2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

විසඳුම් තිබෙන්නෙ දෙකයි

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

- ‍ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ගෝමින් දයාසිරි

මෙරට දේශපාලනයේ බරපතළම තත්ත්වය අද වන විට උද්ගත වී ඇත. අගමැති කෙනෙක් නැත. අමාත්‍ය මණ්ඩලයක් නැත. අගමැතිටත් ඇමති මණ්ඩලයටත් එකම කෙනා ජනාධිපතිය. මෙය ඉතිහාසයේ පළමු වතාවට සිදුවූවකි.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කොට හදිසියේම මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය.

කෙසේ වෙතත් එය නිත්‍යනුකූල නොවන බවත් මහින්ද රාජපක්ෂගේ පත්වීම නීතිවිරෝධී බවත් ප්‍රකාශ කරමින් එ.ජා.ප.යත් සිවිල් සංවිධානත් එක දිගට මෛත්‍රීපාල ජනාධිපතිවරයාට පහර පිට පහර දුන්නේය. අවසානයේ ඔවුහු අරලියගහ මන්දිරය හැර නොගිය අතර එ.ජා.ප.යේ නායකයාට අහිමී වූ අග්‍රාමාත්‍යධූරය ලබා ගැනීම සඳහා නොනිමි අරගලයක් දියත් කළහ. එක් පැත්තකින් පාරේ සිටද තවත් පැත්තකින් පාර්ලිමේන්තුව තුළ ද සිදුකළ සටන පසුගියදා අභියාචනාධිකරණය වෙත රැගෙන ගියේ සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට කරගැනීමේ අදිටනිණි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ලෙස පත්වුණු සියලු දෙනා නීතිවිරෝධී පත්වීම් බව එ.ජා.ප.ය අභියාචනාධිකරණය වෙත කරුණු ගොනු කළේය. ඒ අනුව අභියාචනාධිකරණය සිය තීන්දුව ලබාදෙන තෙක් අග්‍රාමාත්‍යවරයාටත් කැබිනට් මණ්ඩලයටත් සිය නිල කටයුතු වළකාලමින් අතුරු තහනමක් නිකුත් කළේය. ඒ අනුව වර්තමානයේ අග්‍රාමාත්‍යවරයකුත් කැබිනට් මණ්ඩලයකුත් පුරප්පාඩු වූ එකම රට ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇත. මෙය එක්පැත්තකින් මහා බරපතළ තත්ත්වයක්. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයකට අපි මීට පෙර මුහුණ නොදුන් නිසා මෙවන් වාතාවරණයක දේශපාලන සහ සමාජ හැසිරීම කෙසේදැයි අපි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයාසිරි මහතාගෙන් විමසුවෙමු. ඒ මහතා ඇතිව තිබෙන වර්තමාන තත්ත්වය පිළිබඳව මෙලෙස සිය අදහස් පළකළේය.

මේ සියල්ලට හේතුව මේ ව්‍යවස්ථාවේ දෝෂ සහිත බව. නීතිමය වශයෙන් අගමැතිධූරය මහින්ද රාජපක්ෂ මහත්තයට නොලැබීම නිසා අද වෙනකොට බරපතළ තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලම ඔබතුමාලත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියලා හඳුන්වන්න එපා. හේතුව මෙතන නීතිමය ප්‍රශ්නයක් තියෙන නිසා. අද වෙනකොට රටේ රාජ්‍ය තන්ත්‍රයම අවුල් වෙලා තියෙන්නේ. ඒකට වගකියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමට තිබ්බා මේ තත්ත්වය මෙතරම් සංකීර්ණ වෙන්න කලින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න. ඒත් එතුමා ගියේ නෑ. කොහොම වුණත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනතා පරමාධිපත්‍යය බලය යම් ආකාරයකින් හිරවුණා. දැන් ඡන්දයකට යන්න බෑ. එහෙම යන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ සත්පුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව මත. ඒ නිසා සංකීර්ණයි. සෑම මාධ්‍යයක්ම ඉතා පරිස්සමින් මේ අවස්ථාවේ කටයුතු කරන්න ඕනේ. මොකද පොඩි හරි අත් වැරදීමකින් අධිකරණයට අපහාස වෙන්න පුළුවන්

මගේ ඉතිහාසයේ කවදාවත් මේ තරම් ප්‍රබල තීන්දුවක් අධිකරණයෙන් මෙච්චර ඉක්මනට ලැබිලා නෑ. අද අධිකරණය එදාට වඩා ප්‍රබලයි. මේක ශක්තිමත් දීප්තිමත් අධිකරණයක්. මට නීතිඥයකු හැටියට උපදෙස් දෙන්න තියෙන්නේ හැමෝම පරිස්සමින් වැඩ කරන්න කියලා. මම රනිල් වික්‍රමසිංහ විරෝධී කෙනෙක්. ඒත් මේ ක්‍රමය යටතේ එතුමට නැවත අගමැතිධූරය හිමිවෙන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳ කෙනෙක්. ජගත් ඉතිහාසයක් ඇති කෙනෙක්. ඒත් වැරදි උපදෙස් නිසා එතුමට වැරදුණා. මට හිතාගන්න බෑ එතුමට කවුද උපදෙස් දුන්නේ කියලා. බොහෝම කනගාටු තත්ත්වයක් තියෙන්නේ. අපරාධයක්. මේක සැබැවින්ම එතුමා විසින්ම කරගත්ත අත් වැරුද්දක්. එතුමාත් මේ ව්‍යවස්ථාව ගැන හිතන්නේ නැතුව කරගත්ත දෙයක්

විශේෂයෙන් මෙම තහනමත් සමඟ අග්‍රාමාත්‍යධූරය සහ කැබිනට් මණ්ඩලය පැවතියත් රාජකාරි පමණක් අත්හිටුවා ඇති බව ඇතැම් අය පවසති. එය එසේද? නැතිනම් සියල්ල අහිමිවනවාද යන්න අපි මෙහිදී අසා සිටියෙමු.

