
1. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු අර්බුදයේ පාර්ශවකරුවෝ බලාගෙන ඉන්න බවක් නේද පේන්න තියෙන්නේ?
2. මේ අර්බුදය හේතුවෙන් කඩා වැටිලා තියන ආර්ථිකය අනාගතයේදී රටට මොන විදියේ ගැටලු ඇති කරයිද?
3. පාර්ලිමේන්තු මැතිවරණයකින් මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් කියලා හිතනවාද?
4. රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත් අගමැතිකම ලබා නොදෙන බවට ජනාධිපතිවරයා කියන ප්‍රකාශයට එකඟ වෙන්න පුළුවන්ද?
ඡන්දෙකට එන්න බයේ විපක්ෂය උසාවි ගිහින්
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ
1. අර්බුදයක් නැහැ. මේ කතානායකවරයාගේ ක්‍රියාකලාපය තමයි මේකය හේතු වෙලා තියෙන්නේ. අද ඉන්නේ එජාප ග්‍රහණයට නතු වුණු කතානායකවරයෙක්. මේ රට ගොඩගන්න මේ වෙලාවේ අවශ්‍ය මැතිවරණයක්. මොකද පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ මේ යහපාලනය ජනතාවට එපා වෙලා තිබුණේ. මේ අය මැතිවරණවලට මුහුණ දෙන්න බය නිසා තමයි මේ විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතුවේ. කොහොම වුණත් ලබන 07 වැනිදා වෙනකොට යහපත් තීන්දුවක් ස්වාධීන තීන්දුවක් අධිකරණය මඟින් ලැබේවි කියලා හිතනවා.
2. මේ රටේ ආර්ථිකය කඩා වැටුණේ මේ මාසෙක කාලය තුළ නෙවෙයි. මේ රටේ ආර්ථිකය කඩා වැටුණේ පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ. මහ බැංකු බැඳුම්කර වංචාවෙන් පස්සේ තමයි මේ රටට විශාලතම හානිය වුණේ. කවුරුහරි කෙනෙක් හිතනවානම් මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙලා මාසයෙන් මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියලා. එහෙම කරන්න බැහැ. නිසි ආර්ථික දැක්මක් තියෙන්න ඕන. ඒකට ටිකක් කල් යනවා. අපි හිතනවා මේ වැටුණු ආර්ථිකයෙන් රට ගොඩ ගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්තයට විතරයි කියලා.
3. ඔව්. එකඟ වෙන්න පුළුවන්. ජනාධිපතිවරයාට බලයක් තියනවා නව අගමැතිවරයෙක් පත් කරන්න. තමන් ඝාතනය කරන්න උත්සාහ ගත් අයකු එක්ක සම්බන්ධකම් පවත්වන බවට චෝදනා එල්ල වුණු කෙනෙක් නැවත රටට පත් කළ යුතුයිද? එතුමා කරපු එම ප්‍රකාශයේ මම වරදක් දකින්නේ නැහැ.
ජනාධිපතිතුමා දැන්වත් තීන්දුවක් ගත යුතුයි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
1. අපි මේ අර්බුදය පටන් ගත්ත දවසේ ඉඳලම මේ වෙනකොට විශ්වාසභංග දෙකක් පරාජයට පත් කරලා කියනවා. එතකොට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයට යෝජනාවක් කරලා අපි පරාජය කළා. ඒ වගේම අපිට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් තියනවා. ඇත්තටම මේ වෙලාවේදී ජනාධිපතිතුමා පැහැදිලි තීන්දුවක් ගත යුතුයි. දැන් මාසයක් තිස්සේ නිසි ආණ්ඩුවක් නැතුව මේ රට අරාජික වෙලා කඩා වැටිලා තියනවා.
