2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

දේශපාලනය නිසා පුරවැසිකමයි කසාදෙයි දෙකම නැති වුණා - ගීතා කුමාරසිංහ

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 158

- ගීතා කුමාරසිංහ

මේ දිනවල රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය පිළිබඳව ඔබට දැනෙන්නෙ කොහොමද..?

බොහෝ දෙනා මහින්ද මහත්තයා ඇයි මෙච්චර ඉක්මන් වුණේ කියලා දොස් කියනවා. දෝෂාරෝපණය කරනවා. නමුත් එතුමාගේ ඉක්මන් වීම හොඳයි. අද මේ පවතින දේශපාලන තත්ත්වයේ හැටියට රට අරාජික කරලා ඉවරයි. රටේ දේපොළ, අපේ ජාතික ධනය පිටරැටියන්ට විකුණලා ඉතුරු ටික ගන්න බලාගෙන ඉන්න විදේශිකයෝ අද පාර්ලිමේන්තුවේ ගැලරියේ ඉඳගෙන අත්පුඩි ගහනවා. සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් වෙලා, ආර්ථික වශයෙන් රට බින්දුවට බැහැලා, කිසිම ව්‍යාපෘතියක් රටේ අනාගතය වෙනුවෙන් දියත් නොවුණු කාලයක මේ ගත්ත තීරණය ඉතාම හොඳයි. අද ලෝකයේ තිබෙන අසරණ වෙච්ච රටක් හැටියට ලංකාව පත් කරලා තියෙනවා. එහෙමනම් ඒකට හොඳම ප්‍රතිඵලය මේ ගත්ත තීන්දුව තමයි. අපේ හිටපු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට පත්කිරීම තමයි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එතුමාගේ ජීවිතේ ගත්ත හොඳම තීරණය හැටියට මම දකින්නෙ.

එක්සත් ජාතික පක්ෂයේ අයට 2015දී ජනාධිපති අපේක්ෂකයෙක් හිටියේ නැහැ. ඔය තරම් කතා කියන ඒ පක්ෂයට තමන්ගේම කෙනෙක් ඉදිරිපත් කරලා ජනතාවගේ ඡන්දය ඉල්ලන්න බැරිවුණේ ඇයි..? ඒ අය අපේ පක්ෂයේ හිටපු ලේකම්ව අරගෙන පික්පොකට් ගහලා අපේ පක්ෂයේ හිටපු ලේකම්ව ගිහින් තියාගෙන, ජනතාව නොමඟ යවලා, ජනතාවට පට්ටපල් බොරු පොරොන්දු දුන්නා. ඒ දීපු පොරොන්දුවල හැටියට මිනිසුන්ව වෙනම ලෝකවලට ගෙනිච්චා. පොඩි වාහන ගන්න දෙනවා කියලා වාහනවලට තිබුණු බදු වැඩිකරලා, ත්‍රීවිලර් කට්ටක් ගන්න මිනිසුන්ට තිබුණු අයිතියත් නැතිකරලා දැම්මා. බදු ගැහුවා. මාසයකට මිනිස්සු සිය ගණනක් වැටි වැටී මැරි මැරී ඒ මළමිනී උඩින් යුද්ධ කරපු රට නිදහස් කළේ මේ රටේ හිටපු ජනාධිපතිතුමාගේ කාලයෙයි. මහින්ද මහත්තයා අගමැති වුණා කිව්වාම මේ රටේ මිනිස්සු මොනතරම් සතුටට පත්වුණාද..?

බොහෝ දෙනා දේශපාලනයට පිවිසිලා තමන් වෙනුවෙන් හම්බකරගන්නවා. තමන්ගේ ආදායම වැඩිකරගන්නවා. ඔබ බොහෝ දේ ඇතිව දේශපාලනයට ඇවිත් බොහෝ දේ නැතිකරගත්ත ගැහැනියක්..?

