තීරණයක් හැකි ඉක්මනට ගැනීමට පුළුවන් වෙන්න කියලා අපිත් ප්‍රර්ථනා කරනවා.

02. මේ තත්ත්වය ඉතාම ඉක්මනින් අවසන් වෙයි කියන පොදු මතයේ අපි ඉන්නවා. ඒ වගේම ජනාධිපතිවරයා නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමෙන් පසුව මෙම තත්ත්වය ඇති වුණේ නැහැ. ඒ වගේම ඉතා පැහැදිලිවම කියන්න ඕන පොදුජන පෙරමුණ මේ කිසිදු ආයතනයක් අකර්මණ්‍ය වීමට වගකිව යුතු නැහැ කියලත්. කොහොම වුණත් රටේ ඇති වෙලා තියන දේශපාලන අර්බුදය විසඳාගැනීමට අවශ්‍ය කටයුතු මේ වෙනකොට සිදුකරමින් පවතිනවා. කා ළඟ බලය තිබුණත් මේ තත්ත්වය ඉදිරි සතිය ඇතුළත විසඳෙයි කියලා අපි හිතනවා.

03. සැබැවින්ම ගත්තොත් මේ වසරේ මහවිරු සැමරුම පෙර වසර තුනට සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පැවතිය බව ඔබ සැමට පැහැදිලි ඇති. ඒ නිසා උතුරේ තැන තැන හිස ඔසවමින් තිබෙන සංවිධානාත්මක කල්ලි අපහසුතාවයට පත් වී එහි ප්‍රතිවිපාකයක් හැටියට  මේ පොලිස් නිලධාරීන් දෙදෙනාට ජීවිත පූජා කිරීමට සිදු වූ බව තමයි අපගේ විශ්වාසය. ඒ වගේම පසුගිය මාසයක පමණ කාලය තුළ ඔවුන්ගේ බලය අඩපණ වූ බවත් නව රජය යටතේ  මහවිරු සැමරුම සීමා සහිතව කිරීමට සිදු වූ බවත් සැම දෙනෙක්ම පිළිගන්නවා.

04. බොහොම පැහැදිලිව රටේ ඇතිවෙලා තියන අරාජික තත්ත්වය එක්ක ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන තුන් පැත්තම සලකා බැලීමේදී අපිට පේන දේ තමයි මැතිවරණයක අවශ්‍යතාවය. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා නැවත මැතිවරණයකට යා යුතුයි කියලා පැවසුවා. අපිත් මුල ඉඳන් දරන ස්ථාවරය තමයි ඒක. ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ලබාදීලා මහ මැතිවරණයකට ගිහින් මේ අර්බුදය විසඳා ගැනීමට හැකිවෙයි කියලා අපිට විශ්වාසය තියෙනවා.

බලෙන් හරි බලය ගන්න මෙච්චර දඟලන්නේ ඇයි?
රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

01. පසුගිය ඔක්තෝබර් 26න් පස්සේ අද වෙනකම් ජනාධිපතිවරයා ගත්ත ක්‍රියාමාර්ග සලකලා බලන විට එතුමාගෙන් එහෙම විශ්වාසයක් අපේක්ෂා කරන්න බැහැ. ඔය දැන් එතුමා කියන සතියක කාල සීමාවත් ප්‍රකාශයක් විතරයි.

02. දේශපාලකයෙකුට වඩා පුරවැසියෙක් විදිහට රටේ ඇතිවෙලා තියන තත්ත්වය ගැන බලනවිට බොහොම කනගාටුවක් හිතට දැනෙනවා. ඇත්තටම තිබුණු තත්ත්වයෙන් යම් පිම්මක් පනින්න උදා වෙච්ච වෙලාවක ජනාධිපතිවරයාගේ පෞද්ගලික අභිමථාර්ථයක් වෙනුවෙන් කරපු මේ දේ නිසා පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශයත් කඩා වැටිලා. ඒ වගේම තමයි ඇතැම් අමාත්‍යංශවල දෛනික වැඩ කටයුතු කරන්න ඕන මුදල් ප්‍රමාණයත් නැහැ. මේකට සම්පූර්ණයෙන්ම පසුගිය මාසය තුළ සිදුවුණ දේශපාලන අර්බුදය වගකිව යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

