"අද හවසට ඔයා හංවැල්ලට එන්න. වෙනදා වෙලාවටම ඇවිත් ඉන්න. මම එනගමන් ඔයාව ගන්නම්. හෙට උදේ දේවාලයකට යන්නත් තියෙනවා ගිහින් එන්න පුළුවන්."
දුරකථනයෙන් අමතමින් තමාරාට මේ පණිවුඩය ලබා දුන්නේ ඇගේ අනියම් සැමියාය. හංවැල්ල පහත්ගම දිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු ගිවිස ගත් පරිදිම හංවැල්ල බස් නැවතුම අසලට පැමිණෙන විටත් කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිව සිටි තමාරා එහි පැමිණ සිටියාය. වචන දෙක තුනක් මුමුණන අතරතුර හිස් වැසුම පළඳමින් යතුරු පැදියට නැගුණු ඇය රැගත් යතුරුපැදිය වේගයෙන් ගියේ කඩුවෙල දෙසටය.
යුවල රැගත් යතුරුපැදිය පදවමින් තිබුණේ මඳ වේගයකිනි. අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ගිය ඔවුන්ගේ ගමනාන්තය වූයේ ලෝලෙවල් මාර්ගයේ ගල්වාන හන්දිය ආසන්නයේ පිහිටි ලැඟුම්හලකි. රෑ බෝ වෙමින් පැවති සන්ධ්‍යාවේ හෝටල් කාමරයකට වැදුණු යුවල රැය පහන් කරන්නට ගියේ කිසිදු සැකයකින් තොරවය. ඊට හේතුව දෙදෙනා එකට ගිය පළමු අවස්ථාව මෙය නොවන නිසාත් අවුරුදු තුනක් පුරාවට එවැනි අනන්තවාරයක් හෝටල් කාමරවල රැය පහන්කර තිබූ නිසාත්ය. 14 වැනිදා රාත්‍රිය එසේ ගෙවා දැමුණු අතර පසුදා අලුයම දෙදෙනා පිටත්ව යාමට සූදානම් වූ මොහොතේ තමාරාගේ පෙම්වතා මෙසේ පැවසීය.
"මම කියපු කාලි මෑණියන්ගේ දේවාලය මේ කිට්ටුව තියෙන්නේ. අපි එතැනට ගිහින්ම යමු" ඊට එකඟ වූ තමාරා ඔහු හා යතුරුපැදියේ නැගී ගියේ හිතේ ශ්‍රද්ධාව පෙරදැරිවය.
හොටල් කාමරයේ සිට පිටත් වූ යතුරුපැදිය පදවමින් තිබුණේ කැලණි විහාරයට ආසන්න කැලණිමුල්ල හන්දිය හරහාය. කැලණිමුල්ල හන්දිය පසුවනවාත් සමඟම හමුවන ගඟබඩ පාර දෙසට හැරවූ යතුරුපැදිය තවත් මීටර් 500ක් පමණ ඉදිරියට ධාවනය කෙරිණි. වගුරු බිමක් ළඟ පාළු ස්ථානයක පිහිටි කාලි දේවාලය වෙත ගිය යුවළ මොහොතක් එහි රැඳී සිටියහ. තමාරා දේව ප්‍රතිමාව ඉදිරිපිට දෑත් එක්කර වැඳගෙන සිටියාය. ඇගේ අනියම් සැමියා ඇයට අඩි කීපයක් පසුපසින් ඇය දෙස බලා සිටියේ සැකමුසු බැල්මකිනි. ඒ බව නොපෙන්වා උන් ඔහු එතෙක් වේලා සඟවාගෙන සිටි බීර බෝතලයක් ජැකට්ටුව තුළින් එළියට රැගෙන තමාරාගේ හිස පසුපසට වැරෙන් පහර කීපයක් එල්ල කළේය. පළමු පහර එල්ල කරනවාත් සමඟ පහර කාගෙන දේවාලයෙන් ඉවතට දිව ගිය තමාරාට තව දුරටත් දිව යාමට හයියක් තිබුණේ නැත. දේවාලයට මීටර් දහයක් පමණ ඈතට වන්නට මිදුලේ ඇද වැටුණු තමාරාගේ සිරුර ගැසෙන්නට විය. ඊට නුදුරෙන් තිබුණේ ජලය පිරී තිබූ පස් කැපීම නිසා හිස් වූ වළකි. එය තරමක වගුරු බිමකි. බිම දිගේ ඇදගෙන ගිය පණ ගැහෙන සිරුරේ හිස වගුරු බිමේ වතුර තුළ මොහොතක් ඔබා සිටියදී ඇගේ සිරුරේ රුඳී තිබූ ප්‍රාණය නිරුද්ධ වී ගිය බව අනියම් සැමියාට දැනී තිබුණි. තවදුරටත් ඇයගේ හැලහොල්මනක් නොමැති බව ඔහුට පෙනී යන්නට ඇත.
වෙච්ච දේ දකින්නට අසල්වාසීන් කිසිවෙක් හෝ සිටියේ නැත. වහා ක්‍රියාත්මක වූ ඔහු අනියම් බිරියගේ ඇඳුම් බෑගය, මුදල් පසුම්බිය ඇතුළු උපකරණ කිහිපය රැගෙන වහා එතැනින් පිටත්ව ගියේය. යායුතු නියමිත මාර්ගයක් ගැන වැටහීමක් හෝ ඒ මොහොතේ ඔහුට තිබුණේ නැත. කෙසේ වෙතත් යතුරුපැදිය ධාවනය වෙමින් තිබුණේ අඹතලේ දෙසටය. එතැනින් වැව පාර දෙසට යතුරුපැදිය ටික දුරක් පැදවූ ඔහු අනියම් බිරියගේ ඇඳුම් කිහිපය එහි තැනක විසිකර දමා නැවත පිටත්ව යමින් තිබුණේ කඩුවෙල දෙසටය. ඒ යන අතරමඟ හමුවූ හේවාගම අධිවේගී මාර්ග පිවිසුම අසල පාලමෙන් තමාරාගේ ඉතිරි භාණ්ඩ කීපය කැළණි ගඟට දැමුවේය. අනතුරැව කිසිවක් නොවූ ලෙස හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයට ගිය පුද්ගලයා නිසොල්මනේ රැඳී සිටියේය.
