
දැනට මාසයක් ඉකුත් වී ඇති ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමාජ අර්බුදය නිසා රටේ ආර්ථිකයට ඇතිවෙමින් පවතින ආර්ථික හානිය සුළුකොට තැකිය නොහැකි බව සැම පැත්තෙන්ම අසන්නට ලැබෙන ආරංචිවලින් සනාථ වේ. දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර ලෙසද රටට විශාල අර්බුදයකට මුහුණ පාන්නට සිදුව තිබේ. ප්‍රධාන පක්ෂ දෙක එකිනෙකා කුළල් කා ගනිමින් බලය රැකගැනීමට සහ බලයට පත්වීමට මුළු වැර යොදා කටයුතු කරන අතර ඔවුන්ට බල අරගලය හැරුණු විට රටේ සෙසු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට කාලයක් ඉතිරිව නැතුවා සේම උනන්දුවක්ද නොදක්වන බවක් පෙනෙන්නට ඇත.
මාධ්‍ය පවා මෙම දේශපාලන වාර්තාවලට ප්‍රමුඛත්වය දී පුවත් ප්‍රකාශ කරමින් තරගකාරීව කටයුතු කරන අතර රටේ වෙනත් දැවෙන ප්‍රශ්න පිළිබඳ උදාසීනව සිටින බව දක්නට ලැබේ. දැනට උද්ගතව ඇති අහිතකර දේශපාලන වාතාවරණය නිසා රටේ ආර්ථිකය වසර ගණනාවකින් පසුගාමී වී ඇති බවට මැදහත් ආර්ථික විශ්ලේෂකයෝ අදහස් පළකරති. මෙම තත්ත්වය අද ජීවත්වන කෝටි දෙකකට අධික ජනතාවට මෙන්ම මතු උපදින්නට සිටින අනාගත පරපුරටද සැබෑ ලෙසම අහිතකර බව පෙනෙන්නට තිබේ.
දැනට රට ගමන් කරන දිශානතිය වහ වහා නිවැරදි නොකළහොත් නුදුරු කාලයේදීම මෙහි අහිතකර ප්‍රතිඵල අප කාටත් අත්දකින්නට සිදුවනු ඇති බවට අනතුරු ඇඟවේ. අද උද්ගතව ඇති දේශපාලන අරගලය ඉදිරි දිනක සමථයකට පත්වුවද ඒ හේතුවෙන් සිදුව ඇති ආර්ථික හානිය පූරණය කිරීමට තවත් සෑහෙන කාලයක් ගතවනු ඇති බව පෙනෙන්නට තිබේ. ජනතාවට සහන සැලසීම මෙන්ම එයට වඩා ප්‍රමුඛත්වය දිය යුත්තේ බිඳ වැටී ඇති ආර්ථිකය නගා සිටුවීමට බව මැදහත් විද්වතුන්ගේ මතය වේ.
මේ පිළිබඳ විද්වතුන් කිහිපදෙනකු සමඟ අපි සාකච්ඡා කළෙමු.
යන යකා කොරහත් බිඳගෙන යනවා
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
රටක ආර්ථිකය තීරණය වෙන්නේ දේශපාලන ස්ථාවරභාවය මතයි. රටේ ආර්ථිකය ප්‍රධාන වන අතර දේශපාලනය තිබිය යුත්තේ දෙවැනි තැනයි. එහෙත් මේ ආණ්ඩුව දේශපාලනය මුලට අරන් ආර්ථිකය පස්සට දමලා සියල්ල පටලවාගෙනයි සිටින්නේ. මේ නිසා තමා සියල්ල අවුලෙන් අවුලට පත් වී ඇත්තේ.
මෙහි ප්‍රතිඵල ඉතාම භයානකයි. අද රටේ ණය කළමනාකරණය විශාල ලෙස දුර්වල වෙලා. ෆිච් රේටිං, මුඩිස් සහ එස් ඇන්ඩ් පී. යන ජාත්‍යන්තර ආයතන අපේ රට ණය ශ්‍රේණිගත කිරීම්වලින් මේ වනවිට පහළට දමලා තිබෙනවා. අපේ ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තීරණ පිළිගන්නෙ නැති යැයි කිව්වාට ප්රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ මොකද ජාත්‍යන්තර වශයෙන් ලෝකයම පිළිගන්නේ මෙම ආයතනවල දත්තයි. ඒවා ස්වාධීන ආයතන නිසා ඔවුන්ගේ නිරීක්ෂණ වරදින්න බැහැ. මේවාට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ වැරදි තොරතුරු ගියා නම් එයටද වගකිව යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවයි.
