2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

දඹර අමිල හිමිට වැටුණු ගෑස් සල්ලි තොප්පිය

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 96
ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මුදල් ලැබූවන් පිළිබඳ කතාව පසුගිය සතියේ දේශපාලන උණුසුමට හේතු වූ තවත් එක් මාතෘකාවකි. මෙම මුදල් ගනුදෙනු දේශපාලනීකරණය වන්නේ පසුපස සිටි චරිත හේතුවෙනි. සිදුවීම පිළිබඳව විචාර විවේචන මෙන්ම විවිධ මත ප්‍රකාශයට පත්ව තිබේ. සමස්ත සිදුවීම් ලෙස පුළුල් චිත්‍රයක් අප ඔබ හමුවේ තබන්නේ මහජනයා ලෙස විනිශ්චය ඔබට සැමට භාර කරමිනි.

ගෑස් සල්ලි කතාවේ ප්‍රධානියා වන දඹර අමිල හිමියන් ප්‍රකට දේශපාලන චරිතයකි. එක්සත් ජාතික පක්ෂ හිතවාදී දේශපාලනයක නිරතවන ඒ හිමියන් පිළිබඳව නොදන්නා කෙනෙක් නැත. වර්තමාන දේශපාලන අර්බුදය සමඟ උන්වහන්සේ කරළියට එන්නේ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට නොවැම්බර් 21දා ඇරඹූ සත්‍යග්‍රහය හරහාය.

දඹර අමිල හිමියන් ලිට්‍රෝ ගෑස් සමාගමේ මාසිකව මුදල් ලබන බව රාවයක් පැතිර යන්නට වූයේ මේ කාලය තුළදීය. තවත් සිවිල් දේශපාලන ක්‍රියාකාරීන්ගේ නම් කිහිපයක්ම ඊට ඇඳී තිබිණි. සිදුවීම වඩාත් දේශපාලනික වන්නේ ඒ වනවිටත් දඹර අමිල හිමියන්ගේ සත්‍යක්‍රියාව සම්බන්ධයෙන් ද දේශපාලන සමාජ කතිකාවක් ගොඩනැගී තිබීම හරහාය.

ලිට්‍රෝ ගෑස් මුදල් කතාවද කරළියට එන්නේ දේශපාලනික සිදුවීම් දාමයක අදාළ නඩු විභාගයකදීය. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානී හා හිටපු ලිට්‍රෝ ගෑස් සමාගම් සභාපති ගාමිණී සෙනරත් මහතාට එරෙහිව මහාධිකරණයේ ගොනුකර තිබුණේ මුදල් අවභාවිතාවක් සම්බන්ධ නඩුවකි. එම නඩුව නොවැම්බර් 30 වැනි දින විභාගයට ගැනුණි. මෙහිදී ලිට්‍රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලක මුදිත හර්ෂජිත් මහතාගෙන් සාක්ෂි විමසනු ලැබීය. එහිදී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මතුකළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පසුගිය ජූලි මාසය සඳහා දඹර අමිල හිමියන්ට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෙවන රුපියල් 95,000/-ක මුදලට අදාළ වවුචර් පත්‍රය විවෘත අධිකරණයේ හඳුනාගෙන තිබේ. මේ සමඟ ලිට්‍රෝ මුදල් රහස් ගිණුමක් හරහා දඹර අමිල හිමියන් ඇතුළු විවිධ තරාතිරම්වල 60 දෙනෙකුට මාස් පතා ගෙවූ බව හෙළිදරව් වී තිබේ.

මෙම සිදුවීමේ සරල හරය පසෙක තබා මොහොතකට මෙවන් මුදල් ගනුදෙනුවල පදනම අප විග්‍රහකර ගැනීම වටී. ලංකා දේශපාලන ඉතිහාසයේ මෙවන් සිදුවීම් එමටය. දේශපාලකයන් තමන්ට බලයට එන්නට උපකාර කළ සැලකිය යුතු වටිනාකමක් ඇති සමාජ ප්‍රභූන්ට කෘතගුණ සලකන ක්‍රමවේදයක් ඇත. උපදේශකයන් ලෙස පත්කර පිං පඩි ලබාදීම, ආයතන සභාපති, අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා පත්වීම් ලබාදීම, ආදිය ඉන් කිහිපයකි. තවත් බොහෝ ක්‍රමයන් ගෙන දේශපාලකයෝ හිතවතුන්ට කෘතගුණ සලකති. ඒ ඔවුන්ගේ ඉදිරි දේශපාලනික උපයෝගීතාව මතය. එහෙත් තමන්ව බලයට ගෙන ඒමට දරදිය ඇදි සාමාන්‍ය මහජනයා දේශපාලකයන්ට මතක නැත. එය ආණ්ඩු මාරු වුවද වෙනස් නොවන බල දේශපාලනයේ ගතානුගතික ස්වභාවයකි.