මේ සියල්ල සිදුකර තිබුණේ ඉකුත් 15 වැනිදා පෙරවරුවේය. ඝාතනය පිළිබඳ කිසිදු ආරංචියක් නොවුණු පසුබිමක එදින පෙරවරුවේ මුල්ලේරියාව පොලිස් ස්ථානයට ලද නිර්නාමික දුරකථන ඇමතුමකි. ඉන් පවසා තිබුණේ මුල්ලේරියාව උතුර ගඟබඩ පාරේ කාලි දේවාලය අසල කාන්තා මළ සිරුක් තිබෙන බවය. එහි ගිය පොලිස් කණ්ඩායමක් මූලික පරීක්ෂණ ඇරඹූ පසුව ඉහළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු දන්වා තිබුණි. එහිදී උපදෙස් ලැබී තිබුණේ අදාළ ඝාතනය පිළිබඳ ඉදිරි විමර්ශන මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයට යොමු කරන ලෙසය.
එදිනම විමර්ශන ඇරඹූ නිලධාරීන් අතුරින් එක් අයකුගේ පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබුණේය. ඔහු කියා තිබුණේ කාලි දේවාලය ළඟ කාන්තාවක් ඝාතනය කර මරා දැමූ පුද්ගලයා හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ නිවසක සිටින බවත් ඔහු විවාහකයකු සහ දරු දෙදෙනකුගේ පියකු බවත්ය. වැඩිදුරටත් දන්වා තිබුණේ සැකකරු රාජ්‍ය සංස්ථාවක හිටපු සභාපතිවරයකුගේ රියදුරෙක් වශයෙන් කටයුතු කළ අයකු බවය.
ඒ අනුව එදිනම සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු එකිනෙක කරුණු අනාවරණය කර තිබුණි. ඒ අනුව ඔහු රැකියාවෙන් ඉවත් වූදා සිට වැලි ලොරි කිහිපයක රියදුරු වශයෙන් සේවය කර තිබුණි. පෙර කී රැකියාවේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ කාන්තාව හා සබඳතාවයක් ගොඩනංවාගෙන තිබූ අතර දැනට මේ සබඳතාවයට අවුරුදු තුනකි. තම බිරිය පිළිබඳව සැකයෙන් පසු වූ මොහු ඇයට පිහියකින් ඇනීමට උත්සාහ කර තිබුණේ 2017 වර්ෂයේදීය. ඒ පිළිබඳ නඩුවක් දැනටමත් විභාග කෙරෙමින් පවතී.
ඝාතනයට ලක්වූ කාන්තාව කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි දරු දෙදෙනකුගේ මවක් බවට තොරතුරු වාර්තා වී ඇත. ඇය ග්රාමාරක්ෂක නිලධාරියකු සමඟ විවාහ වී සිට ඇතිමුත් ඔහුගෙන් තීත්යානුකූලව වෙන්ව සිට ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. ඝාතනයට ලක් වූ කාන්තාව 41 හැවිරිදි වියේ පසු වූවාය. සැකකාර පුද්ගලයා 35 වැනි වියේ අයෙකි.
සැකකරුගේ තොරතුරු අනුව සිදුකළ විමර්ශනයේදී ඔවුන් ඊට පෙරදින නවාතැන් ගත් හෝටලයේ කළමනාකාරවරයා ද සාක්ෂි ලබාදී තිබුණි. අනතුරුව ඔහුගේ යතුරුපැදිය හංවැල්ල නිවසේ තිබියදී සොයාගත් අතර කාන්තාව පැළඳ සිටි හිස්වැසුම ඝාතනය වූ ස්ථානයට නුදුරින් වැටී තිබියදීත් ඇයගේ ඇඳුම් කිහිපයක් අඹතලේ වැව පාරේදීත් සොයා ගැනීමට හැකිව තිබුණි.
මේ සිදුවීම පිළිබඳ අදහස් විමසූ විට ඝාතකයාගේ පැරණි බිරිඳ ප්‍රකාශ කර ඇත්තේ තම සැමියා නිරන්තරයෙන් සැකයෙන් පෙළෙන පුද්ගලයකු බවය. ඇය ස්වාමියාගෙන් වෙන් වූයේ එම හේතුව නිසා බවද සඳහන් කර තිබුණි. මේ තොරතුරු අනාවරණය වූයේ මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුවය.
බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, කොට්ටාස බාර පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ, මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂඛ ජයන්ත පෙරේරා මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කුමාර නලවංශ පොලිස් කොස්තාපල්වරුන් වන 38237 ජයසිංහ, 60161 වසන්ත, 72979 චමින්ද, 72994 මංජුල, 44753 ෆයිසර්, 86225 වීරසිංහ, 88 901 මධුෂංක, 89 205 පුබුදු, 89 138 හර්ෂණ සමඟ පොලිස් කොස්තාපල් රියදුරු 18818 තිලකසිරි යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.
සමන්ත ප්‍රදීප් විල්තෙර