03. රටක රාජ්‍ය තන්ත්‍රය බිඳ වැටිලා තියන වෙලාවක ජාතිවාදය ආගම්වාදය ගොඩනැගෙමින් පවතින වෙලාවක ඔය වගේ සිද්ධි ඇති වීමට තිබෙන ඉඩකඩ වැඩියි. මේ වසරේ ඔක්තෝබර් මාසයෙන් පස්සේ බොහෝ දෙනා මේ දිහා බලන් ඉඳලා හිඩැස් තුළින් ප්‍රයෝජනය ගන්න බවක් පේනවා. කෙසේ හෝ අපි රටක් විදිහට කනගාටු වෙනවා. කිසිම දෙයක් අවුරුදු තුනහමාරක් තිස්සේ සිදු නොවුණු වෙලාවක මේ සිදුවුණු සිද්ධි සම්බන්ධව.

04. මේ රටේ ව්‍යවස්ථාවට එහා කතා කියන්න පුළුවන්. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්න බැහැ. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන මේ තුනේ එකඟත්වය සහ අවබෝධයකින් වැඩ කිරීමෙන් තමයි මෙම කටයුත්ත කළ යුත්තේ. ඒ නිසා මම මේ රටේ  ජනතාවට කියන කාරණාව තමයි ව්‍යවස්ථා සංශෝධනය එක්ක ප්‍රකාශ කරලා තියනවා. අවුරුදු 4 2/1 යනකම් මැතිවරණයක් තියන්න බෑ කියලා. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව සිතිය යුතුයි මොවුන් මේ බලයට එන්න දඟලන්නේ ඇයි කියලා.

කිරි පෙව් කොටි පැටව් දැන් හපා කන්න පටන් අරන්
පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

01. ජනාධිපතිතුමා බොහෝ විට බලාපොරොත්තු වෙනවා ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ලබා දෙන තීන්දුවක් සමඟින් විය යුතුයි.

02. මුලින්ම කියන්න ඕන රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබුණා. තවම තියනවා. කෙනෙක් එය නැහැ කියනවානම් ඒ ඇස් කන් නොපෙනෙන කෙනෙක්ම විතරයි නෑ කියන්න පුළුවන්. ඉතින් මේ ගැන අපිට දුකයි. නමුත් මේකට හේතුව මොකද්ද කියලා හොයලා බැලුවා අපි. මේකට හේතුව වුණේ ජනාධිපතිවරයා තමන්ට හිමි බලය පාවිච්චි කරලා පත්කරපු අගමැතිවරයා පිළිගන්න බැහැ කියලා කතානායකවරයා දැනුම්දීමත් සමඟයි. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පුළුවන් අගමැතිවරයකු පත් කරන්න. ඒ වගේම ඉවත් කරන්නත් බලය තියෙනවා. නමුත් කතානායකවරයාට එහෙම නැහැ. ඔහු නැති බලයක් ආයෝජනය කරගෙන බටහිර න්‍යාය පත්‍රවලට වැඩ කරන්න ගිය නිසා තමයි මේ අර්බුදය ඇති වුණේ. එය තමයි මේ ආර්ථික අර්බුදයක් දක්වාත් දුර දිග ගිය කාරණාවක් වූයේ.

03. අවුරුදු හතරක් පුරාවට පසුගිය ආණ්ඩුව කිරි පොවා හදාගත්ත කොටි පැටව් දැන් සපා කන්න පටන් අරගෙන. ඒ බලවේග තමයි මේ විදිහට මේ නැගිටින්නේ. නමුත් අපේ ආණ්ඩුව යටතේ වසර හතරකට පසුව මහවිරු සැමරුම නතර කරන්න කටයුතු කළා. පසුගිය කාලයේත් පොලිස් නිලධාරීන් උතුරේ ඝාතනය වුණා. අත්අඩංගුවට ගත්තේ නැහැ. නමුත් මේ සිද්ධියට සම්බන්ධ හිටපු කොටි ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවට ගත්තා අපේ මේ රජය යටතේ.