2. අනිත් රටවල් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ එක්ක ගත්තම රටට මේ වෙච්ච හානිය බෙහෙවින්ම බලපානවා. ගනුදෙනු කිරීමේදී දැන් අපිට ජී.එස්.පී. සහනාධාරය නැති වුණාම අපේ ආණ්ඩුව යටතේ එය ලබා ගන්න අවුරුදු දෙකහමාරක් විතර ගතවුණා. දැන් අද වෙනකොට අපේ සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා තියෙන්නේ. මේවා නැති වුණාම ලබා ගන්න විශාල කාලයක් යනවා.
3. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුත්තේ නීත්‍යානුකූල ආණ්ඩුවක් යටතේ නීත්‍යානුකූල විදිහට. නමුත් අද තියන විදිහට පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒ වගේම තමයි රටේ ව්‍යවස්ථාවක් තියනවා. ඒකට අනුව අපි කටයුතු කළ යුතුය. එහෙම නැතුව ව්‍යවස්ථාවට පිටින් ගිහින් ජනාධිපතිවරයා වැඩ කිරීම නරක පූර්වාදර්ශයක්. දැන් පසුගිය කාලේ ව්‍යවස්ථා විරෝධී වැඩ කිහිපයක්ම වුණා. ඒ නිසා ජනාධිපතිවරයා ඇතුළු හැමෝම ව්‍යවස්ථාවට ගරු කරන පුද්ගලයන් බවට පත්විය යුතුයි.
4. කිසිසේත්ම එයට එකඟ වෙන්න බැහැ. මොකද ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට ගරු කළ යුතුයි. රටේ ජනතාවගේ හඬට ඇහුම්කන් දිය යුතුයි. අනික රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක තාමත් බහුතරයක් සිටිනවා.
ජනතාව ඉදිරියට ගොස් විසඳාගත යුතු අර්බුදයක්
ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේන
01. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව 07 වැනිදා ලැබුණම ඉන්පසු එළැඹෙන දේශපාලන වාතාවරණය පිළිබඳ මුළු රටම බලන් ඉන්න තත්ත්වයක් තිබෙන බව ඉතා පැහැදිලියි. මේ සංකීර්ණ දේශපාලන වටපිටාව මේ රටට උචිත ආකාරයෙන් සිදු කිරීමට ගන්න ඕන උපරිම ක්‍රියාමාර්ග අපි ගන්නවා. 2015 ජනවාරි 08 වැනිදා ඉඳන් මේ රට ගලාගෙන ආවේ බෙදුම්වාදී දිශාවට. ඒ වගේම දැන් අනිත් අයට හොරු හොරු කියලා ආපු මහත්තුරු ටයි කෝට් දාගෙනම මහ දවාලේ හොරකම් කළා. ඇත්තටම මෙතන ජනවරමක් නැහැ. නමුත් ඔවුන්ට ඕන විදෙස් බලවේග එක්ක එකතු වෙලා රට අස්ථාවර කරන්න.
02. පාර්ලිමේන්තු මැතිවරණයකින් පස්සේ පැහැදිලි ජනවරමක් අරගෙන ස්ථාවර ආණ්ඩුවක් හදන්න අපි කටයුතු කරනවා. ඊට පස්සේ මේ වැටුණු ආර්ථිකය ගොඩ ගන්න අපි දායකත්වය දක්වනවා.
03. ඉතාම පැහැදිලිවම පුළුවන්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය මේ වෙනකොට අර්බුදයකට ගිහින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රටේ පරමාධිපත්‍ය බලය තියෙන්නේ ජනතාවට. අපි ප්‍රාදේශීය සහා මැතිවරණයක් පෙන්නපු ජනවරමක් තියනවා. ඒක තමයි සුවිශේෂීම ජනවරම. ඒ අනුව අපි ඉල්ලන්නේ මේකත් ජනතාවට දෙන්න කියලා. ඇයි මොවුන් මේක දෙන්න බය? ඇයි දඟලන්නේ මොවුන්? මේ විදිහට කරන්නේ තියන බල ලෝභී බව නිසා. ඒ වගේම මුළු රටත් ජාතියත් උගසට තියලා කරන දෙයක් මේක.
