
පොදු ගමනාගමන සේවය තුළ සිදුවන ලිංගික අතවර සිදුවීම් ‘සාමාන්‍ය සිදුවීම්’ වශයෙන් පිළිගැනීම හේතුවෙන් එවැනි සිදුවීම්වලට ශ්‍රී ලංකාවේ තරුණියන් බොහෝ දෙනකු මුහුණදෙමින් සිටින බව එක්සත් ජාතික ජනගහණ අරමුදල මගින් නිකුත් කරන ලද නිවේදනයක් කියයි.
2017 මාර්තුවේදී ‘පොදු ගමනාගමන සේවාවල, බස් රථ සහ දුම්රියවල ලිංගික අතවර’ වශයෙන් සඳහන් අධ්‍යයන වාර්තාවේ මෙම සිදුවීම් ඉහළ යන බව සඳහන් වී තිබේ. ඊට මුහුණපාන තරුණියන් ඒ පිළිබඳව හඬක් නොනගා නිහඬව සිටීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් බව එම වාර්තාව පෙන්වා දෙයි.
ඊට අමතරව ශ්‍රී ලාංකික සමාජය තුළ කාන්තාවන් සහ ගැහැනු ළමයි සම්බන්ධව මූලික අයිතිවාසිකම් සහ නිදහස උල්ලංඝනය වන සමාජමය ව්‍යුහයක් පවතින බවත්, ස්ත්‍රී පුරුෂ භාවයේ පවතින එකී අසමතුලිත බවත් එම අධ්‍යයනයේදී ගැඹුරින් මතුකර පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් කාන්තාවන් ඔවුන්ගේ පොදු ජීවිත තුළ රුකියාවේදී සහ අධ්‍යාපනයේදී ඉහළ ස්ථාන කරා ළඟාවීමේදී අනාරක්ෂිත බවක් සහ සීමා පැනවීමක් සිදුවන බවද එම අධ්‍යයන වාර්තාව සඳහන් කරයි. ඊට එරෙහිව කටයුතු කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයත් ප්‍රතිපත්ති සකසන්නන් අතරත් එක්ව වැඩපිළිවෙළක් සකස් කරමින් පවතී. මෙහිදී පොදු ගමනාගමන සේවා තුළ සිදුවන කාන්තා ලිංගික හිංසන පිළිබඳ පණිවිඩය සමාජගත කිරීමත්, එසේම වින්දිතයන් හට එවැනි අවස්ථාවලදී ආධාර උපකාර ලබාගැනීමට පහසුකම් සැලසීමත් සැලකිල්ලට ගෙන තිබේ. මෙවැනි අවස්ථාවලදී කාන්තාවන් නිහඬව නොසිටිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් සැවොම වින්දිතයා සමඟ එක්ව කටයුතු කළ යුතු බවත් යන පණිවිඩය සමාජගත කිරීම සඳහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. ඒ සඳහා ස්වාධීන ආයතනද සම්බන්ධ වී ඇතිබවත් සඳහන් වේ.
මෙම උත්සාහයේදී එක්සත් ජාතීන්ගේ ජනගහණ පදනම ‘Cheer up love’ නමින් ඡායාරූප මාධ්‍යකරණ වැඩසටහන් මාලාවක්ද සකස් කර තිබේ. පොදු ගමනාගමන සේවාවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන්ට එරෙහිව මෙම වැඩසටහන දියත් කර ඇත. Eliza Hatch නම් ඡායාරූප ශිල්පිනිය දින දාසයක් මුළුල්ලේ දියත් කළ ප්‍රචාරක ව්‍යාපාරය නම් කර ඇත්තේ ‘don’t look away’ නමිනි. එම වැඩසටහන ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව කටයුතු කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමකි.