මෙයට පෙර දළ වශයෙන් රුපියල් බිලියන 3.7ක විදේශ ණය ආධාර අත්හිටුවීමේ අවදානමට අප ලක්වුණා. කොටස් වෙළෙඳ පොළේ පමණක් රුපියල් බිලියන 30ක් අපට අහිමි වුණා. මේ අනුව දිනකට බිලියන 1 බැගින් මාසයක් තුළ අහිමිවෙලා තිබෙනවා. සංචාරකයන් මුලින් වෙන්කර ගෙන තිබූ හෝටල් පහසුකම් අවලංගු කිරීම නිසා මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් අපට ලැබී නැහැ. ශ්‍රී ලංකාව සංචාරකයන්ට සුදුසු පළමු පෙළ රටක් බවට නිවේදනය කළ විදේශ රාජ්‍යයන් ඉන් සතියකට පසුව එය විදේශිකයන් නොපැමිණිය යුතු රටක් බවට නිවේදනය කළා. ජී.එස්.පී. තහනම, යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ආදිය යළි පනවා තිබෙනවා. ඉදිරියේදී අපට බලපෑ හැකි ආර්ථික හානි තවම තක්සේරු කරලා නැහැ. විදේශ ආයෝජන පිළිබඳ ජාත්‍යන්තරව තිබෙන දැඩි තරගකාරීත්වය නිසා අපේ ඉවත් කරගෙන ගිය ආයෝජන නැවත කවදා ලබාගත හැකිදැයි කියන්න බැහැ.
රටේ ඩොලර් සැපයීමේ අර්බුදය ඇතිවුණේ අපට එන්න තිබෙන ඩොලර් නැවතීම නිසයි. ඩොලර් පිළිබඳ ජාත්‍යන්තරයේ මතු වී ඇති අර්බුදය බොහෝ රටවල් සමනය කර ගත්තත් අපට එය කරන්න බැරිවුණා. එය අපේ වරද නිසායි. දැන් මේ දේශපාලන අර්බුදය ඩොලර් සැපයුමට අහිතකරව බලපාන නිසා රුපියල අවප්‍රමාණ වීම නවත්වන්න බැරිවෙලා තියෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන අයුරු මාසයක් තුළ පිහිටවූ තාවකාලික ආණ්ඩුව චීනය සමඟ මේ වනවිට විශාල ගිවිසුම් අත්සන් කරලා. කොළඹ වරායේ පර්යන්තයක් ඉන්දියාවට දීමට එරෙහි වූ ජනපති හා අගමැති කාටත් හොරා චීනය සමඟ ඩොලර් මිලියන 58ක ගිවිසුම් අත්සන් කරලා. ජය බහලුම් පර්යන්තයේ ගැඹුරු මුහුදේ නැංගුරම් පහසුකම් වැඩිකිරීමට චීන වරාය සමග අත්සන් කළ ඩොලර් මිලියන 32.3 ගිවිසුම, තවත් දොඹකර 3ක් මිලට ගැනීමට චීන සමාගමක් සමග ඩොලර් මිලියන 25.7 ගිවිසුමද අත්සන් කරලා. ආණ්ඩුව වෙනස් වුණොත් මේ ගිවිසුම්වලට මොකද වෙන්නේ? මෙය ජාත්‍යන්තර අර්බුදයක් ඇති කිරීමක්.
අද අපි ඩොලර් බිලියන 8ක් චීනයට ණයවෙලයි ඉන්නේ. යළිත් මෙම ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳ අමෙරිකාව හා ඉන්දියාව අපට දෝෂාරෝපණය කර තිබෙනවා. ඒ තත්ත්වය සුලු කොට තකන්න බැහැ.
ජාත්‍යන්තර ආයතනයක් මගින් රාජ්‍ය බැංකුවල තත්ත්වය ද පහත දමලා ‘D’ දක්වා පහළ ශ්‍රේණිගත කරලා. එයට හේතුව රාජ්‍ය බැංකුවල විශ්වාසනීයත්වය සහ පැවැත්ම පිළිබඳ නරක මතයක් ප්‍රකාශ කිරීමයි. අද ප්‍රබල ජාත්‍යන්තර බැංකු අපේ රාජ්‍ය බැංකු ප්‍රතික්ෂේප කරලා.
