
අපේ රටේ එළවළු කොපමණ වගා කළත් මිල නිසි ලෙස කළමනාකරණයට ලක්වන්නේ නැත. එසේ මිල කළමනාකරණයට ලක් වී ඇත්නම් රට වටා එළවළු නිසි ආකාරයෙන් බෙදී යා යුතු අතර මේ තරම් ඉහළට එළවළු මිල ඉහළ නොයනු ඇති බව බොහෝ පාරිභෝගිකයන්ගේ මෙන්ම වෙළෙන්දන්ගේද මතය වී ඇත.
මේ දිනවල වෙළෙඳපොළෙහි එළවළු මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වී සිටිති. නමුත් වෙළෙඳුන් පවසන්නේ පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හිටි හැටියේම එළවළු මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි. කෙසේ වෙතත් දිනෙන් දින පාරිභෝගික ජනතාවගේ පැමිණිලි ගැන සොයාබැලීමට අපි කොළඹ නගරයේ වෙළෙඳපොළ සංචාරයක නිරත වූවෙමු.
ලොකුම හේතුව වැස්ස - වසන්ත දිසානායක
පහුගිය දින කිහිපය තුළ එළවළුවල සිල්ලර මිල ඉහළ ගියා. බොහෝ පාරිභෝගිකයන් හිතන්නේ මේ ළඟ එන උත්සව සමය නිසා වෙළෙන්දන් විසින් මේ විදියට හිතුමතේ එළවළු මිල ඉහළ දානවා කියලා. නමුත් ඇත්තටම මේකට හේතුව තමයි පසුගිය දිනවල ඇදහැලුණු වැස්සත් එක්ක තමයි මේ විදියට එළවළු මිල ඉහළ ගියේ. ඇත්තටම එකවරම මේ විදියට මිල ගණන් ඉහළ ගියාම ඒකේ පාඩුව විඳින්නත් වෙන්නේ වෙළෙන්දන් වන අපට. ඒ මොනවත් නිසා නෙවෙයි බොහෝ පාරිභෝගික ජනතාව හැම දේකම මිල විමසලා තමයි අරගෙන යන්නේ. ඇත්තටම මේ මිලෙහි යම් වෙනසක් මේ මාසය අවසන් වනවිට දැකගන්නට ලැබෙයි. උත්සව සමය කියලා එහෙම වෙළෙන්දන් මිල වැඩි කරන්නේ නැහැ. වැස්ස තමයි මේකට මූලිකම හේතුව.
තව සති තුන හතරකින් මිල බහීවි- මොහොමඩ් ෆාරිස්
පහුගිය සති දෙක තුනට වඩා පොඩ්ඩක් වැඩියෙන් එළවළු මිල වැඩිවෙලා තියෙනවා. සමහරු හිතනවා රටේ තියෙන මේ දේශපාලන ප්රශ්න නිසා තමයි එළවළු මිල ඉහළ ගිහින් තියෙන්නෙ කියලා. ඇත්තටම අපේ මිනිස්සු හැමදේම දේශපාලනය ගැන බලන නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. පහුගිය දිනවල ලංකාවේ හැමතැනටම වගේ වැස්ස. ඒ නිසා තමයි මේ විදියට මිල ඉහළ ගියේ. අපි දැක්කා පහුගිය කාලේ එළවළු කොච්චර ලාබෙට තිබ්බද කියලා. වට්ටක්කා එහෙම විකුණා ගන්නම බැරැව තිබුණා. මේ තත්ත්වය පාරිභෝගිකයාට වඩා අපිට බලපානවා. අපි තොග වශයෙන් මෙන්ම සිල්ලරට මේ එළවළු බිස්නස් එක කරනවා. ඒ වුණාට සමහර පාරිභෝගිකයෝ එළවළු මිල අහලා යන අවස්ථා ඕන තරම් තියෙනවා. මේක මේ වෙළෙන්දන් විසින් ඇතිකරපු දෙයක්වත්, දේශපාලන තත්ත්වය නිසා ඇතිවුණු දෙයක්වත් නෙවෙයි. පහුගිය දිනවල වැස්සත් එක්ක ඇතිවුණු තත්ත්වයක්. මේ මිල ගණන් දෙසැම්බර් තුන්වන සතිය හතරවන සතිය විතර යද්දි අඩුවෙයි කියලා අපිත් බලාපොරොත්තු වෙනවා.
අමුමිරිස් රු.800ටත් ගියා - ප්රියන්ත සම්පත්
එළවළු මිලේ වෙනසක් වෙලා තියෙනවා. අපි හිතනවා ඉක්මනට එළවළු මිලේ යළිත් වෙනසක් වෙයි කියලා. වැස්ස නිසා තමයි එකවරම එළවළු මිල ඉහළ ගියේ. දැන් දවස් කිහිපයක් තිස්සේ අමු මිරිස් කිලෝ එකක් රුපියල් 800කට විතර තමයි ගියේ. නමුත් දැන් අමු මිරිස් කිලෝ එකක මිල රුපියල් 600ක් වෙනකම් පහළ බැහැලා තියෙනවා. දැන් සතියකට විතර කලින් තිබුණු මිලයි මේ වනවිට තියෙන මිලයි එක්ක බැලුවම අඩුවීමක් වෙලා තියෙනවා. නමුත් පහුගිය මාසයකට විතර කලින් තිබුණු මිල එක්ක බැලුවම මිල වැඩිවීමක් වෙලා තියෙනවා. දැන් බෝංචි එහෙම කිලෝ එකක් රැපියල් 280ත් 300ත් අතර ගානකට තමයි යන්නේ. ලොරියෙන් අඩු මිලට බාලා අපි වැඩි මිලට විකුණන්නේ නැහැ. මේ මාසය අවසන් වෙද්දී එළවළු මිලෙහි අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
විකුණගන්න බැරිව තිබුණු වට්ටක්කා දැන් රුපියල් සීයයි - අගනි කුමාර
ඔය හැමෝම කියන තරම් මිල වැඩිවීමක් වෙලා නැහැ. නමුත් පොඩි වැඩිවීමක් තියෙනවා. පහුගිය කාලේ එළවළු මිල උපරිම ලෙස පහත වැටිලා තිබුණේ. සමහර එළවළු නරක් වෙලා ගියා මාර්කට් එකේම. මේ වැස්ස නිසා එළවළු මිල වැඩිවෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. වට්ටක්කා එහෙම විකුණගන්නම බැරිව තිබුණා අපිට. දැන් වට්ටක්කා කිලෝ එකක් යන්නේ රුපියල් සීයක් වගේ මිලකට. උඩරට එළවළුවල මිල තමයි මේ විදියට වැඩිවෙලා තියෙන්නේ. පහතරට එළවළුවල මිල වැඩිවීමක් පේන්න නැහැ. දෙසැම්බර් අන්තිම විතර වෙද්දි මේ මිලේ යම් වෙනසක් වෙයි.
සටහන - හසිත් අංජන
සේයාරූ - සුමුදු හේවාපතිරණ