2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ඈත දකුණේ පාසල්වලටත් ගුරු දොළපිදේනි ලෙඩේ හැදිලා

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

ඇතැම් පාසල් දරුවන් ගුරුවරුන්ගේ ප්‍රාණ ඇපකරුවන් වී හමාරය. පන්ති කාමරය තුළදී ගුරුවරුන්ට සන්තෝෂම් දීම කලාවක් වී හමාරය. සන්තෝෂම්වලට සම්මාදන් වෙන්නේ නැති මව්පියන්ගේ දරුවන් පාසල තුළදීම දෝෂදර්ශනයට හා පළිගැනීම්වලට ලක්වෙයි. මේ සියල්ල අතරේ වැඩි වශයෙන් ප්‍රාථමික අංශවල සිදුවන දෑ කීමත් ලජ්ජාසහගතය. පාසල තුළදී සිය දරුවාට විශේෂ තැනක් හා අවධානයක් යොමුකර ගැනීම වෙනුවෙන් මව්පියන්ද නොකරන දෙයක් නැත. ඇති හැකි අය මහා පරිමාණ කටයුතුවලට අතගසද්දී නැති බැරි පොඩි මිනිසාද කණ කර ආභරණ පවා උකසට තබා හෝ ගුරුවරුන්ට සන්තෝෂම් දුන් අවස්ථා ඕනෑ තරම් දැකිය හැකිය.

පහ වසර ශිෂ්‍යත්වය අවසන් වීම යනු ගුරුවරුන්ගේ ස්වර්ණමය අවස්ථාව බවට අද පත්ව තිබේ. ඒ පහ වසර විභාග අවසන් වනවා යනු ගුරුවරුන්ට අතමිට සරුවෙන්නට තෑගි ලැබෙන කාලය වන බැවිනි. දකුණේ පාසල් ගණනාවකටම ගොස් අප සිදුකළ සොයා බැලීමේදී මෙවැනි තෑගි ලබාදුන් අවස්ථා බොහෝය.

එදා විභාගයක් පාස් වූ පසු සිසුවා බුලත් හුරුල්ලක් දී ගුරුවරයාට වැඳ ආශිර්වාද ගත්තත් අද බුලත් හුරුල්ල කැලේට විසි වී ඇත. ඒ වෙනුවට සෝෆා සෙටි, මුදල් වව්චර්, රත්තරන් මාල, වළලු, පෙන්ඩන්ට්, ශීතකරණ, වොෂින් මැෂින් ආදිය පෙරට විත් තිබේ.

එක්තරා පාසලක ශිෂ්‍යත්වය ෆේල් වූ දරුවකුගේ මවක් අපට කීවේ මෙවැනි කතාවකි.

“මම දරුවා ශිෂ්‍යත්වය පාස් කරවන්න ගොඩක් මහන්සි වුණා. මට දරුවා පෞද්ගලික පන්තියකට යවන්න සල්ලි තිබුණේ නෑ. ඒ නිසා මම දරුවාට පාසලේදී කියාදෙන දේ නැවත ගෙදරදීත් කියා දී උනන්දු කළා. ඒත් දරුවා මට හැමදාම කිව්වා, අම්මේ ඉස්කෝලෙ උගන්වන දේ මදි. පන්තියට යන්නම වෙනවා. ටීචර් හැමදාම කියනවා හවස තියෙන පන්තියට එන්න කියලා. අනේ අම්මේ මොනවා හරි කරලා මාවත් පන්තියකට දමන්න යැයි දරුවා මට ඇවිටිලි කළත් මට තිබුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක මම දරුවා යැව්වේ පාසලටම විතරයි. අනික තමයි මම දරුවට කිව්වේ උදේ පාසලේ පන්තියේ උගන්වන ගුරුවරයාම තමයි දවල්ටත් ටියුෂන් කරන්නේ. ඉතින් පාසලෙදී උගන්වන දේම තමයි පන්තියේ උගන්වන්නෙත් කියලා. ඒත් කාලයක් යද්දී තමයි මට තේරුණේ සිදුවන්නේ කුමක්ද කියා. දරුවා පාසලේ පන්ති භාර ටීචර්ගේ ටියුෂන් එකට යන්නේ නැති නිසා පාසලේදීත් දරුවා කොන් කරලා. ගුරුවරයා විසින්ම දරුවා මානසිකව ඇද දමලා තිබුණා. පන්ති එන්නේ නැති ළමයි යනු ඉගෙනගන්න බැරි ළමුන් බවට ඒ ගුරුවරිය පත් කර තිබුණා” යැයි ඇය අපත් සමඟ පැවසුවේ ඇසින් කඩා වැටුණු කඳුළක්ද පිස දමමිනි.

