2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

දියවන්නාවේ අවුල නිසා හොම්බෙන් යන සංචාරක ව්‍යාපාර

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

සංචාරක කර්මාන්තය වර්තමාන ශ්‍රී ලංකාවට ප්‍රබලතම ආදායම් මාර්ගයකි. ශ්‍රී ලංකාව තුළ පමණක් නොව අද වනවිට සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් සංචාරක ව්‍යාපාරය සඳහා වැඩි අවධානයක් යොමුකර ඇතිබව ලෝක ආර්ථිකය විමර්ශනය කිරීමේදී නිසැකවම පෙනී යන කරුණකි.

‘ලෝන්ලි ප්ලැනට්’ ආයතනය මගින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවට අනුව 2019 වසරේ සංචාරකයන්ට සංචාරය කළ හැකි රටවල් අතර පළමු ස්ථානයට සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකාව යන නාමයයි. එහි දෙවැනි තැනට ජර්මනිය පත්ව ඇත. එබඳු යුරෝපීය රටක් පරදා ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රයේ කීර්තිනාමයක් හිමිකරගැනීම අප රටට ආඩම්බරයට කාරණයකි.

නමුත් මෙරට ආර්ථිකය ශක්තිමත් කරන සංචාරක ක්ෂේත්‍රය මේ වනවිට නැවතත් කඩාවැටෙන තත්ත්වයට පත්වී ඇතිබව ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය වසර කිහිපය තුළ කෙමෙන් වර්ධනය වෙමින් පැවති සංචාරක ව්‍යාපාරය මේ දිනවල රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන වාතාවරණය හේතුවෙන් පහළ වැටී ඇති බවයි.

සංචාරක ක්ෂේත්‍රයේ මේ වනවිට සිදුව ඇති අර්බුදකාරී වාතාවරණය පිළිබඳව සංචාරක ලැගුම්හල් හිමියන් කිහිපදෙනෙක් දේශයට මෙලෙස අදහස් පළ කළහ.

අපිට ලොකු පාඩුවක්
ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමයේ සභාපති රොහාන් අබේවික්‍රම

“පසුගිය කාලයේ සංචාරකයන්ට සංචාරය කරන්න සුදුසුම රට බවට නම් කරලා තිබුණේ අපේ රට. ඒ වගේම තමයි බොහෝ සංචාරකයෝ මෙරටට පැමිණියා. ඒ පැමිණීම තුළින් රටට සැලකිය යුතු ලෙස ආදායමක් ලැබුණා. නමුත් මේ වනවිට රට තුළ ඇතිවෙලා තිබෙන  දේශපාලන තත්ත්වය නිසා සංචාරකයන් පැමිණීමේ දුර්වලතාවයක් අඩුවීමක් පසුගිය සති දෙක තුන ඇතුළත පෙන්නුම් කරනවා. ඇතැම් රටවලින් දන්වලා තියෙනවා විදේශීය සංචාරකයන්ට මේ දිනවල මෙරට තියෙන දේශපාලන අර්බුදකාරී බව නිසා සංචාරය කරන්න එපා කියලා. එහෙම වුණාම අපේ රටේ ආර්ථිකය කොහොමත් කඩාවැටීමට ලක්වෙනවා. මොකද, මෙරට සංචාරක ව්‍යාපාරය මගින් තමයි මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වන්නෙ. ඒ වගේම තමයි මෙවැනි අවස්ථාවල සංචාරකයන් පැමිණෙන්නේ නැහැ. අසල්වැසි රටවලට තමයි ඔවුන් ඊටපස්සෙ ගමන් කරන්නෙ. මේ තත්ත්වය කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායකයන් විදියට අපිටත් ලොකු පාඩුවක්. ඒ නිසා රට තුළ ඇතිවෙලා තිබෙන මෙම දේශපාලන අස්ථාවරත්වයට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

බුකිං කැන්සල්
හික්කඩුව කුඩා හෝටල් හිමියන්ගේ සහ සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර ද සිල්වා මහතා