04. මොකටද දෙන්නේ එයාට? විදේශිකයකුගේ අවතාරයක් වෙලා බලයට ආපු එහෙම කෙනෙක්ට අගමැතිකම දෙන්නේ දිය යුතු නැහැ.
බහුතරයක් නැති බව වහගන්න ආණ්ඩුව යැයි කියන පිරිස දඟලනවා
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස
1. ඊටත් වඩා අපිට පේන්නේ තමන්ට නැති බහුතරයක් නොපෙන්වා සිටීමට දරන උත්සාහයක්. කොහොමටත් මේ ආණ්ඩුව තමන්ගේ යැයි කියන පිරිසට බහුතරයක් පෙන්වන්න බැහැ. දැන් මේ වනවිට ඔවුන් පස් වතාවක්ම සුළුතරය කියලා පෙන්නුම් කරලා තියෙනවා. හඬ අනුවත්, ඉලෙක්ට්‍රොනික් ක්‍රමයටත්, අත්සන් මඟිනුත් ඒ පිරිස සුළුතරය කියලා පෙන්වා දී තිබෙනවා. ඒ නිසා තමන්ට හිමි ඉලක්කම වසා ගැනීමේ දුෂ්කර ක්‍රියාවක තමයි මොවුන් නිරත වෙන්නේ.
2. ඔක්තෝබර් 26 වැනිදා ඇති වුණ අර්බුදය එක්ක දැඩි ආර්ථික අර්බුදයකට මේ වනවිට රට මුහුණ දෙනවා. ඒ වගේම මේ වනවිටත් අපිට ලැබිය යුතු විදේශ ආධාර සහ ණය මුදල් නතර වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවට එන්න තිබුණු සමහර ආයෝජන නතර වෙලා තියනවා. සමස්තයක් ලෙස ගත්තම පසුගිය මාසය ඇතුළත රටට ඇති වුණ අර්බුදය ජනතාවට තව වසර කිහිපයක් යනකම් විඳින්න සිදු වෙයි.
3. අනිවාර්යයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට රට ගමන් කළ යුතුයි. ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි මීට වඩා හොඳ පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට. මෙහෙම තමන්ට බහුතර බලයක් නැතුව අමාත්‍යංශ ටික පවරාගෙන තමන් ආණ්ඩුවක් යැයි කියාගන්නා කණ්ඩායමට බලය දීලා ඡන්දයකට යනවා කියන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ඒ නිසා පළමුව මේ කුමන්ත්‍රණය සහ කුමන්ත්‍රණකාරීන් පරාජයට පත් කළ යුතුයි. රට ස්ථාවර කළ යුතුයි. මේ සියල්ල නිවැරදිව කරලා ඡන්දයකට යන්න ඕන.
4. මම දන්නේ නැහැ ජනාධිපති කෙනකුට ව්‍යවස්ථානුකූලව එහෙම කියන්න පුළුවන්කමක් තියනවද කියලා. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ හෝ එජාපයේ වෙන අයකුට වුණත් මේ රටේ අගමැති ධූරය ලබා නොදිය යුතුයි. ශ්‍රීලනිපයෙන්, පොහොට්ටුවෙන් කාටවත් අගමැති ධූරය ලබා නොදිය යුතුයි. කෙසේ වෙනත් රටේ මේ වෙලාවේ තියන පාර්ලිමේන්තුවේ සංයුතියක් තියෙනවා. ජනවරමක් තියනවා. ඒ අනුව තාවකාලිකව අගමැතිවරයෙක් පත්වේවි. නමුත් මේ කවරෙක් විසින් වුවද ගෙනයන ආර්ථික ප්‍රතිපත්තියට ජවිපෙ විරුද්ධයි. ඒක රනිල්ද, මහින්දද කියලා නැහැ.