ඒක ගැන කතා කරන්න ඇත්තටම මම කැමති නැහැ. මම මේ දේශපාලනයෙන් කරපු කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නැහැ. එකම දෙයයි මට කියන්න තියෙන්නෙ. මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් හෝ වෙනත් රජයකින් අද වනතුරු මම එක රුපියලක ප්‍රතිලාභයක් අරගෙන නැහැ. ඒක මට අවශ්‍ය වුණේ නැහැ. මගේ වටපිටාව, මගේ ජීවිතය සාර්ථකව හදාගත්ත කෙනෙක්. අවුරුදු දහසයේ ඉඳන් රටේ ජනතාව සතුටු කළා මිසක් ජනතාව අසතුටු කරලා නැහැ. හොඳම නිළිය හැටියට හය හත් වතාවක් සම්මාන ලබලා, ජනප්‍රිය නිළිය සම්මානය ලබලා, සිනමාපට නිෂ්පාදනය කරලා, සිනමාව වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරපු කෙනෙක් මම.

එහෙම මිනිසුන්ගේ ආදරය දිනාගෙන හිටපු ගීතාට දේශපාලනයට එන්න හිතුණේ ඇයි..?

මට මුලින්ම මහින්ද රාජපක්ෂ මහතා තමයි දේශපාලනයට එන්න කියලා ආරාධනා කළේ. මම මුලින්ම බැහැ කිව්වා. ඒ වෙලාවේ මගේ මහත්තයා ඒකට තදින්ම විරුද්ධ වුණා. ක්‍රිස් මගෙන් ඇහුවේ “ඔයාට මොකටද දේශපාලනේ. ඔයා සතුටින් සැපෙන් ඉන්න ඕන කාලෙ. ඒ කාලෙදී දේශපාලනයක් බදාගන්නෙ ඇයි?” කියලයි. ඒ වෙද්දී බෙන්තර ඇල්පිටිය ආසනයට මන්ත්‍රී කෙනෙක් නැති බව මම දැක්කා. පක්ෂය දිනනවා. බෙන්තර ඇල්පිටිය ආසනයට මන්ත්‍රී කෙනෙක් ලැබෙන්නෙ නැහැ. බෙන්තර - ඇල්පිටිය කියන්නෙ මගේ ගම. මම පැරිෂුට්කාරියක් නෙමේ. මගේ හත්මුතු පරම්පරාවම ඉන්න බෙන්තර ඇල්පිටියේ තමයි මම ඉපදුණේ. මට දේශපාලන පසුබිමක් තියෙනවා. අවුරුදු විස්සක් මන්ත්‍රීවරයෙක් නැතිව ඉන්නකොට මට ජනතාව කතා කරලා “ඇයි ඔබතුමිය බෙන්තර ඇල්පිටිය ඉල්ලන්නෙ නැත්තෙ,” කියලා ඇහුවා. ගමේ මිනිස්සු හරිම අසරණ වෙලයි හිටියේ. ඒ අනුව තමයි 2010 වසරේදී මම ඡන්දය ඉල්ලුවේ.

ඒ වතාවේ ඔබට ජයග්‍රහණය කරන්න බැරිවුණා නේද..?

2010 වසරේදී ආසනයට දෙන්නෙක් දැම්මා. මාවයි සාගර කාරියවසම් මහත්තයාවයි. එයා හිටපු ඇමැතිවරයකුගේ පුතෙක්. දෙන්නකුට ඡන්දය බෙදෙද්දී දිනන්න හරි අමාරැයි. ඒ අතරේ මට හරි අවාසිදායක සිද්ධියකුත් වුණා. ලංකාවේ බොරු ප්‍රචාරක කටයුතු හරියට කරනවනෙ. ඒ වෙද්දී මට කලින් වෙනත් සිනමා නිළියක් පළාත් සභාවට ගිහින් එදා ඉඳන් ඒ ගම්පළාතටවත් ගිහින් තිබුණේ නෑ. ඒ නිසා සිනමා නිළියන් දේශපාලනයට ඒම ගැන ඇතැම් මිනිස්සු තුළ වැරදි චිත්‍රයක් මැවුණා. මට ඒ අවාසියත් බලපෑවා. ඒ පැරදුණු එකෙන් මම එක තීරණයක් ගත්තා. මට ආසන සංවිධායක තනතුරක් දුන්නා. එතැන ඉඳලා 2015 මැතිවරණය වෙනකම් උපරිමයෙන්ම ගමට උදව් කළා. කරන්න පුළුවන් හැමදෙයක්ම මම කළා. ඊටපස්සෙ 2015දී ඡන්දයට ආවා. ඒකෙන් 67,000ක් ඡන්දය ලබාගත්තා. බෙන්තර ඇල්පිටිය ආසනය පමණක් වැඩිම ඡන්ද 13,500කින් ගයන්ත කරුණාතිලක කියන ප්‍රබල ඇමැතිතුමාව ආසනය තුළදී පැරැද්දුවා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමුවැනි ගැහැනිය වුණේ මමයි. ඒ විතරක් නෙමේ, දකුණු පළාතම නියෝජනය කරන්න හිටපු එකම ගැහැනිය වුණෙත් මමයි. හැමවෙලේම කලාව ගැන මම කතා කළා. කලා ශිල්පීන්ගේ ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේදී කතා කළා. ලැබුණු ප්‍රතිපාදන ගමට අරගෙන ගිහින් ගමට සේවය කළා.

