
පසුගිය සතියේ අපි මුහුදුකරයේ දශක පහකට පමණ ඔබ්බේ ධීවර කර්මාන්ත පිළිබඳව අන්දරයක් කතානුසාරයෙන් ඔබ වෙනුවෙන් ලියා තැබුවෙමු. අද එහි ඉතිරිය මෙසේ පළවෙයි
ඉර මුදුන්වන්නට මත්තෙන් නැගෙනහිර අහස රත් පැහැ ගැන්වෙයි. බටහිර වෙරළේ අහස් කුස තවමත් අඳුරුය. යාන්තම් ආලෝක මාත්‍රයක් මහ පොළොව සිපගන්නා විට ඔවුහු රාජකාරි ඇරඹුවෝය. ගම්මානය නොදුරේ වූ සාගරයේ පිහිටි ස්වාභාවික ගල්පරය නිසාවෙන්ම මෙම වෙරළ තීරය වෙනස්ම හැඩයක් ගත්තේය. එම නිසාම මෙකල බේරුවල මග්ගොන වැනි ධීවර ගම්මානවල තරම් සරුවට මොරගලු වෙරළේ ධීවර කර්මාන්තය නොකෙරිණි. බත් ගෙඩියක් ඔතාගෙන යන ඔරු ගමන වෙනදාට සිදුවෙයි. ඔරු ගමනට ගමන් සගයන් තුන් හතර දෙනෙක් එකතුවෙයි. මහ ඔරුවේ සය දෙනෙකුද යන අවස්ථා තිබේ. හිමිදිරියේ ඔරු ගමනේ නිමාව ඇඳිරි වැටෙන කණිසමේදී සිදුවෙයි. ඔරුවේ නැගී යන මේ ගමනේද රසබර තැන් බොහෝය.
ඒ නමුත් අප කතානායකයා ඇතුළු පිරිස මේ සැරසෙන්නේ දැලක් වට කිරීමටය. මේ දැල එකල ඔවුන් හැඳින්වූයේ කොන්ඩඩිය නමිනි. මෙම දැලට සම්බන්ධ කර ඇති ගොබ හෙවත් ලණුවල ඉරටු ඉවත්කළ ගොක්කොළ අමුණා තිබේ. ගොක්කොළ යොදා ඇත්තේ මාළු බය කිරීමට බව කියවේ. බග්ගු, සාලයන් වැනි පොඩි මාළු සාවාලයන්ට බියක් දක්වන නිසා වෙනත් කොළවලට වඩා සාවාලයන්ගේ හැඩයෙන් යුත් ගොක්කොළ එල්ලීමේ වාසි බොහෝය. දැලේ මන්ද දෙපැත්තෙන් රිටි දෙකක් ගැට ගසා ඇත. දැලට අට දෙනෙක්, දොළොස් දෙනෙක් සහභාගී වෙති.
රෑ පහන් වෙයි. කෙමෙන් අඳුර පලා යමින් තිබේ. හිමිදිරියේ ආ ගමනේ චමත්කාරජනක කොටස වෙනුවෙන් අප කතානායක සූදානම් වෙයි. කරුංකා ගෙඩියක් වන් කුඩා කොණ්ඩයක් බැඳ සිටින අපේ මහ තැන අතක් පිටුපසට ගෙන අනෙක් අත නළලට තබා කරන මේ මාළු සෙවිල්ල සැමට කළ නොහැක්කකි. පාන්දර අඩ අඳුරේම නිසල ජල තටාකයේ මාළු රෑන් එක්වන අයුරු දැලේ ප්‍රධානියා වූ ඔහුගේ නෙත ගැටේ. තවත් පරිණත දැල්කරුවෙක්ද මේ මාළු සෙවිල්ලට දායක වෙයි. මෙහි විවිධ චාරිත්‍ර විධි සම්ප්‍රදායන් මෙන්ම තහංචි තිබේ. අන්න අතන මාළු ඉන්නවා කියා කිසිවෙකුට ඇඟිල්ල දිගුකර පෙන්වීමට තහංචිය. නොදන්නාකමට ගැටවරයකු එසේ කළහොත් හෝ දියට ගලක් ගැසුවහොත් වෙන්නේ මහා වින්නැහියකි.