අනිවාර්යයෙන්ම අගමැතිවරයාගේ බලතල අහිමිවුණාම අගමැතිධූරයක් නෑ. ඕවා බොළඳ තර්ක. එවැනි තර්ක නිසා තමයි මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ මේ ගැටලුවෙන් ලිහෙන්නේ කොහොමද කියලා. මේ තත්ත්වය නිසා කොහෙටවත් සම්බන්ධයක් නැති චංචල ඡන්ද ගොඩ වැඩිවෙනවා. හේතුව බොහෝ දෙනා ප්‍රධාන පක්ෂවලින් ඉවත් වෙනවා. ඒක මහ මැතිවරණයේදීත් ජනාධිපතිවරණයේදීත් තීරණාත්මක සාධකයක් වෙනවා. ඒ සඳහා අලුත් මුහුණු ඉදිරිපත් විය යුතු වෙනවා.

කෙසේ යම් ආකාරයකින් අග්‍රාමාත්‍යවරයා ලෙස පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් තීන්දු තීරණවලට යම් හානියක් වනවා දැයි අපි මෙහිදී විමසීමු.

මේ නඩු විභාගයෙන් පස්සේ තීරණය වෙන්නේ මහින්ද රාජපක්ෂගේ තනතුර නිත්‍යනුකූලද නැද්ද කියලා. යම් ආකාරයකින් ජනාධිපතිවරයාගේ පත් කිරීම නිත්‍යනුකූල නැත්නම් ඔහුට වෙන්කළ මුදල් විතරක් නෙමෙයි ඔහු වෙනුවෙන් වැය කළ සියලු මුදල් රජයට අයකරගන්න වෙනවා. ඔහු දුන් නියෝග පවා අකුලා ගන්න වෙනවා. ඒ වගේම එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී නැති නිසා නැවතත් ඔහුට එම තනතුර ලබාදෙන්න වෙනවා. එහෙම නොවුණොත් ජනතා අප්‍රසාදයක් ඉබේම ගොඩ නැගෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යංශ ලේකම්වරැන් කැඳවා ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීම නිත්‍යනුකූලද නැද්ද යන්නත් මෙහිදී ගෝමින් දයාසිරි මහතාගෙන් විමසීමි.

අනිවාර්යයෙන්ම ඒක එහෙම විය යුතුයි. රටේ පවතින තත්ත්වය සාමාන්‍යකරණය වෙන්න හැකිවෙන්න ඕනේ. එහෙම නැත්තන් ලොකූ ප්‍රශ්න. ජනතා අප්‍රසාදය එන්න ගත්තොත් ඒක විශාලයි. ඒ නිසා ජනාතාවගේ එදිනෙදා වැඩකටයුතු සමාන්‍ය පරිදි සිදුවෙන්න ඕනේ.

අවසාන වශයෙන් අප දයාසිරි මහතාගෙන් විමසා සිටියේ මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ගත හැකි සරල මෙන්ම ඉක්මන් විසඳුම කුමක්ද යන්නය.

මේක නිවැරදි කරන්න පුළුවන් පාර්ලිමේන්තුව විසුරැවා හැරීම හරිද වැරදිද කියලා තීන්දුව දෙන සත් පුද්ගල විනිසුරැ මඩුල්ලට. නැත්නම් ජනාධිපතිවරණයකට ගිහින් ජනතා මතය විමසන්න ඕනේ. මේ දෙකෙන් විතරයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. මේ තත්ත්වය මත කිසිම කෙනෙක් බලයට ආවා කියලා විශේෂයක් නෑ

කෙසේ වෙතත් මේ අර්බුදය නිසා රට තුළ විශාල අස්ථාවර භාවයක් ඇතිව තිබේ. එය ජාත්‍යන්තර වශයෙන් ද රට අපකීර්තියට පත්වන තැනකට පත්ව ඇත.

පාර්ලිමේන්තුවේ 225ක් අස්සන් කර දුන්නත් අගමැතිධූරය ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහට නොදෙන බව ජනපති කියයි. එසේම මහින්ද රාජපක්ෂ ද සිය තනතුරෙන් ඉවත් නොවෙන බව කියයි. විධායකය සහ ව්‍යවස්ථාදායකය එක් පැත්තකින් කුළල් කා ගනිති. එහෙත් කිසිවකට පිළිතුරක් නැත. රට අස්ථාවරත්වයේය. ඒ නිසා ජනාධිපතිවරයා සහ කථානායකවරයා එක මේසයකට ගොස් හැකි ඉක්මනින් මේ ගැටුම අවසන් කළ යුතුය. එසේ නොමැති වුවහොත් රට විනාශ මුඛයට ඉබේ තල්ලු වනු ඇත.

 ගයාන් ගාල්ලගේ