අවසානයේදී ද්විත්ව පුරවැසිභාවය නිසා ඔබේ තනතුරු සියල්ලම ඔබට අහිමිවුණා නේද..?

පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ අයට පිටරට පුරවැසිභාවය තියෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමාගෙන් අපි ඉල්ලීමක් කරලා ද්විත්ව පුරවැසිභාවය ගත්තා. එතකොට රටවල් දෙකේම පුරවැසියෝ. ඒකට ලක්ෂ තුනයි ගාණක් ගෙවන්න ඕනෙ. ඒක වැඩිය හොඳයිනෙ. මම බොරු කරන්නෙ නැහැ. හොර කරන්නෙ නැහැ. හැමෝටම පේන්න ද්විත්ව පුරවැසිභාවයක් ගත්තා. 2015 නාමයෝජනා දෙන්න ටික කලකට කලින් 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කළා. අපේ මිනිස්සු ඒ ගැන දැනගෙන හිටියේ නැද්ද..? ඒ ගැන සොයා බැලුවේ නැද්ද කියලා මම දන්නෙ නැහැ. ඒ අය මට අවස්ථාව ලබාදුන්නා. එහෙම නැතිව මම ඒ වෙලාවේ ඉල්ලන්නෙ නැහැ. එහෙමනම් මට පුරවැසිභාවයත් රැකගෙන, මගේ මහත්තයාවත් මගේ දරුවාත් රැකගෙන මගේ ජීවිතේ සතුටින් ගෙවන්න තියෙන අවස්ථාව මම තියාගන්නවා. නමුත් මට ජනතාව දාලා යන්න බැහැ. ඊටපස්සෙ මම නඩු කිව්වා. මම හිතන විදිහට ලක්ෂ පනහකට වැඩිය මට නඩුවලට වියදම් වුණා. 2015දී මම ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අයින් කරගත්තා. නමුත් මෙහේ ද්විත්ව පුරවැසිභාවය ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අවහිර කළා. නඩුවක් නියෙන නිසා දැන් අයින් කරන්න බැහැ කියලා ඒ අය කිව්වා. ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය අයින් කරගන්න මම එකදිගට වැඩ කළා. මම හැමදෙයක්ම නීත්‍යානුකූලව කරගත්තා. එහෙම කළේ මට ඡන්දය දීපු ජනතාව වෙනුවෙන් තව එකපාරක් හෝ වැඩ කරන්න ඕන නිසයි. මට මේක ආභරණයක් නෙමේ. ඇත්තටම මට මේක අභියෝගයක්. ඒ වගේම මට එක විදිහකින් දඬුවමක්.

දේශපාලනය නිසා ඇතැම් දේ ඔබෙන් මඟහැරුණා නේද..?

ඔව්.. කලා කටයුත්තකට සහභාගි වෙන්න මට වෙලාවක් තිබුණේ නැහැ. ඇත්තටම ඒ ගැන දුකයි.

දේශපාලනය අතහැරලා තමන්ගේ සැමියා එක්ක, දරුවා එක්ක සුඛෝපභෝගී පවුල් ජීවිතයක් ගෙනියන්න හිතුණේ නැද්ද..?

