
“2012 මාර්තුවලින් පස්සේ උපාධිධාරින්ට රැකියා දීමට පොදු වැඩපිළිවෙළක් නෑ. මේ වනවිට රැකියා විරහිත උපාධිධාරින් 57,000ක් ඉන්නවා. ආණ්ඩුව දිගටම බොරු ප්‍රකාශ කරමින් ඉන්නවා. ගුරු සේවයේ පුරප්පාඩු 45,000ක් තිබෙන බව හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් ගිය අවුරුද්දේ පැවසුවා. විද්‍යාපීඨවලින් පිටවෙන අයට ඉන් බාගයක් දුන්නත් තව පුරප්පාඩු බාගයක්ම තිබෙනවානේ. ජනාධිපතිවරයා මේ අවුරුද්දේ මුලදී කිව්වා රාජ්‍ය සේවයේ වෙනත් තනතුරු පුරප්පාඩු 43,000ක් තිබෙන බව. නමුත් මේවා පුරවන්නේ නැහැ. උපාධිධාරින් රැකියා නැතුව ඉන්නවා.
අප සමඟ එලෙස පැවසුවේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරැ තැන්නේ ඥාණානන්ද හිමියෝ වෙති.
උපාධාරින් රජයේ රැකියා ලබාගැනීම සඳහා අරඹා ඇති සටන යළිත් තීව්ර වෙමින් පවතී. එළඹෙන දෙසැම්බර් 3දා රැකියා විරහිත උපාධිධාරීන් කොළඹට රුස්කිරීමේ වැඩසටහනක්ද ඔවුන් ක්‍රියාත්මක කර ඇත. උපාධිධාරීන් විරෝධතාවලදී අසන්නේ තමන්ට රජයේ රුකියාවක් ලබාදිය නොහැකි නම් සරසවි අධ්‍යාපනයක් ලබාදී උපාධියක් දුන්නේ ඇයිද යන්නයි.
අප රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ උපාධි පාඨමාලා දෙස බලන විට පෙනෙන්නේ උපාධිධාරියකු වීමෙන් පසු රජයේ රැකියාවක සුරක්ෂිතතාවය ඇත්තේ උපාධි පාඨමාලා කිහිපයකට පමණක් බවයි. ඒ අතරින් වෛද්‍ය හා දන්ත වෛද්‍ය උපාධිධාරීහු වාසනාවන්තයෝ වෙති. නමුත් දේශීය වෛද්‍ය උපාධිධාරීන්ට ඒ වාසනාව නැත. අවම වශයෙන් ඉංජිනේරු පීඨවලින් බිහිවන උපාධිධාරීන්ටද මෙම රැකියා සුරක්ෂිතභාවය නැත. ඒ නිසා ඔවුන්ද ඉංජිනේරු උපාධියට අදාළ නොවන වෙනත් රැකියාවල නිරත වනු පෙනේ.
2017දී විශ්වවිද්‍යාලවලට සිසුන් 30,500ක් බඳවාගෙන තිබේ. ඒ අතර වාර්ෂිකව විශ්වවිද්‍යාල 15කින් විශාල ප්‍රමාණයක් උපාධිධාරීන් වශයෙන් පිටවෙති. රජය වාර්ෂිකව විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කරයි. එහෙත් ඉන් නියම ප්රතිලාභ රටට නොලැබෙන බවයි මෙලෙස උපාධියක් කරපින්නාගෙන රුකියා පෝලිමේ වේලෙන්නට සිදුවීමෙන් පෙනෙන්නේ.
වාර්ෂිකව විශ්වවිද්‍යාල තුළින් පිටවන උපාධිධාරීන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවලට යොමුවන අතර තවත් කොටසක් විදේශගත වීම සිදුවේ. තවත් විශාල පිරිසක් රැකියා විරහිත තත්ත්වයෙන් සමාජයේ ඉතිරි වේ. ඉන් වැඩි ප්‍රතිශතයක් කලා උපාධිධාරීහු වෙති.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ තැන්නේ ඥාණානන්ද හිමි:
“2017 අගෝස්තු මාසේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය උපාධිධාරීන් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වූවා. ඔවුන්ගේ සැලසුම වුණේ 20,000ක් බඳවා ගැනීමටයි. නමුත් රටපුරාම සම්මුඛ පරීක්ෂණ තියලා බඳවා ගත්තේ 4,100යි. ඉතිරි පිරිස 2018 දෙසැම්බර් බඳවා ගන්නා බව තමයි පැවසුවේ. අපි ආණ්ඩුවට බල කරන්නේ සියලුම දෙනා බඳවා ගන්නා ලෙසයි. පළාත් ගුරු විභාග (ඌව පළාත හැර) සමත් වූ විශාල පිරිසකුත් ඉන්නවා. රැකියා ලබානොදී දිගින් දිගටම කල් දැමීමක් තමයි පෙනෙන්නේ.
