2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

බෙහෙත් නැතුව පොලිස් රෝහල ලෙඩ වෙලා!

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 128

පොලිස් සේවයේ නියුතු ලක්ෂයකට ආසන්න කාර්ය මණ්ඩලයටත් පොලිසියෙන් විශ්‍රාමලත් තවත් ලක්ෂ ගණනක පිරිසටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා නාරාහේන්පිට පිහිටුවා ඇති පොලිස් රෝහල ඉතා වැදගත් වෛද්‍ය මධ්‍යස්ථානයකි. එහෙත් පසුගිය කාලයේ පොලිස් රෝහලේ සේවා සම්බන්ධයෙන් බොහෝ විවේචන අසන්නට ලැබිණි. ඖෂධ හිඟය මෙන්ම ප්‍රමාණවත් ඉඩකඩ මදිවීමේ ප්‍රශ්න, ඔසුසලෙන් මිලදී ගත් ඖෂධ සඳහා රුපියල් කෝටි ගණනක මුදල් නොපියැවීමෙන් හටගත් ප්‍රශ්නද මේ අතර විය. එහෙත් රෝහලේ වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලය උපරිම කැපවීමෙන් පොලිස්පතිගේ සිට පහළම නිලධාරීන් දක්වා සේවය සලසති.

පේදුරුතුඩුව සිට දෙවුන්දර තුඩුව දක්වා විවිධ ප්‍රදේශවලින් පොලිස් රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට දිනපතා රෝගීහු විශාල පිරිසක් පැමිණෙති. ඇතැම් රෝගීන්ට ලෙඩ රෝග ගණනාවක් වැළඳී ඇති බැවින් ඖෂධ වර්ග 10-15 අතර පමණ නිර්දේශ කරන බවද සඳහන් විය. මේ සියල්ලද පරීක්ෂණ, ස්කෑන් ආදිය ඒ අතර වේ. මේ ආදී බහුවිධ සේවාවන් සපයන පොලිස් රෝහල රැකගැනීම වගකිව යුත්තන්ගේ යුතුකමය.

රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මෙන්ම විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට ඇවැසි සෞඛ්‍ය ප්‍රතිකාර සේවා රාශියක් පොලිස් රෝහල මගින් ඉටු කෙරෙයි. එහෙත් දැනට රෝහලේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය කරන ඖෂධ වර්ග කිහිපයක්ම නොමැති වීමෙන් රෝගී තත්ත්වයේ පසුවන පොලිස් නිලධාරීන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජික පිරිස් දැඩි අපහසුතාවයකට පත්ව සිටිතියි දැනගන්නට තිබේ. ඖෂධ මිලදී ගැනීමට තරම් ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැතිකමින් පොලිස් රෝහල මේ ආකාරයට දැඩි අර්බුදයකට වැටී තිබෙන බවද සඳහන් වෙයි.
පොලිස් රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන පරිදි දැනටමත් රෝහලේ ඖෂධ ගණනාවක හිඟයක් පවතී. එසේ වුවත් නීතිය හා සාමය අමාත්‍යංශය මගින් පොලිස් රෝහල වෙනුවෙන් වෙන්කර තිබූ මූල්‍ය ප්‍රතිපාදන අවසන් වීම නිසා තවදුරටත් ඖෂධ මිලදී ගැනීමට නොහැකිව තිබීම ඊට හේතුව බවද දැනගන්නට තිබේ. රාජ්‍ය ඔසුසල හරහා පොලිස් රෝහලට ඖෂධ ලබාගන්නා බවත් ඒ සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රතිපාදන ඇහිරීම හා ටෙන්ඩර් පටිපාටිය ප්‍රමාද වීම නිසා ඖෂධ හිඟයක් ඇතිවී තිබෙන බවටත් තොරතුරු පළවෙයි.

මේ හේතු නිසා රෝගීව පසුවන පොලිස් නිලධාරීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඖෂධ මිලදී ගැනීමට පොලිස් රෝහලට මූල්‍ය ප්‍රතිපාදන නොමැති නම් පොලිස් දෙපාර්තමේන්තුවේ සුබසාධන අංශයෙන් හෝ ඊට මුදල් සපයාගෙන ඖෂධ හිඟය මඟහරවන ලෙසය.