මේ තවත් පියකු අපට කී කතාවකි.

“ශිෂ්‍යත්ව විභාගය කියන එක ඇත්තටම නවත්තන්න ඕනේ. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයටත් නැති තරමේ තරගයක් තමයි අද ශිෂ්‍යත්ව විභාගයට තියෙන්නේ. පාසලේ 3 වසරේ ඉඳන්ම දරුවෝ ටියුෂන් යවන්න වෙලා. මටත් ඒකට මුහුණදෙන්න වුණා. මුලින් නම් මම දරුවා පාසලට විතරයි යැව්වේ. නමුත් එන්න එන්නම ගැටලු ඇතිවෙන්න ගත්තා. දරුවන් පාසලේදීම මානසිකව වැටෙන්න ගත්තා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි, දරුවා පාසලේ පන්ති භාර ගුරුවරයාගේ හවස ටියුෂන් එකට නොයාම. බැරිම තැන මටත් දරුවා අකැමැත්තෙන් හරි ටියුෂන් එකටත් යවන්න වුණා. පාසලේ පන්ති භාර ගුරුවරයාත් පාසල් වේලාවේදී වැඩි අවධානයක් දක්වන්නේ හවසට එයාගේ ටියුෂන් පන්තියට යන දරුවන්ට හා වැඩි වැඩි වශයෙන් සන්තෝෂම් දෙන මව්පියන්ගේ දරුවන්ට විතරයි. මේ රැල්ලට අද අපිටත් යන්න වෙලා. ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ පිළිගැනීමේ උත්සව. ඉතින් දහස් ගණනින් ඒවාට මුදල් දෙන්න ඕනේ. ඒ මදිවට ගුරුවරුන්ට තෑගි දෙන්න කියා වෙනම මුදල් කුට්ටි වෙන් කළ යුතුයි. මේ වැඩේටම සැදී පැහැදිච්ච මව්පියන් ඉන්නවා.”

පසුගිය දින එක්තරා පාසලක සිට විශ්‍රාම ගිය පන්ති භාර ගුරුවරියට තෑගි ලෙස සිසුන්ට අරන් දීමට සිදුවූයේ සෝෆා සෙටියක් බව මව්පියන් පිරිසක් අපත් සමඟ පැවසූහ. අදාළ ගුරුවරියගේ පාර්ශ්වයෙන්ම යෝජනාව ද පැමිණ ඇති අතර ඒ සඳහා මව්පියන් කිහිප දෙනකු ද මූලිකත්වය ගෙන කටයුතු කර තිබුණි.

පාසලේ පන්ති කාමරය තුළ සිදුවන විවිධ ගුරු පඬුරු ලබාදීම් වැනි කටයුතුවලදී මව්පියන්ට කර ඇරිය නොහැකි වී තිබේ. ඇති හැකි අය ගුරුවරිය ළඟින්ම සිට ගුරුවරියට හෝ ගුරුවරයාට අවශ්‍ය ඕනෑ එපාකම් ඉහළින් සිදුකර දෙන්නේ පන්ති කාමරය තුළදී දරුවාට විශේෂ තැනක් විශේෂ අවධානයක් ගැනීමටය. ඇතැම් මව්පියන්ද ළමයා පන්ති නායකයා කරගන්න, ශිෂ්‍ය නායකයා කරගන්න නොකරන දෙයක් නැති තරම්ය. නැති බැරි මව්පියන්ටද මේ තරගයට අකැමැත්තෙන් වුවද එක්වීමට සිදුව තිබේ.

ශිෂ්‍යත්ව විභාගයෙන් පසු දකුණේ එක් පන්ති භාර ගුරුවරයකුට තෑගි වව්චර් එකක් දෙන්නට විභාගය පාස් ෆේල් සියලු ළමයින්ගෙන් මුදල් එකතු කර රුපියල් 30,000/-ක මුදල් වව්චර් එකක් දී තිබේ. එමෙන්ම තවත් පාසලක 5 වසර විභාගය පාස් වූ දරුවන්ට 1 වසරේ සිට 5 දක්වා තමන්ට ඉගැන්වූ ගුරුවරුන්ට තෑගි අරන් දීමට සිදුවූ පුවතක්ද වාර්තා විය. මේ අතරේ එක් පන්ති භාර ගුරුවරියකට රත්තරන් පෙන්ඩන්ඩ් එකක් අරන් දුන් පුවතක්ද පාසලකින් අපට වාර්තා විය. එමෙන්ම දකුණේ ලොකු යැයි සම්මත පාසලක විදුහල්පතිවරයකු විශ්‍රාම යද්දී තෑගි ලෙස කාර් එකක් අරන් දෙන්න මුදල් එකතු කර තිබියදී මාධ්‍ය හෙළිදරව්වක් නිසා එය නැවතී ගිය පුවතක්ද විය.

