අම්පාර පොතුවිල් ප්‍රදේශයේ හක්කපටස් කෑමෙන් ඇතින්නියක් මරුට
මත්තල මල්ආරේදී ඇතින්නක් හක්කපටස් ගිලී මියයයි
වනසතුන් ඝාතනයට රුගෙනවිත් තිබූ හක්කපටස් එකක් කෑමෙන් හම්බෙගමුවේ අවුරැදු 10ක දරුවෙක් මරුදකී
ඉහත සඳහන් කළේ පසුගිය කාලයේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍යවල පළවූ ශීර්ෂ පාඨ කිහිපයකි. කලකට පෙර තුවක්කුවෙන් වෙඩිතබා වනසතුන් ඝාතනය කළ දඩ වැද්දෝ දැන් ඒ වෙනුවට හක්කපටස් නම් විකල්පය සොයාගෙන තිබේ. පසුගිය අවුරුදු 10ක පමණ කාලයේ හොර දඩයම් සිද්ධි විමසන විට වසරින් වසර හක්කපටස් මරුවාගේ භාවිතය ඉහළ ගොස් ඇතිබව පැහැදිලි වේ.
අද වනවිට හක්කපටස් අපේ අලි ඇතුන්ගේ ප්‍රධාන මාරකයක් බවට පත්ව තිබීම ඛේදවාචකයකි. 2018 වර්ෂයේ ගෙවී ගිය මාස 11 කාලය තුළ අලි ඇතුන් 272ක් මරණයට පත්වී ඇති අතර ඉන් 54ක් මියගොස් ඇත්තේ හක්කපටස් පුපුරා යාමෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත්විට 20% කි. ඒ අනුව පෙනෙන්නේ අලි මරණවලින් 1/5කට හක්කපටස් වගකිව යුතු තැනට පත්ව ඇති බවයි. එය කෙතරම් ප්‍රචලිත වී දැයි කිවහොත් කුඩා දරැවන් පවා එයට ගොදුරුවීම් ගැන වාර්තා වේ.
වෙඩි වැදීම නිසා අලි ඇතුන් 39ක්ද විදුලිසැර වැදීම නිසා 31ක්ද දුම්රියේ ගැටීම නිසා 15ක් සහ වස ශරීරගත වීමෙන් එක් අලියකුද හඳුනා නොගත් ක්‍රමවලින් 39ක්ද වාහන අනතුරැවලින් 16ක්ද ස්වභාවිකව 29ක් සහ වෙනත් හේතු නිසා 42ක්ද වශයෙන් මෙම අලි පිරිස 2018දී මරණයට පත්ව ඇත.
2017 වර්ෂයේ මියගිය අලි ඇතුන් සංඛ්‍යාව 256ක් වන අතර, හක්කපටස් හේතුවෙන් 54ක් මියගොස් තිබේ.
අප රටේ බලධාරීන් කෙතරම් විසඳුම් සෙව්වද වසරින් වසර අලි-මිනිස් ගැටුම වර්ධනය වෙමින් පවතී. 2012 සිට 2016 දක්වා පස් වසර තුළ මියගිය අලි සංඛ්‍යාව 1171 කි. ඉන් ස්වභාවික මරණ සංඛ්‍යාව 104ක් පමණි. ඉතිරි අලි 1067 දෙනාම මරණයට පත්වූයේ මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් වශයෙනි. එය ඉහළ යාමට හක්කපටස්ද විශාල දායකත්වයක් දක්වා තිබේ.