නැහැ නැහැ.. මම සුඛෝපභෝගී ජීවිතේ ඇති තරම් විඳපු කෙනෙක්. විවාහ ජීවිතේ තුළදී මගේ සැමියා ස්විට්සර්ලන්තයේ පදිංචි වෙන්න යාමෙන් අපිට ප්‍රශ්නයක් වුණා. ක්‍රිස් ලංකාවේ ඉන්න කැමති වුණේ නැහැ. එයා එයාගේ ව්‍යාපාර ඔක්කොම නතර කරලා ආයෙමත් රට ගියා. මට ස්විට්සර්ලන්ත පුරවැසිභාවය තිබුණා නම් මම එහේ පදිංචියට ඒවි කියලා ක්‍රිස් විශ්වාස කළා. ඒක තමයි ක්‍රිස්ගේ බලාපොරොත්තුව වුණේ. එක දවසක් ක්‍රිස් කියපු දෙයක් තාම මට මතකයි. “ඔයා පුරවැසිභාවය අයින් කළාට පස්සෙ මම මෙහේ මැරුණත් ඔයාට මාව බලන්න බැහැනෙ” කියලා කිව්වා. ඒක තමයි මගේ ජීවිතේ සංවේදීම අවස්ථාව වුණේ. එදා එයා මගෙන් දික්කසාදය ඉල්ලුවා. අපි නඩු කියලා නෙමේ වෙන්වුණේ. අදටත් අපි දෙන්නා හොඳම යාළුවෝ. ඔහු මට කරන සැලකිලි සියල්ලක්ම පෙර සේ තාමත් කරනවා.

පුරවැසිභාවය නිසා එරටින් ඔබට ලැබුණු වරප්‍රසාදවලට, දේපොළවලට මොකද වුණේ..?

ඒ හැමදෙයක්ම මට නැතිවුණා. මගේ සල්ලි, දේපොළ, හැම එකක්ම මට නැතිවුණා. පුරවැසිභාවය නිසා කෝටි ගාණක් වටිනා දේ නැතිවුණා. පුරවැසිභාවය තිබුණා නම් මම ඒ රටේ තියෙන සියලුම අයිතිවාසිකම් ඒ විදිහටම හිමිවෙනවා. ඒත් අද මට ඒ හැමදෙයක්ම නැතිවුණා. මම ඕනෑම තැනක බය නැතිව කියනවා මේ වගේ තීරණයක් අරගෙන තියෙන්නෙ මම විතරයි.

තවමත් ඇතැමුන් කියනවා ඔබට ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියලා..?

2015දී තමයි මගේ එරට පුරවැසිභාවය මම අයින් කරගත්තෙ. දැන් ගම් මට්ටමින් පවා සමහරු කියනවා මට ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියලා. ඒ නිසා නැවත ඔයාට ඡන්දය ඉල්ලන්න බැහැ කියලා. ඒ කතා පතුරන බාගයක් අය අපේ අයයි. මම මේ වගේ පරිත්‍යාගයක් කරලා, ජනතාව වෙනුවෙන් වැඩ කරලා, දැන් මේ වගේ කතා කියන එක හරිද..?

ඔබ ගත්ත තීරණය ගැන ඔබේ දියණිය මොකද කියන්නෙ..?

මගේ දුව දැන් ලොකුයි. එයා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක්. තාරිකා දැන් එයාගේ ජීවිතය තනියම ගෙනියනවා. දුව මෙහෙත් ඉන්නවා. එහෙත් ඉන්නවා. දරුවා අපිට බරක් නෙමෙයි. මගේ දුව ක්‍රිස් වගේම මම දේශපාලනයට සම්බන්ධ වෙනවට තදින්ම විරුද්ධ වුණා. මගේ සහෝදර සහෝදරියන් පවා දේශපාලනයට පිවිසෙනවට අකැමැති වුණත් මගේ අම්මා පමණක් මම දේශපාලනය කරනවාට ආසා වුණා.

ක්‍රිස්ව මුණගැහුණේ කොහොමද..?

