

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට වසර විසිපහක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද (වෙදැස) අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනය පසුගිය දින කිහිපය තුළදීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි. වසර විසිපහක් ගතවීම සැමරීමට විශ්වවිද්‍යාලය අවුරුද්ද පුරාවට විවිධ වැඩසටහන් සංවිධානය කර තිබූ අතර එහි අවසාන අංගය වූයේ (වෙදැස) අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනයයි. මෙම වෛද්‍ය ප්‍රදර්ශනය සංවිධානය කිරීමේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළ අතර ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු බොහෝ ආයතන මේ සඳහා අත්වැල් බැඳගත්තේය.
(වෙදැස) අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනය සඳහා මාස හයකටත් අධික කාලයක් තිස්සේ මොවුහු සූදානම් වූහ.
"වෛද්‍ය ප්‍රදර්ශනය සඳහා අපේ දරුවන් මාස හයකටත් වඩා කාලයක් තිස්සේ දිවා රෑ නොබලා මහන්සි වුණා. හරිම උනන්දුවෙන් හරිම සහයෝගයෙන් මේ සඳහා මේ දරුවන් හැමෝම මහන්සි වුණා." යැයි පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාමලී සමරනායක මහත්මිය දේශයට පැවසුවාය.
දින පහක් පුරා පැවති මෙම අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ සිටියහ.
"ඇත්තටම මේ ප්‍රදර්ශනය අපිට ගොඩක් වැදගත් වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අක්කලා අයියලා එකතුවෙලා පවත්වන මේ ප්‍රදර්ශනයෙන් අපේ අධ්‍යාපනයට ගොඩක් වටිනා දැනුම් කන්දරාවක් ලබාගන්න පුළුවන්. අපි ප්‍රදර්ශන භූමියට එනතුරු දැනගෙන හිටියේ නැහැ මේක මේ තරම් සාර්ථක ප්‍රදර්ශනයක් කියලා. එල්ලුම්ගහට නියමවෙච්ච සිරකරුවකුට සිදුවන දේ, අපරාධකරුවෙක් අල්ලාගන්නේ කොහොමද, ආදී බොහෝ දැනුමක් අපි මේ ප්‍රදර්ශනයෙන් දැනගත්තා." යැයි ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි නිලූකා කෞෂල්‍යා දේශයට පැවසීය.
දින පහක් පුරා පැවති මෙම ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශන කුටි බොහෝමයක් දැකගන්නට හැකියාව ලැබුණි. ඊට අමතරව එක්තරා කොටසක වෛද්‍ය වැඩමුළු කිහිපයක්ම පැවැත්වුණි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ඒ සම්බන්ධව ඉගෙනීමට කැමති බොහෝ දෙනෙක් මෙම වැඩමුළුවලට සහභාගී වී සිටියහ. ඒ සෑම වැඩමුළුවක්ම ඉතා සාර්ථක විය. තේමාවන් පහක් යටතේ එම දින පහ වෙන් කෙරුණි.
"වෙදැස වෛද්‍ය ප්‍රදර්ශනය වඩාත්ම ප්‍රයෝජනවත් වූයේ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්නට සිටින දූ දරුවන්ටයි. අපේ මූලික ඉලක්කය වූයෙත් රටේ බොහෝ දරුවන්ට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට කැමැත්ත හා උනන්දුව ඇති කිරීම" යැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ශාමලී සමරනායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
මීට අමතරව සාමාන්‍ය ජනතාවටද මෙයින් විශාල දැනුමක් ලබාගත හැකි විය. විශේෂයෙන් දුම්බීම නිසා ඇතිවන ආබාධ, පිළිකාමය තත්ත්වය වැනි අනතුරු සම්බන්ධයෙන් මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනයෙන් දැනුමක් ලබාගත හැකි විය. ප්‍රදර්ශන භූමියේ වෙන්වුණු ශ්වසන ඒකකයෙන් පෙනහළු සම්බන්ධව සම්පූර්ණ තොරතුරු ලබාගත හැකි විය.

