මිසයිලය හා මල්ටි බැරල් රොකට් විදිනය යුද උපකරණ අතර ප්‍රධානය. මේවායේ භාවිතය, ක්‍රියාකාරීත්වය, ප්‍රයෝජන පමණක් නොව පෙනුමින්ද සෙසු අවි අතර කැපී පෙනෙයි. මෙරට පැවති මානුෂීය මෙහෙයුමේදීත් මිසයිලය හා මල්ටි බැරල් අවිවලින් සිදු වූ මෙහෙවර විශිෂ්ටය. ශ්‍රී ලංකාවේ පළමු වතාවට මිසයිලයක් සහ මල්ටි බැරල් රොකට් විදිනයක් නිෂ්පාදනය කරන්නට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්ව තිබුණේ අතීත යුද අත්දැකීම්ද ඇසුරු කරගනිමිනි.
එසේ නිර්මාණය කළ මෙරට පළමු මිසයිලය සහ මල්ටි බැරල් විදිනය ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ 75 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වූ ප්‍රදර්ශන භූමියේදී මහජනතාවට ප්‍රදර්ශනයට කෙරිණි.
මෙම විශ්මිත නිර්මාණයන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයට අනුයුක්ත යුද, ගුවන් හා නාවික සෙබළුන් එක්ව නිර්මාණය කර තිබේ. ත්‍රිවිද හමුදාවේ දායකත්වයෙන් මෙම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කර වසර එකොලහකි. එහි ප්‍රධාන අරමුණ වී තිබුණේ ශ්‍රී ලංකාවට අවශ්‍ය යුද උපකරණ නිර්මාණය කිරීමටය.
මේ පිළිබඳව අදහස් දැක්වූ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය බ්‍රිගේඩියර් නිරාන් ද සිල්වා මහතා මෙය ලංකාවේ ප්‍රථම වතාවට නිෂ්පාදනය කළ මිසයිලය සහ මල්ටි බැරල් විදිනයයි. මේවා අපේ නිලධාරීන් විසින්ම සොයාගත් තාක්ෂණය උපයෝගී කරගෙනයි නිර්මාණය කළේ. දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කිරීම විශේෂයි.
දැනටමත් මේවායේ සාර්ථක බව සනාත කරගෙන තිබෙනවා. දියතලාව, පුනාව, වැලිසර ඇතුළු ස්ථාන හයක මෙවැනි නිර්මාණ පුහුණුව සඳහාත් යොදා ගන්නවා. මේ සෑම නිර්මාණයක්ම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව නිර්මාණය කෙරෙනවා. අනාගතයේදී මේ උපකරණ අපනයනය කරලා විදේශ විනිමය ලංකාවට ගෙන ඒමේ අදහසක් තිබෙනවා.
මල්ටි බැරල් විදිනය හා මිසයිලය නිර්මාණයට යොදාගෙන ඇති අමුද්‍රව්‍ය 100%ක්ම දේශිය ඒවාය. මල්ටි බැරලය වරකට උණ්ඩ 4ක් පිට කළ හැකි අතර කිලෝ මීටර් 22ක් දක්වා දුර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුක්තය. නුදුරු දිනකදී මල්ටි බැරලය උණ්ඩ 8ක් සහිතව නිර්මාණය කිරීමට දැනට කටයුතු සූදානම් කරමින් සිටී. මේ විශ්මිත මල්ටි බැරල් විදිනය ගොඩබිම හා මුහුදේදී භාවිතයට ගත හැකි අතර ට්‍රක් රථයකට හෝ නැවකට සවි කිරීමේ හා එහි සිට ක්‍රියාත්මක කිරීමේ හැකියාවෙන් යුක්තය.
මිසයිල වර්ග කොතෙක් ඇතත් ශ්‍රී ලංකාවේ භාවිතයට ගතහැකි මෙරට පරිසරයට සුදුසු ඒවා නොමැත. ගොඩබිමේදී, ගුවනේදී හා දියඹේදි පහසුවෙන් හා නියමිත ඉලක්කයට භාවිතා කිරීමේ පහසුව සහිතව නිපදවා ඇති මෙම මිසයිලය විශේෂිතය. මේ සඳහා දේශීය අමුද්‍රව්‍ය භාවිතා කොට තිබෙන අතර සිදු කළ සියලු පරීක්ෂණ හා අත්හදා බැලීම් සාර්ථකය. මිසයිලය නිර්මාණයේ ප්‍රධානියා වන භෞතික විද්‍යඥ විශ්‍රාමික කොමාන්ඩර් චන්දන පෙරේරා මහතා මෙසේ පැවසීය.