චීනපටස් අපට හුරුපුරුදුය. අවුරුදු කාලයට කඩයෙන් මිලදී ගන්නා චීනපටස් බෝල පොළොවේ ගැසීම ගම්වල දරුවන්ගේ විනෝදාංශයකි. එවිට එය රතිඤ්ඤාවක් ලෙස හඬ නගමින් පුපුරා යයි. බොහෝවිට මුලින්ම හක්කපටස් තැනුවේද චීනපටස් ලබාගෙනය. වනසතුන් ආකර්ෂණය කරනා සතුන්ට කෑමට ප්‍රිය යමක් එහි දවටනයක් ලෙස යෙදීමෙනි. සමහරැ ඒ මත පිටි තවරති. අල වර්ග, සුවඳ හමන දෑ තවරති. එවිට වනසතුන් එම සුවඳ ඉව අල්ලමින් පැමිණ එය කටේ රුවාගෙන හැපූ විගසම පුපුරා යයි. පසුව ලොකු වනසතුන් ඝාතනයට වෙනම හක්කපටස් නිපදවීමට ඝාතකයෝ පුරුදු වූහ. හක්ක තුළදී ගුලිය පුපුරා යාමෙන් උඩ හක්ක සහ යටි හක්ක ගැලවී පැත්තකට යයි. කුඩා සතුන් නම් ඔළුව කැබලි දෙකකට වෙන් වේ. හක්කපටස් ආහාරයට ගත් සතුන් මියයන්නේ දැඩි වේදනා විඳිමිනි. සතා ඔළුවේ කොටසක් නැතිව විරෑපීව දඟලන ආකාරය සිත් කම්පා කරවන සුළුය. එම දර්ශනය එතරම්ම ජුගුප්සාජනකය.
ඒකාබද්ධ වනජීවී නියාමකයන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මේ ගැන අපට කිව්වේ මෙලෙසිනි. වසක් විසක් කෑ විට වගේ නොවෙයි, මේකෙන් විශාල දුකක් විඳලා තමයි සතෙක් මරණයට පත්වන්නේ. මේක ඉතා කෘෘර සත්ව ඝාතනයක්. වල්ඌරන් දඩයම් කරන්න තමයි මුලින්ම පටන් ගත්තේ. වල්ඌරන්ට තිබ්බත් ඒවායේ සුවඳට ඇදී එන වෙන සතුනුත් ගොදුරු වෙනවා. විශේෂයෙන් අලි පැටව් නොදැනුවත්කමට මේවා ආහාරයට ගන්නවා. ඊට පසු සති කිහිපයක් දුක් විඳ මිය යනවා. හක්කපටස් නිසා මැරෙන අලින්ගෙන් වැඩි දෙනෙක් අවුරැදු 10ට අඩු පැටව්.
දැන් ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේක ප්‍රචලිත වෙලා. ඇත්තටම මේක නැවැත්විය යුතු දෙයක්. වියළි කලාපයේ ජාතික උද්‍යාන තිබෙන ප්‍රදේශ, වනාන්තර ආශ්‍රිතව හක්කපටස් ප්‍රචලිත වෙලා. විල්පත්තුව අවට, හම්බන්තොට හා යාල, අනුරාධපුර, පොළොන්නරැව, කවුඩුල්ල, කැකිරාව, වවුනියා, මුලතිව් වගේ ප්‍රදේශ රාශියක හක්කපටස්වලට ගොදුරු වූ අලි හා වනසතුන් ගැන වාර්තා වෙනවා. හක්කපටස් තැබූ බවට විමර්ශනවලින් තහවුරු වූ අයට විරැද්ධව අපි නඩු පවරා තිබෙනවා. නමුත් මේ වනවිට හක්කපටස් භාවිතය වර්ධනය වී තිබෙනවා.