තිස්සමහාරාමයේදී පාසල් කිහිපයකම මෙවර ගුරුවරුන්ට තෑගි ලබාදීම් විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් තහනම් කර තිබූ පුවතක්ද අපට අසන්නට ලැබුණි. ඒ හැරුණුකොට බහුතරයක් පාසල්වල මේ වැඩේ බොහොම ජයට සිදුවෙන බව නම් නොරහසකි. මේ තෑගි සම්ප්‍රදාය සඳහා උඩගෙඩි දෙන අම්මලාද බහුතරයක් සිටිති. විශ්‍රාමලත් විදුහල්පතිවරයකු හා සූරියවැව සමථ මණ්ඩල සාමාජිකයකු වන පී.ජී. සුබසිංහආරච්චි මහතා මේ ගැටලුව සම්බන්ධයෙන් පැවසුවේ මෙවන් අදහසකි.

“මට නම් තේරෙන්නේ නෑ අද තියෙන මේ අධ්‍යාපන රටාව මොකක්ද කියලා. අද වෙනකොට පාසල් එක එක විදියට වර්ග කරලා. ළමුන්ගේ වගේම මව්පියන්ගෙත් ඔළුගෙඩි වෙනස් වෙලා විකෘති වෙලා තියෙන්නේ. මගෙත් ගුරු ජීවිතය අවුරුදු 27 ක්. මම කොළඹ ඉඳන් දුෂ්කර සේවයට ආවේ සූරියවැව හත්පෝරුව සෝමාදේවි විද්‍යාලයට. එතැනින් ආරම්භ කරපු මගේ ගුරු ජීවිතය තුළ පාසල් ගණනාවක මම සේවය කළා. මේ වගේ සෙල්ලම් නම් ඒ කාලේ තිබුණේ නෑ.

ඉස්සර පාසල තුළ තිබුණු ප්‍රධානම දේ තමයි විනය කියන එක. ඒක ළමයින්ට වගේම ගුරුවරුන්ටත් පොදු කාරණයක් වුණා. අද වගේ තෑගි සම්ප්‍රදායක් එදා අපි ඇතිකළේ නෑ. ඕනතරම් මව්පියන් ගුරුවරු ස්ථාන මාරු යනකොට තෑගි දෙන්න සුදානම් වුණා. නමුත් අපි ඊට එකඟ වුණේ නෑ. ඒවා ප්‍රතික්ෂේප කළා. ඒ වෙන මොකක්වත් නිසා නොවෙයි, ගුරු ජීවිතය තුළදී ගුරු ගෞරවය රැකගත යුතු නිසා. ගුරුවරයා කියන්නේ අල්ලස් ගත යුතු කෙනකු නෙමෙයි. ගුරුවරයා යනු සමාජයේ පූජනීය වූ පුද්ගලයෙක්. ඒ තත්ත්වය අද ඇතැම් ගුරුවරු විසින්ම නැති කරගෙන තියෙනවා. මම නම් ඒ කාලේ හිතුවේ මම උගන්වන, වැඩ කරන පාසල තමයි ලංකාවේ තියෙන හොඳම පාසල කියලා. මට තිබුණා මගේ දරුවන් වෙන හොඳ පාසල්වලට යවන්න. නමුත් මම නම් එහෙම කළේ නෑ. මගේ දරුවන් දෙදෙනා පවා ඉගෙන ගත්තේ මම වැඩ කරපු පාසල්වලයි. අද ඒ අය ඉගෙනගෙන හොඳ රැකියා කරනවා. ඇයි මේ තත්ත්වය ඇති නොවන්නේ කියන එකට ඉහළ පුටුවල ඉන්න අයත් වගකියන්න ඕනේ. තවමත් පරක්කු නෑ, අපේ පාසල් පද්ධතිය වැටිලා තියෙන වළෙන් ගොඩගන්න.”

සටහන: සූරියවැව නුවන් ජයසේකර