ඡන්දෙකට යන එක හොඳයි
ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සිවමෝහන්
1. මේ වෙනකොට රටේ ඇති වෙලා තියන දේශපාලන අර්බුදය රටේ සමස්ත ජනතාවම දන්නවා මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන තීන්දුවක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි බලමු 07 වැනිදාගෙන් පස්සේ මොන විදිහේ දෙයක් වෙයිද කියලා.
2. බලවත් රාජ්‍යයන්ට හැර තෙවැනි ලෝකයේ රටවල්වලට තනිවම නැගී සිටින්න බැහැ. ඕනම රටකට අනෙකුත් රටවල සහය උවමනා වෙනවා. ජාත්‍යන්තරය එක්ක තරහා වෙලා අපේ රටවත් අපේ රටේ ආර්ථිකයවත් ගොඩ නගන්න බැහැ. ඒ වගේම තමයි ඇතැම් රටවල් දැනටමත් අපිට මූල්‍ය ආධාර ලබාදෙන එක අත්හිටුවලා තියෙනවා මේ දේශපාලන අර්බුදය නිසා. රට මේ වැටිලා තියන තත්ත්වයෙන් ගොඩ එන්න ජාත්‍යන්තර සබඳතා වර්ධනය කරගත යුතුයි. එහෙම නැතුව තනිව නැගී සිටින්න පුළුවන් ආර්ථික ශක්තියක් තාමත් අපිට නැහැ.
3. මේ අවස්ථාවේ රටේ තියන දේශපාලන තත්ත්වය එක්ක මහ මැතිවරණයකට ගියොත් හොඳයි කියලා අපිටත් හිතෙනවා මගේ පෞද්ගලික අදහසනම් මහ මැතිවරණයක් ඕන කියලා.
4. ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයා කරපු මෙම ප්‍රකාශයට අපිට එකඟ වෙන්න බැහැ. එතුමා මීට වඩා ස්වාධීන තීරණයක් ගත යුතුව තිබුණා. යහපාලනයක් ස්ථාපිත කරන්න ආපු එතුමා මේ විදිහට හැසිරීම පුදුමයට කාරණයක්.
මෙහෙම ගියොත් රට අරාජික වෙනවා
මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. තවුෆික්
1. වෙන කවුරුත් නෙවෙයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තමයි මේ විදිහට පාර්ලිමේන්තු සභා ගර්භයට එන්නේ නැතුව බලාගෙන ඉන්නේ. දෙසැම්බර් 07 වැනිදායින් පස්සේ මේ ගැන තීරණයක් ගැනීමට හැකි වෙයි.
2. මේ දැන් මාසයක් විතර කාලයක් මුළුල්ලේ රටේ ආර්ථිකය කඩා වැටිලා තියෙනවා. දැනටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ණය ලබාදීම අත්හිටුවලා තියෙනවා. ඒ වගේම රටවල් කිහිපයක් ඒ ඒ රටවල සංචාරකයන්ට මේ ඇතිවෙලා තිබෙන දේශපාලන අර්බුදය නිසා එන්න එපා කියලා කියනවා. මේ හැම දෙයින්ම වෙන්නේ අපේ රටට එන්න තිබුණු ආර්ථිකය මුදල් නැති වෙන එක. තවදුරටත් මෙවැනි තත්ත්වයක් යටතේ රට ගියහොත් මේ ආර්ථිකය කඩා වැටිලා රට අරාජික වෙන එක නවත්තන්න බැහැ.
3. මේ අවස්ථාවේ පර්ලිමේන්තු මැතිවරණයක් තිබිය යුතු නැහැ. මොකද පසුගිය රජයට බලය දීලා ඒ කාල සීමාව අවසන් වෙලා නැහැ. නමුත් පාර්ලිමේන්තු මහමැතිවරණයක් අවශ්‍යනම් ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූල ආණ්ඩුවක් යටතේ එය පවත්වන්න. දැන් මේ යන ක්‍රමයට නෙවෙයි.
4. ජනාධිපතිවරයා ඒ කරපු ප්‍රකාශයට මම පෞද්ගලිකව එකඟ වෙන්නේ නැහැ
►හසිත් අංජන