මිනිසුන් ඌරන් මැරීමට පමණක් නොව තමන්ට සතුරු යැයි සිතන අලි ඇතුන්ට පාඩමක් ඉගැන්වීමට සිතාද හක්කපටස් උගුල භාවිත කරති. අලින්ට හක්කපටස් තබන්නේ වට්ටක්කා ගෙඩිය ඇතුළට දමාය. නැතහොත් කැකිරි ගෙඩි ඇතුළේය. නමුත් තනි අලියා වගේ නිරන්තර විමසිල්ලෙන් සිටින අලි හක්කපටස් කන්නෙ නෑ. උන්ට අවබෝධයක් තිබෙනවා අනතුරු ගැන. ඒ අලි පිටත භූමිවල තිබෙන වට්ටක්කා ගෙඩියක්වත් කන්නෙ නෑ. වැලෙන් කඩාගෙන කනවා මිස. නමුත් ඇතින්නියන්, අලි පැටව් මේ උගුලට අහුවෙනවා. බොහෝවිට හක්කපටස් කාපු අලි ඇතුන් හමුවන්නේ දින හෝ සති කිහිපයක් ගිය විටයි. එවිට තුවාලයට විෂබීජ ගිහින්. අසාධ්‍ය වෙලා. හක්කපටස් හැපූ අලින්ට ප්‍රතිකාර කර සුවකිරීමට අපහසුයි. උන්ට වතුර බීමටවත් කෑම ගැනීමටවත් බෑ. උන් සති ගාණක් දුක් විඳලා මියයන්නේ ආහාර ගැනීමට නොහැකි වීමෙන් කුසගින්නේ. තවත් වනජීවී නියාමකවරයෙක් අපට පැවසුවේය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන අන්දමට මුලින්ම හක්කපටස් භාවිතය ආරම්භ වී ඇත්තේ 2008දීය. වල්ඌරන් ඝාතනය කිරීමට අටවන ලද හක්කපටස්වලට ඒ කාලයේ අලි ගොදුරු වූයේ අහම්බයක් ලෙසිනි. නමුත් අද වනවිට අලි ඉලක්ක කර ගනිමින්ද හක්කපටස් තැබීමට තරම් මිනිසා අමානුෂික වී අවසන්ය.
පොඩි අලිපැටියෙක් හක්කපටස් ආහාරයට ගෙන එය පුපුරා ගියවිට සතියක් එකහමාරක් දුක් විඳ මැරෙනවා. ලොකු අලියෙක් මාසයක් දෙකක් වුණත් ඉඳලා වේදනාවෙන් මැරෙනවා. ඉත්තෑවා, කොටියා, මුවා, ගෝනා වගේ සතුන්ටත් මේක බලපෑම් කර තිබෙනවා. ඇත්තටම වනජීවී දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකවලට මහන්සි වුණොත් හක්කපටස් හදන මිනිස්සු හොයාගන්න පුළුවන්. වැඩිපුරම චීනපටස් හෝ වෙඩිබේත් ලබාගන්නා අය ගැන සොයා බැලීමෙන් මිනිසුන් කොටුකරගත හැකියි. ඒ විදිහට පහසුවෙන් අල්ලාගත හැකියි. නමුත් ක්‍රියාත්මක වීමක් නෑ. අද වනවිට වියළි කලාපයේ පමණක් නොවෙයි, කඳුකර ප්‍රදේශවලත් හක්කපටස් භාවිතය ව්‍යාප්ත වෙලා. පරිසරවේදී නයනක රන්වැල්ල අපට පැවසුවේය.
මම හක්කපටස් ගැන අන්තර්ජාලයේ පින්තූර පිරික්සුවෙමි. හක්ක කැඩී මියගිය අලි ඇතුන්ගේ පින්තූර රාශියක් එහි දැකගත හැකි විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව 2010දී හක්කපටස්වලට ගොදුරු වූයේ අලි 11ක් පමණි. වර්ෂ 2011දී හක්කපටස් අලි මරණ 36ක්ද 2012දී 35ක්ද වාර්තා විය. 2013දී එය 32ක්වූ අතර 2014දී 33ක් විය. 2015 වනවිට හක්කපටස් කෙතරම් පැතිරී තිබුණාදැයි කිවහොත් ඉන් මරණයට පත් අලි සංඛ්‍යාව 51 කි. 2016දී මෙම උගුලට හසුව දිවි තොරකරගත් අලි සංඛ්‍යාව 48 කි.
සංඛ්‍යාලේඛනවලට අනුව පෙනෙන්නේ හක්කපටස් මාරයා අලි ගොදුරු කර ගැනීම වසරින් වසර ඉහළ යන බවය. බලධාරීන් අලි වැටවල් ගැන තර්ක කරමින් සිටිනු විනා හක්කපටස් භාවිතය වැළැක්වීමට විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බවක් පෙනෙන්නේ නැත. පොලීසිය හෝ හමුදාව සමඟ එක්ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ විමර්ශන පැවැත්වීමෙන් මේ භයානක වසංගතය අවම කිරීමට තවමත් හැකිබව අපගේ හැඟීමයි.
කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I අන්තර්ජාලයෙනි