2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

රියැදුරු ලයිසන් ඒකාධිකාරිය කඩන වැඩේ

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 625

අපේ රටේ මහ පාරක ඇවිදින්නට හෝ පාපැදියක යන්නට බලපත්‍රයක් අවශ්‍ය නැත. නමුත් මෙරට මහා මාර්ගයක යතුරුපැදියක් පැදවීමට හෝ මෝටර් රථයක් ධාවනය කිරීමට වලංගු නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්යය කාරණයකි. එය මෙරට නීති පොත්වල පැහැදිලිව සඳහන් කර ඇත. කොතරම් නීති තිබුණ ද අද සමාජයේ බොහෝ දෙනකු වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව  අනන්තවත් මහ පාරේ වාහන පදවන බවද අප සියල්ල දන්නා කරුණකි.

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහන පදවා අසු වුවහොත් රුපියල් 25000ක දඩ මුදලක් නියම කරන බව පසුගිය කාලය පුරාවටම සමාජය පුරා රුව්දුන් කරුණකි. දඩ මුදල වැඩි කිරීමට එම අවස්ථාවේ ගත් තීරණය සමඟ බොහෝ දෙනා රියදුරු බලපත්‍රය ලබා ගැනීමට රියැදුරන් පුහුණු කරනා මධ්‍යස්ථානවල සිටින අයුරැ ද පසුගිය කාලය පුරාවට දැක ගැනීමට ලැබිණි.

කෙසේ වෙතත් මේ වනවිට මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීමේදී (ලයිසන් නිකුත් කිරීමේදී) සිදු කෙරෙන ප්‍රායෝගික රියදුරැ පරීක්ෂණවලින් (ට්‍රයල් පෙන්වීම) කොටසක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් ලංකා ඔටෝ මොබයිල් සංගමයටත් පැවරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 

ඒ සම්බන්ධයෙන් වන දින වකවානු තවමත් නිශ්චිතව ප්‍රකාශයට පත්කර නොමැති වුවද රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ඇතැම් රිය පරීක්ෂකවරැන් කරනා අල්ලස් ගැනීම් වැනි අකටයුතුකම් වැළැක්වීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන තිබේ.

ඔටෝ මොබයිල් ආයතනය සඳහා දිනකට රියදුරැ පුහුණු පරීක්ෂණ 75ක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට රියදුරු පරීක්ෂණ 25ක් ලෙස දිනකට රියැදුරැ පරීක්ෂණ ලබා දීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව ගත් මෙම තීරණය ගැන බොහෝ දෙනකු සිය කනස්සල්ල පළකර ඇත.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමේ ඒකාධිකාරිය අහෝසි කිරීමට රජයේ අවධානය ච යොමු වී තිබිණි. එයට ද හේතුව වී තිබුණේ මෙම රියදුරු බලපත්‍ර ලබා දීමේදී සිදුවන අක්‍රමිකතාය.

මෝටර් රථ දෙපාර්තමේන්තුව මසකට රියැදුරැ බලපත්‍ර 25,000ක් පමණ නිකුත් කරනු ලබන අතර එක් පරීක්ෂකවරයකු විසින් දිනකට රියැදුරු පරීක්ෂණ 30ක් හෝ 40ක් සිදු කරන බව සඳහන්ය. එහිදී එක් රිය පරීක්ෂකවරයකුගේ එක් පරීක්ෂණයක් විනාඩි 15ක් වැනි කාලයකට සීමා වීම ද මෙම තීරණය ගැනීමට ප්‍රධාන සාධකයක් බව සඳහන් වේ.

මෙලෙස මෝටර් රථ ධාවනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී සිදු කෙරෙන ප්‍රායෝගික පරීක්ෂණ තවත් ආයතන දෙකකට පැවරීමට ගත් තීරණය පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

අපි රියැදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය කිරීමේදී කොටස් දෙකක් තියෙනවා. ලිඛිත පරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ ලෙසට. මේ ක්‍රමවේදයන් දෙකටම මහජන පැමිණිලි සහ මහජන විවේචන තියනවා එක එක විදිහට. හැබැයි මෙහෙම විවේචන එල්ල වෙලා තියෙන්නේ කිහිපදෙනකු නිසා කියන කාරණයත් පළමුව මතක් කළ යුතුයි. කොහොම වුණත් මෙතන පෞද්ගලික ප්‍රවණතාවය වැඩි වුණාම එලෙස අක්‍රමිකතා සිදුවන ආකාරය වැඩියි. ඒ නිසා තමයි අපි මෙම පියවරට එළඹුණේ. ඒ නිසා අපි එම රියැදුරැ පරීක්ෂණයට අදාළ ලිඛිත පරීක්ෂණය සිදු කිරීමේදී එය විද්‍යුත් නැතහොත් ඩිජිටල් ක්‍රමය මඟින් පැවැත්වීමට පටන්ගත්තා. මේ යටතේ එකවර අයදුම්කරුවන් 150කට පමණ පෙනී සිටිය හැකියි. ඒ  වගේම තමයි ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමේදී එක් පරීක්ෂකවරයකුට සාමාන්‍යයෙන් දිනකට ට්‍රයල් 30කට වැඩි ප්‍රමාණයක් බලන්න වෙනවා. එහෙම වුණාම ඒ ට්‍රයල් එක වෙනුවෙන් ආධුනික පුහුණුවන්නකුට හිමි වන්නේ විනාඩි 15ක විතර කාලයක්. ඇත්තටම ඒ කාලය ප්‍රමාණය මදි. ඒ වගේම මේ කාලය තුළත් ඇතැම් පරීක්ෂකවරු විවිධ අක්‍රමිකතා කටයුතු සිදු කරනවා. ඒක අපිට වාර්තා වුණ අවස්ථා තියෙනවා. මේකට පිළියමක් ලෙස තමයි අපි මේ විදිහට ලංකා ඔටෝ මොබයිල් සංගමයටත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් කොටසක් පැවරීමට තීරණය කළේ.

කෙසේ වෙතත් ගිය වසරට සාපේක්ෂව රියැදුරැ බලපත්‍රය ලබා ගැනීම සඳහා මෙම වසරේ 50% වැඩි වර්ධනයක් දැක ගැනීමට හැකි වූ බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

අපේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මනහර දැක්මක් තිබේ. ඒ මහජනයාගේ උපරිම අගය කිරීමට ලක්වන අගනා මෝටර් රථ ප්‍රවාහනයක් නියාමනය කිරීම බව  ඔවුන්ම තම ප්‍රකාශයෙහි පවසයි. (Excellence in motor traffic regulating for highest public appreciation) එමෙන්ම තම සේවාදායකත්වය තුළින් පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම ද ඔවුන්ගේ එක් වටිනාකමකි.

 හසිත් අංජන

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05