හෘද රෝග පිළිබඳ ඒකකය තුළින් හෘද රෝග අවදානම පිළිබඳවත්, ඒවා වළක්වාගැනීමට කළ හැකි කාර්යයන් පිළිබඳවත් දැනුමක් ලබාගැනීමට හැකියාව ලැබුණි.
අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනයේ පැවැති තවත් සුවිශේෂී කර්තව්‍යයක් වූයේ රෝග පරීක්ෂා කර ගැනීමට හැකියාව ලබාදීමය. අධිරුධිර පීඩනය, රුධිර පරීක්ෂාව, දියවැඩියා පරීක්ෂාව, කොලෙස්ටරෝල් පරීක්ෂාව ඇතුළු බොහෝ පරීක්ෂාවන් ඉතා ක්ෂණයකින් ඉටුකරගැනීමට මෙම ප්‍රදර්ශනයේදී හැකියාව ලැබුණි.
"මම ආවේ මගේ දුවත් එක්ක. එයා තමයි කිව්වේ මේ ප්‍රදර්ශනයට යන්නම ඕනෙ කියලා. ඇත්තටම මේක ගොඩක් හොඳ ප්‍රදර්ශනයක්. බොහෝ දැනුමක් ලබාගන්නට පුළුවන් ප්‍රදර්ශනයක්. එක එක පරීක්ෂාවල් ඒ වෙලේම කරගන්න පුළුවන්. අවුරුදු තිස්පහට වැඩි අය පරීක්ෂා කිරීමට වෙනම ප්‍රදර්ශන කුටියක් තියෙනවා. ඇත්තම කිව්වොත් ඉගෙනගන්න දරුවන්ට විතරක් නෙවේ, අපි හැමෝටම මේක ඉතා වටිනා වෛද්‍ය ප්‍රදර්ශනයක්." ප්‍රදර්ශනය නැරඹීමට හංවැල්ලේ සිට පැමිණි රාණි සකුන්තලා මහත්මිය දේශයට අදහස් දැක්වීය.

ප්‍රදර්ශනයේ ඉතා වැඩි පිරිසකගේ අවධානය යොමුවූ තවත් ඒකකයක් වූයේ වස විෂ පරීක්ෂා ඒකකයයි. එම කුටියේදී සර්පයන් පවා දැකගත හැකි අතර ඔවුන්ගෙන් ඇතිවන විෂ පිළිබඳව ඉතා වටිනා දෙසුමක්ද පැවැත්වුණි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව කළ දේශනය කාගේත් අවධානයට ලක්විය. අධිකරණ වෛද්‍ය විද්‍යා අංශය අවි පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකළ අතර ඇඟිලි සලකුණු ලබාගන්නා ආකාරය, නිවැරදි මුදල් නෝට්ටු හඳුනාගැනීම ආදී බොහෝ දැනුමක් ලබාගැනීමට මෙම ප්‍රදර්ශන කුටිවලින් අවස්ථාව ලැබුණි.
හදිසි අනතුරු ඒකකය තුළදී වරින්වර හදිසි රිය අනතුරක් පෙන්වා එයින් ආරක්ෂාකාරී වන ආකාරයත්, නිවැරදි ලෙස රෝගීන් රෝහල කරා ගෙන යන අන්දම පිළිබඳවත් දැනුමක් ලබාදීම සිදුවිය.
(වෙදැස) අධ්‍යාපන වෛද්‍ය ප්‍රදර්ශනයේ එක් කොටසක් භාවනා කිරීම සඳහා වෙන්වී තිබුණි. එය වැඩිපුරම ඉලක්ක වී තිබුණේ ඉගෙනගන්නා දරුවන්ටය. භාවනා පුහුණුවීම මතක ශක්තිය ඇතිවීම, කලබල නොවී ජීවිතයට මුහුණදීම ආදියට දරැවන්ගේ මනස හුරුකිරීමට උදව් කෙරේ. එම භාවනා කටයුතු සඳහාද පසුගිය දින පහ පුරාවට විශාල පිරිසක් සහභාගී වූහ.
(වෙදැස) අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනයට පැමිණි සෑම කෙනකුගේම අවධානය දිනාගත් ඒකකයක් ලෙස (අසිරිමත් මිනිස් සිරුර) හැඳින්විය හැක. එහිදී මියගිය මිනිස් සිරුරු කපා ශරීර අභ්‍යන්තරය දැකබලා ගැනීමට, අධ්‍යයනය කිරීමටද හැකියාව ලැබුණි. මිනිස් සිරුර අභ්‍යන්තරය පිහිටා ඇති ආකාරය, අවයව පිහිටා ඇති ආකාරය ආදී සෑම දැනුවත් කිරීමක්ම මෙම (අසිරිමත් මිනිස් සිරුර) ඒකකයෙන් දැකබලාගත හැකි විය. විවිධ ඉරියව්වෙන් පෙනී සිටින මෙම මියගිය මිනිස් සිරුරු ප්‍රදර්ශනය කිරීමට පෙර එම මියගිය පුද්ගලයාගේ පවුලේ අයගෙන් අවසරය ගෙන තිබීම නිසා එයින් කිසිදු ගැටලුවක්ද නැත. මියගිය පුද්ගලයකුගේ සිරුරක් වෛද්‍ය විද්‍යාලයට බාරදෙනු ලබන්නේ වෛද්‍ය සිසුන්ගේ සහ මහජනතාවගේ අධ්‍යයන කටයුතු සහ පරීක්ෂණ සඳහාය. එම මළසිරුරු හඳුනාගැනීමට නොහැකි පරිදි සකස් කර තිබුණි. මෙය හුදෙක් තවත් කෙනකුට අධ්‍යයනය කිරීම සඳහා පමණක් යොදා තිබේ. මෙම මියගිය සිරුරු වෙනුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වසරක් පාසා පින්කමක් පවත්වා එම පින මෙම මියගිය මිනිසුන් වෙනුවෙන් අනුමෝදන් කරති.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