ආණ්ඩුවේ ජනපති හා අගමැති (හිටපු) රුකියා විරහිත උපාධිධාරීන් සැමට රැකියා ලබාදෙන බවට පුරසාරම් දොඩලා තමයි පසුගිය දිනෙක 4,100කට පමණක් රැකියා ලබාදී මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූයේ. නමුත් පසුගිය ආණ්ඩුව බලයට පත්වුණේ උපාධිධාරීන් මින් ඉදිරියට පාරේ රස්තියාදු නොකරන බවට පොරොන්දු වෙමින්. අපි ඒකාබද්ධ රුකියා විරහිත උපාධිධාරී සංගමය විදිහට 2013 සිට තමයි උපාධිධාරී රුකියා ගැටලුව විසඳන ලෙස අරගල ආරම්භ කළේ.
මෙලෙස රැකියාවක් ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ රටේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් සැපිරූ පිරිසක් වීම ඛේදවාචකයකි. නමුත් ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වත්මන් ලෝකයට ගැලපේද යන්න ඒ ආයතනවලින් බිහිවන උපාධිධාරීන් බහුතරයකට රැකියාවක් සොයාගැනීමට නොහැකි වීමෙන් පෙනේ. ලංකාවේ විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීමේ සිටින්නේ පහළ මට්ටමකය. කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේදී 1946 ස්ථානයේ පසුවේ. අනෙක් විශ්වවිද්‍යාල සියල්ල ඊටත් වඩා පහළ මට්ටමක පවතී.
ඔබ සැලසුම් කරන්නේ වසරකට නම් ධාන්‍ය වපුරන්න, ඔබ සැලසුම් කරන්නේ දශකයකට නම් ගස් සිටුවන්න, ඔබ සැලසුම් කරන්නේ ජීවිත කාලයටම නම් අධ්‍යාපනය ලබාදෙන්න* යයි අප්‍රිකානු මසායිමාරා ගෝත්‍රිකයන් අතර කියමනක් පවතී.
නමුත් ලංකාවේ එලෙස අධ්‍යාපනය ආයෝජනයක් නොවීමට එම අධ්‍යාපනය ප්‍රායෝගික ලෝකයට වැදගත් නොවීම බලපා තිබේ. කලාව කෙරුවොත් මළා තමයි යනුවෙන් සෝමලතා සුබසිංහ විකෘති නාට්‍යයේ දෙබස් ලිව්වේ ඒ නිසාය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ පීඨයේ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මෙය දකින්නේ මෙලෙසිනි.
උපාධිධාරියා කියන්නේ දීර්ඝ අධ්‍යාපන ක්‍රියාවලියකින් පසු එළියට ගන්නා මානව සම්පතක්. ඇත්තටම බැලුවොත් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් වාර්ෂිකව පිටවන උපාධිධාරීන් සංඛ්‍යාව රටේ ආර්ථිකයකට ප්‍රමාණවත් නැහැ. උපාධිධාරීන් වැඩිවන විට තමයි රටේ මානව සම්පතේ ගුණත්වය ඉහළ යන්නේ. තායිලන්තයේ ඉලක්කයක් තියෙනවා 2030 වනවිට සෑම පුරවැසියෙක්ම උපාධිධාරියෙක් කිරීමට. අපේ රටේ අඩු ප්‍රමාණයක් උපාධිධාරීන් බිහිවුණත් ඔවුන්ගේ කුසලතා අනුව නිසි කළමනාකරණයකින් රැකියාවලට යොමු කිරීමේ වැඩපිළිවෙළක් නැති නිසා තමයි මේ ප්රශ්නය මතුවෙලා තිබෙන්නේ. අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හා ආර්ථික ප්‍රතිපත්තිය අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවයක් නැතිවීමයි ප්‍රධාන ප්රශ්නය.
තායිලන්තයේ අධ්‍යාපන නියෝජිතයන් සමඟ මම කළ සාකච්ඡාවේදී ඔවුන් කියන්නේ උපාධිධාරියා කියන්නේ දියුණු හික්මවීමක් සහිත මානව සම්පතක් බවයි. ඉංජිනේරැවකු වගේම කාර්මික ශිල්පියෙකුත් උපාධිධාරියෙක් විය හැකියි. ඒක නිල් කොලර් රැකියාවක්ම විය යුතු නැහැ. අපි විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයක් කළා තමන් ඉගෙනගත් ක්ෂේත්‍රෙය් රුකියාවක් කරනවද යන්න සොයාබැලීමට. නමුත් හුඟක් උපාධිධාරීන් රැකියා කරන්නේ තමන් ඉගෙනගත් ක්ෂේත්රයේ නොවේ. ඉතා විශාල ඉංජිනේරුවෝ ප්‍රමාණයක් සහ විද්‍යා උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් කළමනාකරණ රැකියා කරනවා. ඒකෙන් වෙන්නේ තමන් ඉගෙනගත් විශේෂඥතාවයක් දක්වන ක්ෂේත්රයෙන් වැඩක් නැතිවීමයි. මෙවැනි සංකීර්ණතා නිසා ලැබෙන ඵලදායකත්වය අඩුයි. ඔවුන්ගේ අධ්‍යාපනයට වැයකරන මුදලින් ඒ නිසා ප්‍රතිලාභයක් රටට ලැබෙන්නෙත් නැහැ.