“මේ කාලේ තමයි දකුණු පළාතේ ටුවරිස්ට් සීසන් එක ආරම්භ වෙන්නේ. ගිය මාසේ ඉඳන් දාලා තිබුණු බුකින් වැඩි හරියක් මේ වෙනකොට කැන්සල් කරලා තියෙනවා. ඒ අයගෙන් ඒවට හේතු ඇහුවම කියන්නෙ මේ වෙලාවේ ලංකාවේ තියෙන දේශපාලන අර්බුදය එක්ක සංචාරයට එන්න අකැමැතියි කියන එක. දිගින් දිගටම මේ තත්ත්වය ඇදී ගියොත් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වපු සංචාරක කර්මාන්තය වළපල්ලට යන දවස වැඩි ඈතක නෙවෙයි. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් මෙම සිදුවීම් එක්ක විශාල අපහසුතාවයන්ට පත්වෙලා ඉන්නේ. දැන් වෙනදාට මේ සීසන් එක වෙද්දී යුරෝපයේ සංචාරකයන් ගොඩක් එනවා. ඒ වුණාට දැන් ඉන්නේ එක්කෙනයි දෙන්නයි. යුරෝපීය අය ඇත්තෙන්ම නැති තරම්. මේ තත්ත්වය හැකි ඉක්මනින් විසඳලා යහපත් ප්‍රතිචාරයක් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතුයි. එහෙම නැති වුණොත් මේ සංචාරක ක්ෂේත්‍රයේ කඩාවැටීම නවත්වන්න බැරිවෙයි. ඒ නිසා මෙයට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදෙන්න කියලා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

යුරෝපයෙන් කවුරුත් නෑ 
ජේ.ඒ. ද සිල්වා - මීගමුව සංචාරක 
නිකේතන හිමිකරුවෙක්

“නොවැම්බර් අන්තිම දෙසැම්බර් මුල ඉඳලා අප්‍රේල් වෙනකම් සීසන් එක තමයි තියෙන්නෙ. ඒ වුණාට තාමත් මේ වෙනකොට යුරෝපීය සංචාරකයන් ඇවිත් නැහැ. ජපන්, ඉන්දියන් වගේ සංචාරකයන් එක්කෙනෙක් දෙන්නෙක් තමයි ඉන්නෙ. පසුගිය මැයි මාසේ ඉඳන් මාස දෙක තුනක් යනකම් හොඳ තත්ත්වයක් තිබුණා. ඒ වුණාට මේ සීසන් එක පටන් ගන්න හදද්දිම මේ රටේ එකපාරට ඇතිවුණු දේශපාලන අර්බුදයත් එක්ක මෙහෙට එන ප්‍රමාණය අඩු වුණා. බුකින් විශාල ලෙස කැන්සල් කරලා තියෙනවා. තවදුරටත් රටේ මෙම තත්ත්වය තිබුණොත් මේ ෆීල්ඩ් එකේ කඩාවැටීම නතර කරන්න බැහැ. අනික මේ සීසන් එක කාලෙට තමයි කීයක් හරි හොයාගන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්න අය. ඒ විතරක් නෙවෙයි මේ කාලෙට අතුරු ලෙස තවත් රැකියාවක් කරගෙන වෙළෙඳාමක් කරගෙන ජීවත් වුණු මිනිස්සු මීගමුවේ ඕන තරම් හිටියා. මේ විදියට සංචාරකයන්ගේ අඩුවීමක් වුණාම ඒ අයටත් කිසිම දෙයක් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. හැකි ඉක්මනින් මෙයට විසඳුමක් ලැබිය යුතුයි.”

ගුවන් තොටුපොළ නිල සංඛ්‍යාලේඛන අනුව 2016 වසරේ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 2015 වසර හා සසඳන විට 13.7%කින් ඉහළ යාමක් පෙන්නුම් කර තිබිණි.

පසුගිය 2017 වසරේ විදේශීය සංචාරකයන් 2,116,407 දෙනකු සංචාරය සඳහා මෙරටට පැමිණ තිබෙන අතර එය පෙර වසරවලට සාපේක්ෂව විශාල වර්ධනයක් බවද මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඍජුවම බලපාන බවටද සංචාරක අධිකාරිය පසුගිය කාලයේ පවසා තිබුණි. නමුත් මේ වනවිට රටේ තිබෙන අවිනිශ්චිත තත්ත්වය සමඟ සංචාරකයන් පැමිණීමේ පැහැදිලි වෙනසක් දැකගන්නට ඇත.

තවදුරටත් මෙම දේශපාලන අස්ථාවරභාවය රට තුළ පැවතියහොත් මුළුමනින්ම මෙරටට විදේශීය සංචාරකයන් පැමිණීමේ අඩුවක් දිගටම පවතිනු ඇත. රටේ ආර්ථිකයට මනා දායකත්වයක් දක්වන සංචාරක ක්ෂේත්‍රයේ දැනට ඇතිවී තිබෙන මෙම ගැටලුවට බලධාරීන් විසින් හැකි ඉක්මනින් විසඳුම් ලබාදීම අත්‍යාවශ්‍යය.

►හසිත් අංජන