
ධනේෂ්වර පාලන ක්‍රමයක් තුළ වෘත්තීය සමිතියක පැවැත්ම දුෂ්කරය. නායකත්වයේ ඇපකැපවීම හා මෙහෙයවීම මත සාමාජිකයන්ටත් කම්කරුවන්නටත් ලබාගන්නා සහන අපමණය. ලංකාවේ පළමු වෘත්තීය සමිතිය වශයෙක් දුෂ්කර අතීතයක් පසු කළ සී. එම්. යූ. නමින් ප්‍රසිද්ධ ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය පසුගියදා සිය 90 වැනි සංවත්සරය සැමරුවේය.
මෙසේ දශක 9ක ඉතිහාසයකට උරුමකම් කියන සී. එම්. යූ. ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ පියා වශයෙන් හඳුන්වන කම්කරු නායකයකු වශයෙන් ප්‍රචලිත ඒ. ඊ. ගුණසිංහයන් විසින් වර්ෂ 1928දී ආරම්භ කෙරිණි. එවකට බ්‍රිතාන්‍ය සමාගම්වල සේවය කළ ලිපිකරු සහ අධීක්ෂක සේවකයන් වෙනුවෙන් මෙම සංගමය ආරම්භ කර තිබුණි. එතැන් සිට ගුණසිංහ මහතාගේ නායකත්වයෙන් ඇරඹි වෘත්තීය හා අධිරාජ්‍ය විරෝධී සටන් සඳහා සී. එම්. යූ. සක්‍රීයව දායකත්වය සපයා තිබුණි. 1947 වර්ෂයේ පැවැති මැතිවරණයට තරග කළ ගුණසිංහ මහතා එ.ජා.පයේ ඇමැති ධූරයක් හිමිකර ගැනීම නිසා සී. එම්. යූ. නායකත්වයෙන් ඉවත්ව තිබුණු අතර අධිනීතීඥ බාලා තම්පෝ සංගමයේ ප්‍රධාන ලේකම් ධූරයට පත් විය.
එදා පටන් 66 වසරක් ලංකාවේ කම්කරු ජනතාව වෙනුවෙන් සේවය කළ බාලා තම්පෝ සංගමයේ ව්‍යවස්ථාව දෙවතාවක් වෙනසකට ලක්කිරීම හරහා සාමාජික පිරිස 30,0000ක් දක්වා ඉහළ නැංවූවේය. සී. එම්. යූ. නමින් හැඳින්වූ සංවිධානය දීප ව්‍යාප්තව බහුතර කම්කරු සංවිධානයක් වශයෙන් පත්වීමේදී 1984 වර්ෂයේ සිට සංගමයේ නම ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු වෙළෙඳ සංගමය නමින් වෙනස් කරනු ලැබීය.
සී. එම්. යූ. ප්‍රථම වැඩ වර්ජනය ලෙස ඉතිහාස ගතවන්නේ 1949 මාර්තු 5 වැනිදා ප්ලාටේ සමාගමේ සේවකයන් 55 දෙනකු විසින් දින 149ක පුරා කළ වර්ජනයකි. ඉතිහාසයේ ප්‍රථම වතාවට සේවකයන් වෙනුවෙන් අර්ථසාධක අරමුදලක් ඇතිකිරීම හා සේවයෙන් ඉවත් කිරීමේදී වන්දි ගෙවීම එම වැඩ වර්ජනයේ ජයග්‍රහණයයි. බාලා තම්පෝ මහතාගේ නායකත්වය මත සිදු කළ අරගල වැඩ වර්ජනවලින් හිමිකරගත් ජයග්‍රහණ රාශියකි.
මුසාජිස් සහ ටයිම්ස් ඔෆ් සිලෝන් වැඩ වර්ජනය (1957), විශේෂ ජීවනධාර දීමනාවක් ඉල්ලා කළ වරාය වැඩ වර්ජනය (1958), මහජන ආරක්ෂක පනතට එරෙහි වර්ජනය (1959), වැටුප් වැඩි කිරීම සඳහා වර්ෂයේ දින 58ක වර්ජනය (1961), ප්‍රසාද දීමනා වෙනුවෙන් දින 82ක් කළ බ_ක් බොන්ඩ් වර්ජනය (1963), වෘත්තිය සමිති 12ක් ඒකාබද්ධ දින 70ක් පුරා ඉල්ලීම් 21ක් සඳහා කළ වරාය වැඩ වර්ජනය (1964), කාන්තාවන් විසින් පැවැත්වූ වෙලෝනා වැඩ වර්ජනය (1965), වර්ෂයේදී ප්‍රසාද දීමනා වෙනුවෙන් බ්‍රවුන්ස් ශාඛාවේ දින 80ක වර්ජනය, 1966දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා ශාඛාව ගෙනගිය දින 66 වර්ජනය, ලකී ඉන්ඩස්ට්‍රීස් ශාඛාව ගෙනගිය දින 600 වර්ජනය, 1967දී ගාලු වරාය ජනසතු කිරීම සඳහා ගෙනගිය වර්ජනය, වැටුප් වැඩි කිරීම හා සේවය ස්ථිර කිරීම සඳහා කළුතර ඇසෝසියේටඩ් මෝටර්වේස් ශාඛාව ගෙනගිය දින 70 වර්ජනය, 1975දී ලංකා පොහොර සංස්ථාවේ වර්ජනය සහ දීර්ඝකාලීන නඩු විභාගයකින් අනතුරුව "මෑන් පවර් සේවකයන් සමාගමේ සේවකයන්මයි" යනුවෙන් ලද ඓතිහාසික තීන්දුව සී.එම්.යූ. සටන් මගේ නොමැකෙන සටහන්ය.