උපාධිධාරියාද ප්‍රතිසංස්කරණය විය යුතුය. රජයේ රැකියාවක්ම ඉල්ලාගෙන යනු වෙනුවට ස්වාධීනව පෞද්ගලික හෝ රාජ්‍ය ක්ෂේත්රයේ තමා ඉගෙනගත් අංශ අනුව රැකියාවක් සොයාගැනීමේ පෞරැෂ හැකියාවද ඔහුට තිබිය යුතුය. නමුත් විශ්වවිද්‍යාලවලින් පිටවන බහුතරයකට එවැනි හැකියාවක් ඇති බවක් නොපෙනේ. ඒ අතර සමහර සිසුන් උපාධිය හදාරන අතරම වෙනත් වෘත්තීය පාඨමාලාද හදාරමින් රුකියා වෙළෙඳපොළ ජයගනිති.
වෙළෙඳපොළේ උපාධිධාරියාට තිබෙන්නේ සීමිත ඉඩ ප්රස්ථා ප්‍රමාණයක්. රටේ සම්මතයක් තිබෙනවා ඔහු ඉහළින්ම තැබිය යුතු බව. මේ නිසා ආර්ථිකය පුළුල් නොවූ රටක උපාධිධාරීන්ට තිබෙන්නේ සීමිත ඉඩකඩක්. උපාධිධාරියකුට තමන්ගේ හැකියාව, දැනුම අනුව ඕනෑම දෙයක් කළ හැකි විය යුතුයි. නමුත් හුඟ දෙනෙක් බලාපොරොත්තු වන්නේ රජයේ රැකියාවක්. රජයත් කාලෙකට උපාධිධාරීන් ඔක්කොම අරගෙන ගෙඩි පිටින් ලිපිකරු රැකියා දෙනවා. විද්‍යාව, නීතිය හදාරපු අයත් ලිපිකරු රුකියාවලට යනවා. මේක පැලැස්තරයක්. ඡන්ද ගුණ්ඩුවක් මිසක් විසඳුමක් නොවෙයි. අධ්‍යාපන සහ ආර්ථික ප්‍රතිපත්තිය අතර හොඳ අන්තර් සම්බන්ධතාවයකින් ගියොත් දැනට තිබෙන උපාධිධාරී සංඛ්‍යාවත් මදි වේවි. නමුත් ඒක කෙටි කාලයකින් කළ හැකි නොවේ* ආචාර්ය අනිල් වැඩිදුරටත් කීවේය.
ලංකාවේ විශ්වවිද්‍යාලවලට යාමට අපහසු වන 10,000ත් 12,000ත් අතර සංඛ්‍යාවක් වාර්ෂිකව පිටරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යති. ඔවුන් අතරින් වැඩි දෙනෙක් උපාධි ලබා මෙරටට පැමිණ කෙටි කලකින් රැකියාවක් සොයා ගනිති. එයට හේතුව සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දී තම හැකියාව පෙන්වා රුකියාවක් ලබාගැනීමට ඔවුන් තුළ සමත්කමක් තිබීමයි. ඔවුන් අදාළ ක්ෂේත්රයේ සාර්ව දැනුමක් ලබාගෙන සිටිති. තොරතුරැ තාක්ෂණය, ජාත්‍යන්තර සබඳතා, මනා කළමනාකරණය ආදී අංග ලක්ෂණද ඔවුන්ගේ උපාධියත් සමඟ හිමි වී තිබේ.
කළයුත්තේ අපේ විශ්වවිද්‍යාල සිසුන්ට ගැලපෙන රුකියා ලබාදෙන අතරම විශ්වවිද්‍යාල අධ්‍යාපනයද වර්තමාන ලෝකයට ගැලපෙන ලෙස වෙනස් කිරීමයි. එසේ නැතහොත් සිදුවන්නේ ලබන දෙසැම්බර් 3දා මෙන්ම ඉන් ඉදිරියටත් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ඉල්ලාගෙන උද්ඝෝෂණ කරමින් රස්තියාදුවීමට සිදුවීමය.
කුසුම්සිරි විජයවර්ධන