04. ජනාධිපති කියන්නේ විධායකයේ ප්‍රධානියා. කතානායකවරයා කියන්නේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා. ජනතාව අවස්ථා දෙකකදී මැතිවරණයෙන් මේ දෙකට ජනවරමක් ලබා දුන්නා. ඉතින් මේ අගමැති ධූරය ගැන විධායකය සහ ව්‍යවස්ථාදායකය බෙදී ඉන්නකම් ඒ ප්‍රශ්නය විසඳිය හැකි එකම බලවේගය ඒ දෙපාර්ශවයටම බලය ලබා දුන්න ජනතාවයි. ඒ නිසා ජනතාවට අගමැතිවරයකු තෝරා පත්කර ගැනීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම හැර වෙනත් ක්‍රමයකින් විසඳුමක් නැහැ.

විසඳුම මොකක් වුණත් ඒක සාධාරණ විය යුතුයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයියඩ් අලී සහීර් මවුලානා

01. ජනාධිපතිතුමා මීට කලිනුත් මේ විදිහේ ප්‍රකාශ සිදු කළා. නමුත් ඒවා කිසිවක් වුණේ නැහැ. මේ අර්බුදය ඉක්මනින් විසඳය යුතුයි. එමෙ නැති වුණොත් සිදු වෙන්නේ රට තවත් අරාජික තත්ත්වයකට යෑම පමණයි. ඒ වගේම එය සාධාරණ ආකාරයට කරයි කියන මතයේ අපි ඉන්න.

02. ඔව්. මාසයක කාලය තුළ රටේ සියලුම කටයුතු නැවතිලා කියලා අපිට මෙන්ම ජනතාවටත් පැහැදිලිවම දැකගන්න පුළුවන්. ගොඩනගාගෙන පැමිණි අර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටිලා. රටේ දේශපාලන අර්බුදය හේතුවෙන් බොහෝ රටවල් සංචාරකයන්ට දැනුම් දීලා කියනවා සංචාරය කරන්න එපා කියලා. මේ රටට විශාල ආදායමක් ගෙනාපු දෙයක් මේ විදිහට කඩා වැටෙන විට ආර්ථිකය කොහොමත් ගොඩ ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

03. අපිත් පසුගිය තැන්වල එවැනි සිදුවීම් කිහිපයක් දුටුවා. මෙවැනි කල්ලි නැගිටීම පාලනයට රටේ පොලීසිය මෙන්ම, ත්‍රිවිධ හමුදාව විසින් ක්‍රියාත්මක කළ යුතයි. කොහොමත් මෙවැනි සිදුබීම් අපි තරයේ හෙළා දකිනවා.

04. මේ දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණේ දැනට මසකට පමණ පෙර සිට. ඊට පස්සේ තමයි මේ බොහෝ අයට ඡන්දයක් අවශ්‍ය වුණේ. දේශපාලකයන්ගේ පටු අරමුණුවලට නෙවෙයි ජනතා මතයට ඇහුම්කන් දීලා මැතිවරණයකට යනවානම් අපිත් කැමැතියි.

දවස් හතේ විසඳුමක් ගැන විශ්වාස කරන්න බෑ
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අන්නාමලෙයි නඩේසු සිවශක්ති

01. එතුමා කියන කිසි දෙයක් ගැන මේ වෙනකොට විශ්වාසයේ තියන්න අමාරුයි. එතුමා මේ යහපාලන ආණ්ඩුව යටතේ බලයට පැමිණියේ දූෂිතයන්, හොරුන් පරාජය කරලා රට ගොඩ නගන්න. නමුත් ආයෙම එතුමා අර පරණ කල්ලියට තමයි එකතු වෙලා ඉන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ එතුමා කියන ඒවා කොහොමත් විශ්වාසයක් තියාගන්න අමාරුයි.

02. දැන් මාසයකට වැඩි කාලයක් රට තියෙන්නේ අස්ථාවරව. ආර්ථිකය පහළටම ඇද වැටිලා. විදෙස් රටවලින් රටේ සංවර්ධනයට ලබා දෙන මුදල් නතර කරලා තියෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසට මේ තත්ත්වය එක්ක රටේ ආර්ථිකය ගොඩ නගන්න බැහැ. තනිව ස්වාධීනව ඉන්න අපිට පුළුවන්කමක් නැහැ. මේ විදිහට තව දුරටත් රට අස්ථාවරව පැවතියහොත් රට මූල්‍යමය වශයෙන් කඩා වැටෙන එක නවත්තන්න බැරි වෙයි.