මෙම වැඩසටහන ආරම්භ වූයේ පසුගිය නොවැම්බර් 25 වැනිදාය. එ දවස කාන්තාවන්ට එරෙහිව හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයයි. මෙය දෙසැම්බර් 10 වැනිදා, එනම් මානව හිමිකම් දිනය දක්වා ක්‍රියාත්මකව පවතී. මෙය මේ දිනවල සමාජ මාධ්‍ය බොහෝමයක් කතා කරන මාතෘකාවක් බවට පත්ව තිබේ. තමන්ට සිදුවන ලිංගික හිරිහැරවලදී නිහඬව නොසිට හඬක් නැංවීම මෙහි අරමුණ වී තිබේ. කාන්තාවන්ට ලිංගික හිංසන පිළිබඳ අවබෝධයක් ලබාදෙමින් කාන්තා වින්දිතයන්ට සහයෝගීතාවයෙන් වැඩ කරන ප්‍රජාවක් බිහිකිරීම මෙම වැඩසටහනේ අරමුණයි. එක්සත් ජාතීන්ගේ ජනගහණ පදනමේ අධ්‍යයනයට අනුව පොදු ගමනාගමන සේවාවක් භාවිතයට ගන්නා කාන්තාවන් අතරින් 90%ක් මෙම අතවරයට මුහුණ දෙති.

වින්දිතයන් සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානයක් වන Grassrooted Trust නම් සංවිධානයේ අධ්‍යක්ෂිකා පබා දේශප්‍රිය එකී වැඩසටහන අගය කරමින් ප්‍රකාශ කරනුයේ වැඩිහිටි කාන්තාවන් ඉලක්ක කරගනිමින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අගය කළ යුතු බවයි.
ශ්‍රී ලංකාවේ පිරිමි දරුවන් හැදෙනුයේ වැඩෙනුයේ පිරිමියකු යනු පිරිමිකම පෙන්වා ප්‍රතිවිරුද්ධ ලිංගිකයා යටපත් කොට මානසික වාසියක් ලබාගත හැකිය යන පදනමකින් බවත් එය පිරිමිකම සහ පුද්ගලභාවය සම්බන්ධයෙන් දුර්මතයක් බවත් පබා දේශප්‍රිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පවතින අධ්‍යාපන ක්‍රමයට සහ මාධ්‍යයට ඇය චෝදනා කරයි. පිරිමියා කාන්තාවට වඩා ඉහළ තලයක පිහිටුවීමෙන් ඇතිවන වෙනස්කම් ඊට හේතුව බව ඇය පවසයි. පිරිමි ළමුන් හට ප්‍රමුඛත්වයක් ලබාදීම, නිදහස සහ තමන්ට කැමති ඕනෑම දෙයක් කිරීමට බලපත්‍රයක් වැනි දේ ලබාදීම මේ තත්ත්වයට මඟපාදයි. කුණු කතා ඇසීමකින් තොරව කාන්තාවකට තනිවම මහා මාර්ගයේ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතිබවද ඇය වැඩිදුරටත් පවසන්නීය.
පොදු ගමනාගමන සේවාවල, කාර්යාලවල සහ පොදු ස්ථානවල ප්‍රදර්ශනය වන පෝස්ටර් ප්‍රචාර හරහා තරමක් දුරට මෙවැනි හිංසාකාරී ක්‍රියා වළක්වාගැනීමට බලපෑම් සිදුවුවද වඩාත් වැදගත් වන්නේ ළමාවියේ සිටම කාන්තාවන්ට ගෞරව කිරීමේ පණිවිඩය පිරිමි ළමුන්ට ලබාදීමය.
පිරිමි ළමුන් තමන්ගේ කාන්තා ඥාති මිත්‍රයන් සහ යෙහෙළියන් ඇතුළු විවිධ පිරිස්වලට ගෞරව කළ යුතු බව ළාබාල වියේදීම ඉගැන්වීම නොකළහොත් ඔවුන්ගේ ආකල්පවල කිසිදු වෙනසක් සිදුනොවනු ඇත. මේ දැනුවත් කිරීම දරුවාට වයස අවුරුදු තුනත් හතත් අතර මනස වැඩෙන කාලය තුළදීම කළ යුතු බවත් ඇය පවසයි.