කෙසේ හෝ මෙම හෙළිදරව්ව සමඟ නිර්මාණය වූ දේශපාලන තේමාව වඩා වාසිදායක වූයේ එජාප විරෝධී පිරිස්වලටය. මුහුණු පොත ඇතුළු සමාජ ජාල මාධ්‍ය තුළත් ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේත් මෙම මුදල් ගනුදෙනු සම්බන්ධ සංවාදයක් නිර්මාණය විය. ඒ අතර ඇතැම් මාධ්‍ය මුදල් ලබාගත් පිරිසගේ නාම ලේඛනයක්ද හෙළිදරව් කර තිබුණි. සිවිල් සංවිධානයක ක්‍රියාකාරීන් පිරිසකටද යහපාලනය ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් මෙසේ මුදල් ලබාගෙන ඇතැයි චෝදනා එල්ලවිය. ඒ අතර මහාචාර්ය සරත් වීරසූරිය මහතා ලොතරුයි මණ්ඩලයෙන් තම ග්‍රන්ථ දොරට වැඩීමේ උත්සවයකට මුදල් ලබාගෙන ඇති බවද ගාමිණී වියන්ගොඩ මහතා සහ ඔහුගේ බෑණා ඇතුළු කිහිප දෙනෙක් රාජ්‍ය ආයතනයකින් මුදල් සහ තවත් නොයෙක්දැ ලබාගත් බව කියවුණි. ගෑස් සල්ලි සිද්ධියත් සමඟ යට යමින් මතුවෙමින් පැවැති ඉහත සිද්ධීන්ද එකින් එකට ඇමිණිනි.

මෙම මුදල් ලබාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් දඹර අමිල හිමියන් පිළිතුරු ලබාදෙන්නේ මේ හෙළිදරව්වලින් අනතුරුවය. ඒ වනවිටත් මෙම කතාව දේශපාලන ලැව්ගින්නක් වී අවසන්ය. තම සමාජ සත්කාරක කටයුතු සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමෙන් අනුග්‍රහයක් ලබාදෙන ලෙස තමන් ලිඛිතව ඉල්ලීමක් කළ බවත් එම සමාගම එම ඉල්ලීම අනුමත කර තමන්ට අදාළ වැඩකටයුතු සඳහා මුදල් ලබාදුන් බවත් දඹර අමිල හිමියන් සඳහන් කර තිබේ.

පාසල් සිසුන්ට පොත් ලබාදීමේ වැඩසටහන්, පුරාවිද්‍යා පර්යේෂණ,  පුරාවස්තු විනාශවීම වැළැක්වීමට අදාළ දේශන පැවැත්වීම්, ශාසනික කටයුතු යනාදී වශයෙන් විශාල සමාජ සත්කාරක කාර්යයන් ප්‍රමාණයක් දිවයින පුරා තමන් සිදුකර ඇති බව උන්වහන්සේ පෙන්වා දෙති. තමන් අනුග්‍රහකත්වය ලබාගත් වැඩසටහන් පිළිබඳව ඡායාරූප, වීඩියෝ පට සහිතව වාර්තා ද අදාළ සමාගම වෙත ඉදිරිපත් කර ඇති බව අවධාරණය කර තිබේ. ඕනෑම කෙනෙකුට තොරතුරු දැනගැනීමේ පනත උපයෝගී කරගෙන මේ පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විමසා බැලිය හැකි බවද දඹර අමිල හිමියෝ කියති. මේ අතර ගාමිණී වියන්ගොඩ මහතා ද තමන් වෙත එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම සියල්ල අතරේ දඹර අමිල හිමියන්ට 39 වතාවකදී රු.95,000 බැගින් ලබා දී ඇති බව කියැවේ. මුදල් අමාත්‍යංශයෙන් එම මුදල් ලබාදෙන ලෙස එම සමාගමට කරන ලද ඉල්ලීම් ලිපිය ද මේ වනවිට මාධ්‍ය වාර්තා අතර පළවී ඇත. 2018 ජුනි මාසය සඳහා මුදල් ගෙවූ වවුචර් මත අදාළ නඩුවේදී ඉදිරිපත් වී ඇති අතර එය දඹර අමිල හිමියන්ට මුදල් ගෙවූ වවුචර් බව මුදිත හර්ෂජිත් මහතා එහි දී පිළිගෙන තිබේ. දැනටමත් මාධ්‍ය විසින් හෙළිදරව් කර ඇති මුදල් ලබාගත් ලයිස්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද සිවිල් දේශපාලන ක්‍රියාකාරීහු ද වෙති. තවත් ප්‍රකට හිමිනමකගේ සොහොයුරියක් ද වෙයි.  මීට සමගාමීව තවත් කලාකරුවන් සිවිල් සංවිධායක ක්‍රියාකාරීන් පිළිබඳව චෝදනාත්මක ආරංචි පැතිර යයි. ඒ ඔවුන් මූල්‍යමය වාසි රාජ්‍ය අනුග්‍රහය යටතේ අයථා ලෙස ලබාගත් බව දක්වමිනි. මේ අතරින් ඇතැම් සිද්ධීන් අදාළ ඉදිරිපත් වූ පැමිණිලි පරීක්ෂණ මට්ටමේ ඇතැයි කියැවේ.

තට්ටු මාරු දේශපාලනයේ එදා පටන් අද දක්වාම මෙවන් සිදුවීම් කොතෙකුත් සිදුව ඇත. මුදල් ගත්තේ කුමන අරමුණකින්ද මුදල් දුන්නේ කවර අරමුණින් ද නම් කියැවෙන සියල්ලන් මීට සම්බන්ධද ඔවුන් පවසන්නේ සත්‍ය ද ආදී වූ දහසකුත් ප්‍රශ්න මේ සිදුවීම අළලා නැගෙනු නියතය. නමුත් හුරුපුරුදු ලෙස මෙම කාලයත් සමඟ මේ ගෑස් සල්ලි කතාවත් යට යාමට නියමිතය. කවරකු හෝ වරදකරුවකු වී නම් ඒ සාමාන්‍ය පන්තියේ නිලධාරියෙකි. මෙය ලාංකීය දේශපාලනයේ අරුමයක් නොවූ කරුමයයි. 

 

චමිඳු නිසල් ද සිල්වා