අදින් අඩසියවසකට එහායින් වූ මතක ඇසුරින් මේ අන්දරය අපි ලියා තබමු. ඔවුන් එදා දැල වටකළ අයුරු පැහැදිලි කිරීම පහසු නැත. එහෙත් අප ඒ පිළිබඳ මතකයද අවදිකර යුතුය. ඔවුන් දැල රැගෙන මහ සයුරට බසින්නේ හීන්සීරුවට මාළුන්‍ට නොදැනෙන්නටය. දියඹ ගොබ හා ගොඩ ගොබ යනුවෙන් දැලේ අන්ත දෙකකි. දියඹ ගොබේ අල්ලන්නේ පිහිනීමට ශූර පළපුරුදු දැල් දමන්නෙක් විසිනි. ඔහු දියඹ ගොබ රැගෙන ගල්පර අසලට යයි. ගල්පර අසල ගැඹුර තරමක් වැඩිය. මෙහි භාරදූර රාජකාරිය දියඹ ගොබ අල්ලන්නා සතුවෙයි. අප මහ තැන එහි නියුතුවෙයි. නැත්නම් ඔහුගේ විශ්වාසවන්තයෙක් ඊට යොදවනු ලබයි. දැලේ කෙළවරේ රිටි දෙකක් ගැට ගසා ඇත. එයද අල්ලන්නට පිරිස ඇවැසිය.

දියඹ ගොබ අල්ලන්නා මාළු රෑන වටකර ගොබ ගොඩට රැගෙන ඒම සිදුවේ. කොල්ලෝ කුරැට්ටෝ අවට වී නම් අප කතානායකයාගේ සංඥාව ලද විගස මාළු දැල කරා එළවීමට හනි හනිකට දියට බසිති. හෝ... හෝ... ගාමින් දෑල වටකරන විට එකම කාලගෝට්ටියක් මෙනි. මාළුන් දැල තුළට වන් කළ දැල අල්ලා සිටින සියල්ලන්ට දැලෙහි බර දැනෙන්නට ගනී. අනතුරුව රිටි දෙක ඉහළට ඔසවා මාළුන්ට නැවත පිටතට යා නොහැකි ලෙස රිටි දෙක එක්කර වටයක් දෙකක් දැල රිටි වටා ඔතාගනු ලබයි. මාළුන් පන්නා ගෙන ආ පිරිස දියේ සිට මාළුන්ගෙන් පිරීගිය යට මන්ද එකවර ඔසවා ගනිති. දියේ වූ දැල ඊළඟ අදියරේදී ගොඩට ඇදගෙන එනු ලබයි. මෙවැනි දැලක් එළිය හැක්කේ කර වටක් පමණ ගැඹුරු මුහුදු සීමාවේ පමණි. පරයකින් වටවූ තටාකයක් වැනි මොරගලු මුහුදු සීමාව ඊට උචිතම පරිසරකි. ඉන් අනතුරුව මාළු බේරා කූඩවලට දැමීම සිදුවේ.
අප කතානායක මහ තැන විසින් එදින සිදුකරන ලද්දේ මෙකී රාජකාරියයි. ඔහු මේ දැලේ හිමිකරුවාය. එදින් දැල් වටකිරීමෙන් බග්ගු, සාලයෝ, යක් සාලයෝ, කට පුංචෝ, බඩෝරු, මරන්දෝ, මුරල්ලෝ, පරව් පැටවු, කාරල්ලෝ ආදී මාළු හසුවිය. දැලේ කටයුතු අහවර වනවිට උදාගිරෙන් හිරු පායා අවසන්ය. දැලේ සහයට මෙන්ම දැල් දැමීම බලන්නටද ගමේ ඇතැම් පිරිස් වෙරළට පැමිණ සිටිති. මාළුන් එළවන්ට උදව් වූ ගැටවරයෝද මාළු අහුර බැගින් ලද්දෝය.