දේශපාලන වාසි තකා කිසිදු සැලසුමකින් තොරව ඉන්ධන මිල පහළ දැමීම, සමහර බදු කපා දැමීම, සහන ලබාදීම අලුතෙන් පත්වීම් දීම ආදිය සිදුකරලා. මේ සියල්ල පටු දේශපාලන තීරණයි. මේවායේ නරක ප්‍රතිවිපාක ඉදිරියට බලපායි. දේශපාලන අර්බුදයට මැදිහත් වෙලා සිටින්නේ මෛත්‍රිපාල, මහින්ද සහ රනිල් යන නායකයන් තිදෙනා පමණයි. එහෙත් ආර්ථික අර්බුදයට අද රටේ සමස්ත ජනතාව පමණක් නොව ඉපදෙන්න සිටින දරුවන් ද අහුවෙලා තියෙනවා. යන යකා කොරහත් බිඳගෙන යන වැඩපිළිවෙළක් තමයි අද සිද්ධ වෙමින් පවතින්නේ.
ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණා නම් අපට මෙහෙම වෙන්නේ නැහැ
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ඇඹුල්දෙණිය
අපට දේශපාලන නිදහස ලැබුණාට මේතාක් ආර්ථික නිදහසක් ලැබී නැහැ. රටක් දියුණු වෙන්නට නම් ආර්ථික නිදහස හා දේශපාලන නිදහස සමාන්තරව ගමන් කළ යුතුයි. අපේ රටේ තවමත් නිදහස් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. අපට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් අනුමත වී තිබුණා නම් අද ඇතිව ඇති ගැටලු ඇතිවන්නේ නැහැ. ප්‍රතිපත්තියක් නැතිවීම නිසා ආර්ථිකය අවපාතවලට ලක්වනවා. අද පවතින අර්බුදකාරී වාතාවරණය අනුව අපේ රටේ ආර්ථිකයට හානියක් නොමැතිව ඉදිරියට කටයුතු කරන්නට තිබුණා එවැනි ස්ථාවර ප්‍රතිපත්තියක් තිබුණා නම් මෙහෙම වෙන්නේ නෑ.
අපේ රටේ ආර්ථිකයට නොයෙකුත් අයට ඇඟිලි ගහන්න ඉඩ ලැබී ඇත්තේ, විවිධ බලපෑම් කරන්නට අද හැකි වී ඇත්තේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකම නිසයි. බලයට පත්වූ ආණ්ඩු ඒ ගැන නිතරම කතා කළත් වඳුරන් ගෙවල් හදනවා වගේ. කවදාවත් අවසන් කරන්න බැරිවුණා. ඒ අඩුපාඩුව නිසා තමයි අපට මේ අවස්ථාවේදී විවිධ බාධකවලට මුහුණදීමට සිදුව ඇත්තේ. ඒ නිසා මා නම් කියන්නේ රටේ ප්‍රබල පක්ෂ දෙක එකතුවෙලා ජාතික ආර්ථික සැලසුමක් තනා එය දිගටම ක්‍රියාත්මක කිරීමට වහා පියවර ගත යුතු බවයි.