ඒ කාලේ ක්‍රිස් මෙරට ව්‍යාපාර කටයුතු කරගෙන ගියා. මම ඒ කාලේ සිනමා නිළියක්. දවසක් මම ක්‍රිස්ගේ ගාමන්ට් ෆැක්ටරියේ පිටරට යවන ඇඳුම්වල නිරූපිකාවක් විදිහට කටයුතු කළා. ඒකෙදී තමයි ක්‍රිස්ව හඳුනාගත්තෙ. ක්‍රිස් කියන්නෙ හරිම හොඳ කෙනෙක්. අදටත් එයා මට කතා කරනවා. මේ දවස්වල එයා ඉන්නෙ ලංකාවේ.

දේශපාලනය නිසා ඔබට ලැබුණේ මොනවද..?

මට ලැබුණේ හිත් අමාරුකම් පමණයි. මේ දේශපාලනය ඇත්තටම ජරාවක්.

ඒ ජරා දේශපාලනයෙන් දැන්වත් ගොඩ එන්න හිතෙන්නෙ නැද්ද..?

නැහැ. දැන් එතැනින් ගොඩ එන්න හිතෙන්නෙ නැහැ. අපි මැරෙනකොට කිසිම දෙයක් ගෙනියන්නෙ නැහැ. අපි අපේ රටට ආදරේ නම් රට වෙනුවෙන් යමක් කරන්න ඕනෙ. මම එරට පුරවැසිභාවය ඉල්ලලා ගත්ත කෙනෙක් නෙමේ. ක්‍රිස් නිසා ඒක මට නිතැතින්ම ලැබුණා. ඒ පුරවැසිභාවය අයින් කරද්දිවත් මගේ ඇස්වලින් කඳුළක්වත් වැටුණේ නැහැ. මට දුකක් හිතුණේ නැහැ. එහේ පදිංචි වෙන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි ක්‍රිස් දික්කසාදය ඉල්ලපු වෙලාවේ මට ගොඩක් දුක හිතුණා.

ජනප්‍රිය නිළිය හොඳම නිළිය වුණු ඔබ, නිෂ්පාදිකාවක් වුණු ඔබට කලාවෙන් ඈත්වීම ගැන දුකක් නැද්ද..?

ඇත්තටම මම කැමති නැහැ ඒ ගැන කතා කරන්න. මට හරි දුකයි. මේ මස විසිහය වැනිදා මමයි ක්‍රිසුයි නීතියෙන් දික්කසාද වෙනවා. දැන් හැමදේටම පරක්කු වැඩියි. ක්‍රිස් කිව්වේ “එක්කෝ මාව තෝරාගන්න.. එහෙම නැත්නම් දේශපාලනය තෝරාගන්න” කියලයි. මම හරියි කියලා හිතුවොත් කවුරු කොහොම කිව්වත් මම ගන්නෙ මට හිතුණු තීරණය විතරයි. මම දිනලා පාර්ලිමේන්තු ගියානෙ. මට වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නියෝජ්‍ය ඇමැති තනතුරකට ආරාධනාවක් ලැබුණා. නමුත් මම ගත්ත තීරණය වෙනස් කළේ නැහැ. මම මහින්ද රාජපක්ෂ මහතාව දාලා ගියේ නැහැ. මම මිනිස්සු වෙනුවෙන් කතා කළා. මම දරුණු ගැහැනියක් නෙමේ. හැබැයි මම ගත්ත තීරණයක් වෙනස් කරන්නෙ නැහැ. කලා කටයුතු බොහොමයක් මගේ අතින් මඟහැරුණා. නමුත් මම කලාවට හරි ආදරෙයි. ඒ නිසා මම ඉදිරියේදී ඔවුන් වෙනුවෙන් හඬක් නගනවා. අපේ පාර්ලිමේන්තුවට ගිය කවුරුත් කලාකරුවන් කලාකාරියන් ගැන කතා කළේ නැහැ. ඉදිරියේදී මම පාර්ලිමේන්තුවට ගිහින් ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා. මම ඒ යුතුකම මැරෙන්න කලින් කලාවට කරන්න ඕනෙ.

දීශානි ජයමාලි කරුණාරත්න