03. පසුගියදා වව්නතිව් ප්‍රදේශයේ සිදු වූ එම සිදුවීම සම්බන්ධව අපි ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. පසුගිය කාලය තුළ එවැනි දෑ සිදුවූයේ නැහැ. කොහොමත් නැවත මේ විදිහට විවිධ සංවිධාන හිස ඔසවලා මහජනතාව පීඩාවට පත් කරනවානම් ඒකටත් අපේ ලොකු කැමැත්තක් නැහැ. අපි එම සිදුවීම් හෙළා දකිනවා.

04. රටේ ජනතාවට මේ වනවිට අවශ්‍ය වෙලා තියන දේශපාලන අර්බුදය විසඳා ගැනීම තමයි පළමුව කළ යුත්තේ. එයට මහ මැතිවරණයක් අවශ්‍යයි කියලා ජනතාව කියනවනම් මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි. එහෙම නොමැතිව එකිනෙකාගේ දේශපාලන මතවාද ඉදිරියට ගෙන එමින් බලය තහවුරු කරගන්න මැතිවරණ තියනවානම් අපි ඒකට කැමැත්තක් දක්වන්නේ නැහැ.

අර්බුදය පටන් ගත්තේ ජනතාවයි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

1. මේ දේශපාලන අර්බුදය ආරම්භ කළේ ජනාධිපතිවරයා විසින්මයි. එහෙම බැලුවම මේක අපිට පේන්නෙ යකා කැඳෙව්වට පස්සෙ ගුරුන්නාන්සෙට පාලනය කරගන්න බැරි බවක්. ඉතින් එතුමා කිව්වට මේක දවස් 07න් බේරනවා කියලා ඒක බේරන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නෙ.

2. මේ දේශපාලන අර්බුදය නිසා ආර්ථික අර්බුදය ආවා නෙවෙයි. ආර්ථික අර්බුදය දිගටම තිබුණා. ඒ ආර්ථික අර්බුදය නිසා තමයි දේශපාලන අර්බුදය ඇතිවුණේ. ඒ නිසා දේශපාලන අර්බුදය විසඳුණු පමණින් ආර්ථික අර්බුදය විසඳනවා කියලා හිතනවා නම් කියන්න තියෙන්නෙ ඒක එහෙම වෙන එකක් නෙවෙයි. ආර්ථික උපායමාර්ගික ප්‍රශ්නයක් තියෙන්නෙ. ඒක විසඳගන්නකම් ආර්ථික අර්බුදය දිගටම යනවා. වළක්වන්න බැහැ.

3. යුද්ධය අවසන් වුණාට යුද්ධයට මූලික වුණු දේශපාලන කාරණා අවසන් වුණේ නැහැ. ඒකෙ තියෙන සරල කාරණා පවා විසඳන්න යුද්ධය අවසන් කරපු ආණ්ඩුවයි ඊටපස්සෙ ආපු යහපාලන ආණ්ඩුවයි සමත් වුණේ නැහැ. ඒ නිසා ප්‍රශ්නය තවම තියෙනවා. දේශපාලකයන් කරන කියන දේවල් මත තමයි මේ දේවල් සිදුවෙන්නෙ. හදිසියේම එල්.ටී.ටී.ඊ. එක නැවත නැඟිටිමින් කරන අරගල පිටිපස්සෙ වෙනත් දේශපාලන බලවේග ඇති. නමුත් ඒ දේවල්වලට වහාම පියවර ගත යුතුයි.

4. මහ මැතිවරණය පමණක් නෙවෙයි ජනාධිපතිවරණයත් තියන්න වෙන එකක් තියෙන්නෙ. ජනාධිපතිවරණයට ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටිලා තියෙන්නෙ. පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඡන්දය දුන් ජනතාවගෙත් බලාපොරොත්තු මේ වෙනකොට බිඳවැටිලා තියෙන්නෙ. ඒ නිසා මොන මැතිවරණයක් තිබ්බත් මීට වඩා සමාජයේ කතිකාවතක් ඇතිවිය යුතුයි.

►හසිත් අංජන