අනිත් අතට අද දවස වනවිට අපේ රටේ කැබිනට්ටුවක් නැහැ. අගමැති, ඇමැතිවරුන් නැහැ. එහෙත් රාජ්‍ය ආයතන සාමාන්‍ය සුපුරුදු ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා කැබිනට්ටුවක් නැතිවුණාය කියලා අපේ රාජ්‍ය පාලනය බිඳ වැටිලා නැහැ. අමාත්‍යංශ ලේකම්වරුන් නිසි පරිදි රාජ්‍ය ආයතන පාලනය කරමින් එදිනෙදා වැඩකටයුතු ක්‍රියාත්මක කරනවා. ඇමැති මණ්ඩලයක් අවශ්‍ය වී ඇත්තේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහායි. ඒ සඳහා ද විශාල කැබිනට්ටුවක් අවශ්‍ය නැහැ. සුළු සාමාජික සංඛ්‍යාවකින් යුතු කැබිනට්ටුවකින් එය කළ හැකියි. දේශපාලනඥයන් වැඩිවුණාම ඇඟිලි ගැසීම් ද වැඩිවෙනවා. සංවර්ධන වැඩවලට බාධා ගෙන දෙනවා. කෝකියො වැඩිවුණාම සුප් එක නරක් වෙනවා වගේ. ඒ නිසා අද පවතින තත්ත්වයෙන් පාඩමක් ගෙන කැබිනට්ටුව අවම කර ඉදිරි රාජකාරි වැඩ විධිමත්ව වේගයෙන් කරගෙන යා හැකි බවයි මගේ අදහස. විශාල අමාත්‍ය මණ්ඩලයකට ලොකු වියදමක් දරන්න සිදුවෙනවා. එම පරිපාලන වියදම්ද අවම කරගෙන එම මුදල් රටේ සංවර්ධනයට යොදාගත හැකියි.
එසේම අපේ රටට අද විදේශ බලපෑම් වැඩිවී ඇත්තේ සුළු ජාතික පක්ෂවල බලපෑම නිසා යයි හිතාගන්න පුළුවන්. ප්‍රධාන පක්ෂ දුර්වල වූ විට ඔවුන් එම පක්ෂවලට හේත්තු වෙලා ස්වකීය අවශ්‍යතා ඉටුකරවා ගැනීමට කටයුතු කිරීම කවදත් දක්නට ලැබුණ දෙයක්. ඔවුන් මේ සඳහා විදේශ රාජ්‍යවලින් ප්‍රයෝජන ලබාගන්නවා. අද අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ පාලනය කිරීමට ද ඒ අයට තම මිත්‍ර රටවල බලපෑම් ඇති කිරීමට ද ඔවුන් කටයුතු කරනවා. අද අපට ආර්ථික සම්බාධක පනවන්න යන විදේශ රටවල් පසුපස ඉන්නේ අපේ රටේ මෙම සුළුපක්ෂ බවයි පෙනෙන්නට තිබෙන්නේ. කවුරු දිනුවත් පැරදුණත් ඔවුන් හැමදාමත් දිනුම්. අද පවතින විදේශ බලපෑම් අපි ‘ඉල්ලං කාපු’ එකක්.
අද අපි ආර්ථිකය හා ජාතික හැඟීම් පටලවාගෙනයි ඉන්නේ. අද ණය අත්‍යවශ්‍ය වෙලා. ජී.එස්.පී. සහනය වගේ දේවල්, විදේශ ආධාර උපකාර අවශ්‍ය බවට පත්කර ගෙනයි තියෙන්නේ. අපට ජීවත්වීමට නම් විදේශ ආයතන සතුටු කිරීමට සිදුවෙලා. මෙය එක්දහස් අටසිය ගණන්වල සුද්දන් අපිව යටත් කරගෙන තිබූ කාලයේ ඇතිවූ මානසිකත්වයට සමානයි.
ආණ්ඩුව මාරු කිරීමෙන් ප්‍රශ්න උග්‍රවෙලා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා එවකට පැවැති යහපාලන ආණ්ඩුව වෙනස් කළේ යම් දේශපාලන හා ආර්ථික ප්‍රගතියක් අපේක්ෂාවෙන්. එහෙත් එය කණපිට හැරී ඇති බව පෙනී යයි. ජනාධිපතිවරයා ඔක්තෝබර් 26දා සිදුකළ වෙනසට ඒ අවස්ථාවේ සමාජයේ ක්ෂණික තදබල විරෝධයක් එල්ලවූයේ නැහැ. එහෙත් එම ඉවත් කිරීමේ ක්‍රියාවලිය සාධාරණ යැයි ජනතාව පිළිගත් බව සිතිය යුතු නොවෙයි. වර්තමානය වනවිට යම් ප්රතිවිරෝධතා දියත් වී තිබෙනවා.