1982 වර්ෂයේදී යාපනය පරන්තන් රසායන ද්‍රව්‍ය කර්මාන්ත ශාලා ශාඛාව විසින් ගෙනගිය මාස 9ක වර්ජනය, 1994 පොලිටෙක්ස් ශාඛාව ගෙනගිය වර්ජනය, 1996 කොකාකෝලා ශාඛාව ගෙනගිය වර්ජනය, 1997දී පී.ඇන්ඩ් ඕ සමාගමට වරාය විකිණීමට එරෙහිව ගෙනගිය අරගලය බාලා තම්පෝ මහතාගේ නායකත්වයෙන් සිදුකළ ඒවාය.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය, කම්කරු විනිශ්චය සභාව පිහිටුවීම, 1980 ජූලි වර්ජකයන්ගේ සේවය යළි පිහිටුවීමට ඉල්ලීම සහ 1978 සිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි ඉල්ලීම විශේෂිතය. උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ස්වයං තීරණ ගැනීමේ අයිතිය යනුවෙන් පෙනී සිටීම, 2013 වර්ෂයේදී විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව වැඩ නැවැත්වීම ඇතුළු පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටි අවස්ථා රාශියකි. 1947 සිට 66 වසරක් සී.එම්.යූ. වෙත නායකත්වය සැපයූ බාලා තම්පෝ මහතා 2014 සැප්තැම්බර් 01 දින අභාවප්‍රාප්ත විය.


අනතුරුව එවකට සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කළ සිල්වෙස්ටර් ජයකොඩි 2014 සැප්තැම්බර් 18 පැවැත්වූ මහා මණ්ඩලය විසින් ප්‍රධාන ලේකම්ධූරයට පත්කරනු ලැබීය. ඔහුගේ නායකත්වය යටතේ සහෝදර වෘත්තිය සමිති සමඟ ඒකාබද්ධ වෙමින් සිදුකළ අරගලයන් මඟින් පෞද්ගලික අංශයේ සේවකයන්ට අයවැය සහන දීමනාව යටතේ රුපියල් 2500 වැටුප් දීමනාවක් දිනා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය මහ බැංකුවේ පාලනයෙන් ඉවත් කර වෙනම සමාගමකට පැවරීම සහ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට රජය විසින් කළ යෝජනාවට එරෙහිව උද්ඝෝෂණ කිරීම, 2017 වර්ෂයේදී සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය සංගමය ඇතුළු සංවිධාන සමඟ එක්ව අරගල සිදුකරමින් නිදහස් අධ්‍යාපනය රැකගැනීමට දායක වීම කැපී පෙනෙන මෑත කාලීන මෙහෙයුම් වේ.
සී.එම්.යූ ආරම්භ කළ 1928 වර්ෂයේ සිට නොකඩවා මැයි දින සැමරුම පවත්වන්නට කටයුතු කළේය. ඇතැම් අවස්ථාවලදී රජය මැයි දිනය නොපත්වන ලෙසට නියෝග නිකුත් කළ පසුබිමකය. මේ ආකාරයට වැඩ කරන ජනතාවට ඇති බලය හැකියාව රජයට හා හාම්පුතුන්ට පෙන්වීමට පියවර ගත් සී.එම්.යූ. මෙම 2018 වර්ෂයේ මැයි දිනය රජය විසින් කල් දැමීමට නියෝග කළ ද එම නියෝගය නොතකා සිය සහෝදර වෘත්තිය සමිති හා එක්වෙමින් මැයි 1 වැනිදා සාර්ථක මැයි දිනය සමරමින් කම්කරු පන්තියේ උරුමය රැකගැනීමට කටයුතු කළේය.
සමන්ත ප්‍රදීප් විල්තෙර