එමෙන්ම වෙරළට පැමිණ සිටින ගම්මුන්ටද, ‘ඉඳා.. හොදි කාපන්’ කියා අප කතා නායකයා මාළු අහුරක් දුන්නේ හිතවත්කමටය. එය එකල ගම්මුන් අතර වූ සුහදත්වයේ පිළිබිඹුවකි. හොද්ද නම් කළවම් මාළු හොද්ද මෙන්ම බග්ගු හොද්දය. මුහුදුකරයේ දැල් මාළුවලින් ප්‍රණීතව අලුත් මාළු රසට පදමට බවලත් උදවිය පිසිති. අදද බොහෝ ඊට දෙනා ප්‍රියය.
මාළු පංගුව දැලේ පිරිස අතර බෙදාදෙන විශේෂිත ක්‍රමවේදයක් එදවස විය. පළමුව දැලේ සියලු මාළු වැල්ලේදී කොටස් තුනකට බෙදනු ලබයි. ඉන් එක් කොටසක් දැල් පංගුව ලෙස දැල් හිමියාට හිමිවෙයි. නැවතත් ඉතිරි කොටස් දෙක එක්කර දැලේ රාජකාරි කළ පිරිස අතර බෙදයි. දියඹ ගොබ ඇල්ලූ පරිණත පුද්ගලයාට වඩා වැඩි පංගුවක් එහිදී හිමිවන්නේ ඔහුගේ මහන්සිය සලකාය. අනෙක් පිරිස අතර ඉතිරිය බෙදී යයි.
මාළු සැලකිය යුතු තරමක් තිබූ දවසට කරත්තයකින් ගෙන ගොස් වර්තමාන බේරුවල ඔරලෝසු කණුව තිබූ තැන වෙළඳාම කළ බව පැරැන්නෝ කියති. නැතිනම් මාළු කදක් ලෙසින් වෙළඳාමට රැගෙන යයි. මාළු කද රැගෙන යන වෙළඳාමේදී මිලදී ගන්නන්ගේ මාළු පංගුව හබරල කොළයේ ඔතාදීම සිදුවේ. මුහුදුකරයේ වැලි මැටි පසින් තැණුනු මාවත්වල මාළු කද කර තබාගෙන මෙන්ම මාළු වැල් එල්ලා ගෙනද වෙළඳාමේ ගිය වෙළඳුන් එකල සුලභ දසුනක් විය.
අද මෙන් නොව එදා ඔවුන්ගේ ජීවිතයේ විගඩම්කාරී සංකීර්ණ බව නොවීය. සරලව සැහැල්ලුවෙන් ජීවිතය ගතකළ පැරුන්නෝ වෙහෙසකර දිනයක නිමාව සටහන් කරේ වෙරළකරයේ පොල් රුප්පාවල පැසුණු රා වීදුරුවක රස බලා ඇඟ මත දාහය නිවා ගනිමිනි. අතීතයේ ගම්මානයේ ගත කළ දිනය නිමා වනවිට බටහිර අහස රත් පැහැ ගන්වමින් ඉරගල ඈත දියඹේ ගිලී ගියේය.
වෙරළකරයේ වූ අපූරු ස්වාභාවික පිහිටීම නිසාවෙන්ම දශක කිහිපයකට ඉහතදී ක්‍රමයෙන් සංචාරක කර්මාන්තය විසින් මුළු ගම්මානයම ගිලගනු ලැබීය. අද අතීතය මතකයක් පමණකි. එම නිසාවෙන්ම එදා වූ සුන්දරත්වය හා අපූරත්වය මනසේ චිත්‍රනය කර ගැනීම පහසු නැත. එනමුදු එවන් වෙහෙසකර වෑයමක අවසානය මෙසේ සටහන් කර තබමු.
►චමිඳු නිසල් ද සිල්වා
විශේෂ ස්තූතිය: ඩබ්ලිව්. නන්දසිරි සිල්වා මහතා/ඉසංක සමීර මහතා