ඖෂධ හිඟයක් ඇතැයි කියන පොලිස් රෝහලේ මීට වසර කිහිපයකට ඉහතදී ඖෂධ කොල්ලයක් පිළිබඳව තොරතුරු වාර්තා විය. කෝටි ගණනක ඖෂධ සොරාගැනීම පසුපස රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු සිටින බවටද සැකපිට රහස් පොලීසිය විමර්ශන අරඹා තිබිණ. එහිදී හෙළි වී තිබුණේ එම වෛද්‍යවරුන් දෙදෙනා විසින් පෞද්ගලිකව පවත්වාගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා එම ඖෂධ වර්ග රැගෙන ගොස් ඇති බවකි. එම පරීක්ෂණ අතරතුර හෙළිවී තිබුණේ පොලිස් රෝහලේ කල් ඉකුත් වූ ඖෂධ වර්ග කිහිපයක්ම තිබූ බවය. මෙවැනි තොරතුරු අනාවරණය වීමෙන් රෝගී තත්ත්වයේ පසුවන විශ්‍රාමික හා සේවයේ නියුතු පොලිස් නිලධාරීහුද අසීරුතාවට පත්ව සිටිති.
පොලිස් රෝහලෙන් සිදු කෙරෙන ප්‍රතිකාර අතර වාර්තා වූ ගැටලුකාරී අවස්ථා කීපයක්ද වේ. වරෙක නියෝජ්‍ය පොලිස්පතිවරයකු රෝහලට ගොස් තිබුණේ එන්නත් ප්‍රතිකාරයක් සිදුකර ගැනීමටය. ඊට පෙර එන්නත පරීක්ෂා කිරීමේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා දැක ඇත්තේ එකී එන්නත කල් ඉකුත්ව ගොස් ඇති බවකි. ඒ පිළිබඳ විමසීමේදී රෝහල් කාර්ය මණ්ඩලය ඔහුට දන්වා ඇත්තේ කල් ඉකුත් වූ බව සඳහන් වුවද තවත් මාස තුනක කාලයක් එම ඖෂධය භාවිතයට ගත හැකි බවකි. මේ අතර තවත් උසස් නිලධාරියකුද ප්‍රතිකාර සඳහා ගිය අවස්ථාවක රෝහලේ නොමැති ඖෂධයක් පිටතින් ලබාගන්නා ලෙස දන්වා තුණ්ඩුවක් ලබාදී තිබිණි. එම තුණ්ඩුව බාහිර ඖෂධ අලෙවි සලකට ඉදිරිපත් කිරීමට පසු කියා ඇත්තේ ඖෂධය වැරදි එකක් බවත් එවැනි නමකින් ඖෂධයක් නොමැති බවත්ය.

පොලිස් රෝහලේ ඖෂධ පිළිබඳ තත්ත්වය මේ ආකාරයෙන් වාර්තා වෙද්දී පාලනාධිකාරිය තවදුරටත් රෝහල් පරිශ්‍රය පුළුල් කරමින් සංවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවද ප්‍රකාශ වෙයි. මේ සම්බන්ධයෙන් බොහෝ නිලධාරීන් කියන්නේ රෝහල් පරිශ්‍රය පුළුල් කිරීම දැනට ප්‍රමුඛතාව නොවන බවය. රජයේ රෝහල් රාශියක් පවතින අතරතුර විවිධ ප්‍රමාණයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානද පවතී. මේ සඳහා යොමුවන ජනතාවද විශාලය. එබැවින් පුළුල් කරන රෝහලේ සංවර්ධන වියදම, නව සේවක වියදම ඇතුළු පරිපාලන වියදම් සැසඳීමේදී විශාල වියදමක් ඊට එකතුවන බවද දැනට පවතින රෝහලේ නිසි පරිදි ප්‍රතිකාර සිදුකිරීම ඊට වඩා යෝග්‍ය බවද ඔවුන්ගේ මතය වී තිබේ.

කෙසේ වෙතත් රෝහලේ පවතින දන්ත සායනය අත්‍යාවශ්‍ය බවත් ඒ හැර රෝහලේ සිදුකරන නව ඉදිකිරීම් අනවශ්‍ය වියදම් බවත් මේ පිරිස් පෙන්වා දෙති.

අවශ්‍ය පමණට ඖෂධ නොමැතිව රෝහල තට්ටු ගණනින් ගොඩනැංවීම තුළ නව කාර්ය මණ්ඩලයක් හා වෛද්‍යවරුන් බඳවා ගැනීමට සිදුවනු ඇත. මේ හරහා සිදුවන නඩත්තු වියදම හා පරිපාලන වියදම අධික බව ඔවුන්ගේ අදහසය. එබැවින් එකී වියදම් මගින් අවශ්‍ය ඖෂධ මිලට ගෙන රෝගීන්ට නිසි ප්‍රතිකාර සිදුකිරීම වඩාත් වැදගත් බව රෝගී තත්ත්වයේ පසුවන පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.

 රෙහාන් රාසික්