අලුතින් බලය ලබාගත් කණ්ඩායම රටේ ප්‍රශ්නවලට තාවකාලික විසඳුමක් ඉදිරිපත් කරමින් සිටින ආකාරයක් පේනවා. එහෙත් රටේ ආර්ථිකයට සිදුව ඇති බරපතළ ව්‍යාධියට එයින් විසඳුමක් ලැබෙන්නේ නැහැ. එයට පෙර රජයෙන් අත්සන් කළැයි කියන සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට විරෝධතා ඇතිවුණා. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ද එයට ප්‍රබල ලෙස විරෝධය පළකළා. අපට මතකයි වර්තමාන පාලනය ද එම ගිවිසුම අවලංගු නොකරන බව ප්‍රකාශ කළත් මුලින් තිබූ විරෝධය දැන් නොමැති බව පෙනෙන්නට තිබෙනවා. එයට හේතු දැකගත නොහැකියි.
පසුගිය යහපාලන රජය විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට බදු පැනවූවා. එලෙස විවිධාකාර බදු පැනවීම නිසා සිදුවූයේ අහිතකර ප්රතිඵලයි. ඒ නිසා අපේ විදේශ ව්‍යාවහාර මුදල් වෙළෙඳපොළ අක්‍රමවත් වුණා. උණ්ඩියල් වැනි වැරදි මූල්‍ය රටා ඇතිවූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. මේ වනවිට අන් කවරදාටත් වැඩිය රුපියලේ අගය වේගයෙන් අවප්‍රමාණ වෙමින් පවතිනවා. පාලකයන්ට කළ හැක්කක් නැහැ වගේ ඉන්නේ. උණ්ඩියල් ක්‍රමයට සම්බන්ධ වෙන අයට නීත්‍යානුකූල විනිමය අනුපාතයට වඩා තම මුදල්වලට වැඩි අගයක් ලබාගන්නට පුළුවන් වෙලා තිබෙනවා. මේ වනවිට රටට යන එන අය පවා හොරපාරෙන් ඩොලර් එහා මෙහා කරන ආකාරයක් දැකගන්නට පුළුවන්. එයින් අපට සිදුවන හානිය විශාලයි.
රටට විදේශ මුදල් ලැබීම දුර්වලවීම නිසා ද, රටේ ඇති ඩොලර් ඉවත්කර ගැනීම නිසා ද පවතින අර්බුදය උග්‍ර වෙමින් පවතිනවා. මේ වසරේ සැප්තැම්බර් මාසය අවසනට ගෙවිය යුතුව ඇති මුළු රාජ්‍ය ණය රුපියල් බිලියන 11271.4ක්. 2017 වසරේ මුළු රාජ්‍ය ණය බිලියන 10,313ක් වුණා. පසුගිය මාස 9කට එය තවත් වැඩිවෙලා. විදේශ ණය සැප්තැම්බර් වනවිට රුපියල් බිලියන 5469.1ක් වූ අතර 2017 එහි අගය වූයේ බිලියන 4718.6ක්. ඒ අනුව 2018 සැප්තැම්බර් වනවිට විදේශ ණය පසුගිය වසරට වැඩිය රුපියල් බිලියන 750කට වැඩියෙන් ඉහළ ගිහිල්ලා. 2019 වසර අවසන් වනවිට ඩොලර් බිලියන 5.8ක් ණය ගෙවීමට තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මොනවා කිව්වත් මෙම ණය කන්දරාව පියවීම සුළුපටු වැඩක් නොවෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපට ගෙවීමට තිබූ ඩොලර් බිලියන 1.85ක ණය වාරිකය ද අත්හිටුවලා තියෙනවා. එසේම ප්‍රාග්ධන වෙළෙඳ පොළෙන් විදේශ ආයෝජන සීඝ්රයෙන් පිටවී යාමේ අනතුරක්ද ඇතිවෙලා. සංචාරකයන්ගේ පැමිණීමද මන්දගාමී වීමට හේතුවී ඇත්තේ රටේ අද පවතින අහිතකර දේශපාලන වාතාවරණයයි. අපට ලැබීමට තිබූ ජපානයේ ඩොලර් බිලියන 1.4ක ණය ආධාරද, අමෙරිකාවෙන් ලැබිය යුතුව තිබූ ඩොලර් මිලියන 490ක ආධාරද ජර්මන්, කැනේඩියානු, රජවලින් මෙන්ම ආසියානු සංවර්ධන බැංකු ආධාරද නැවතීම නිසා ශ්‍රී ලංකාව අන් කවරදාකටත් වඩා විශාල ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙනවා.
►යසවර්ධන රුද්‍රිගු