''දෙරණ, දියඹ, ගුවන ඕනෑම තැනකදී මෙය භාවිතා කළ හැකියි. සාමාන්‍ය මිසයිලයක් නැවක හෝ යාත්‍රාවක භාවිතා කරනවානම් නිරන්තර සෙලවීම නිසා ඉලක්කය ගැනීම අපහසුයි. ගුවනේදීත් ඒ වගේ. මේ සියල්ලට සරිලන විදිහට නියමිත ඉල්ලකය නිරවද්‍යතාවයෙන් යොමු කිරීමට හැකි විදිහටයි නිර්මාණය කළේ. යුද්ධය පැවති සමයේදී මල්ටි බැරල් අවියක් රුපියල් 120,000ට වැඩි වුණා. මල්ටි බැරලයේ උණ්ඩ 40 එක පාරට යද්දී ලක්ෂ 50ක් විතර වැය වුණා. අපි උත්සාහ කළාම තේරුණා අපිට මේක නිර්මාණය කරන්න පුළුවන් කියලා. අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල ලංකාව තුළ තිබුණා. රටේ දේශගුණයට, අවශ්‍යතාවයට ගැලපෙන විදිහට හදන්න අපි උත්සාහ ගත්තා. මිසයිල තාක්ෂණයේ මූලිකාංග පොදුයි. මේ නිසා යුද හමුදාවට, නාවික හමුදාවට, ගුවන් හමුදාවට වශයෙන් අවශ්‍ය විදිහට නිර්මාණය කිරීමට හැකියාව ලැබුණා. මේ කාර්ය සඳහා යුද, ගුවන්, නාවික නිලධාරීන්ම යොදාගත්තා. ඒ අයට අවශ්‍ය හැකියාවක් තිබුණා.''
මෙවැනි දැනුමක් සේවයේ නිරත නිලධාරීන් සතු වීම නිසා ඉදිරියේදී මිසයිලය තව තවත් වර්ධන අවධීන්වලට යොමු කර නිර්මාණය කිරීමට හැකියාව සතුය. මිසයිලයේ දිග, පළල, බර හෝ ප්‍රමාණය පිළිබඳව නිශ්චිතව පැවසිය නොහැකිය. හේතුව අවශ්‍යතාවය මත නිර්මාණයේදී එම සියල්ල එකිනෙකට වෙනස් වන නිසාය. විශේෂයෙන් මිසයිලයට අවශ්‍ය කරන දුර ප්‍රමාණය අනුව ද එහි ප්‍රමාණය වෙනස් වේ. එහිදී හැඩය ද වෙනස් වීමකට ලක්වේ. නැවක සිට මිසයිලය භාවිතා කරන්නේ නම් එහිදී විශාල වපසරියක් තිබෙන අතර මිසයිලය ඉහළට එසවීම අඩුය. එහෙත් ගොඩබිම පවතින බාධා වැඩි නිසා ඉහළට එසවීම වැඩිය. ගුවන් හමුදාවේදීනම් යානය වේගයෙන් ගමන් කරන නිසා විදිනයත් ඉලක්කයත් ගමන් කරන මට්ටමක පවතී. එය වෙනස් කර නිමවීමට මෙහි අවස්ථාව ඇත. මූලික අදියරේදී මිසයිලය කිලෝ මීටර් 10ක් දක්වා භාවිතා කිරීමට හැකි බවද හඳුනාගෙන ඇත. ඒ අතරමැද ඕනෑම ඉලක්කයකට මෙය භාවිතා කළ හැකිය.
මිසයිලය නිර්මාණයේදී මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ හා ලබන සිසු සිසුවියන් පිරිසකගේ සහාය හා දැනුම උපයෝගී කරගත් බව භෞතික විද්‍යාඥ චන්දන පෙරේරා මහතා සඳහන් කළේය. අවශ්‍ය තාක්ෂණය සමඟින් හමුදාවේ නිලධාරීන්ගේ දැනුම හා හැකියාව භාවිතයෙන් මිසයිලය නිර්මාණය කළ බවද ඒ මහතා සඳහන් කළේය.
මල්ටි බැරලය භාවිතයෙන් මීටර් 680ක වපසරියක් විනාශ කළ හැකිය. මිසයිලයේ විශේෂත්වය වන්නේ නිශ්චිත ඉලක්කයක් පමණක් විනාශ කිරීමට හැකි වීමය. එබැවින් මෙය ජීවිත විනාශ කිරීමට නොව අත්‍යවශ්‍ය ඉලක්කයක් නිරවද්‍යව ලබා ගැනීම සඳහා නිර්මාණය කළ එකක් බව අවධාරණය කළ යුතුය.
සමන්ත ප්‍රදීප් විල්තෙර