මෙවැනි හිංසනයකදී බොහෝ කාන්තාවන් ලජ්ජාව හේතුවෙන් කිසිවක් නොපවසා සිටින බවත් ඇතැම්විට එවැනි හිංසනයට ලක්වූ කාන්තාවන්ට අවට බලාසිටින්නන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන බවත් පබා දේශප්‍රිය වැඩිදුරටත් පවසයි.
පාසල් දැරියක්, ගුරුවරියක් සහ ගැබිනි මවක් ලෙසින් බස් රියේදී තමන්ට සිදුවූ හිරිහැර පිළිබඳ ඇය තම මතකය අවදි කරයි. මෙවැනි අතවරයකදී බලාසිටින්නන් වින්දිත කාන්තාව වෙනුවෙන් ඉදිරිපත් වීම, ඇය වෙනුවෙන් කතා කිරීම, සහාය දැක්වීම එකාවන්ව ඉටුකිරීම වැදගත් බව ඇය ප්‍රකාශ කරයි.
බස් රියක් තුළදී හිංසනයකට ලක්වුවහොත් ඇයට බෙල් එක ගැසීම හෝ කෑගැසීම හෝ එම සිද්ධිය ඒ මොහොතේම හෙළාදැකීම සිදුකළ හැකිය. එවැනි පියවර නොගන්නා තාක් මෙවැනි සිදුවීම් වැළැක්විය නොහැකි වනු ඇත.
වාර්තාවකට අනුව දිනපතා බස් රථවලින් ගමන් කරන කාන්තාවෝ 2.1%ක් ලිංගික හිංසනවලට මුහුණ දෙති. තරුණ කටයුතු අභියෝග, ක්‍රියාකාරකම් ඉටුකරන ‘Shanthi maargam’ නම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා කාමිණී ජිනදාස සඳහන් කරන්නේ මෙවැනි සිද්ධියකට මුහුණදීමේදී නොබියව කතා කිරීමට ඔවුන් සවිබල ගැන්විය යුතු බවයි. ශ්‍රී ලංකාවේ කාන්තාවන් තුළ කුඩා කාලයේ සිටම ඇතිකර තිබෙන විශ්වාසය වන්නේ තමන්ට සිදුවන ඇබැද්දිවල වගකීම තමන් පිටම පටවාගෙන තමන්ටම දොස් පවරාගැනීමය. තමන්ගේ ඇඳුම් පැළඳුම්, කතාබහ හා හැසිරෙන ආකාරය මෙවැනි සිදුවීම්වලට මගපාදන බවට පැතිරෙන අදහසට එය හේතුවක් බවද ඇය පෙන්වා දෙයි.
තමන්ට ලිංගික හිරිහැරයක් සිදුවන විට තමන්ට කරදර කරන්නාට ඒ බව දැනෙන ලෙස කටයුතු කිරීමත්, අවට සිටින්නන්ගෙන් ආධාර පැතීමත්, ඍජුවම පොලීසිය ඇමැතීමත් සිදුකළ හැක.
මෙවැනි පැමිණිලි උසාවිය කරා යොමුවන විට නඩු පැවරෙන බවත්, එම නඩු සඳහා වරින්වර උසාවියට යාමට සිදුවන බවත්, එම හේතුව නිසා බොහෝ වින්දිත කාන්තාවන් තම පැමිණිලි අධිකරණය කරා ගෙන ගොස් තම කාලය කා දැමීමට මැලිකමක් දක්වන බවත්, ළමා හා කාන්තා කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී ලංකා රාජිණී අමරසේන ප්‍රකාශ කරයි.
The Sunday times
පළවූ ලිපියක් ඇසුරෙනි
►දිශානි ජයමාලි කරුණාරත්න