
2015 ජනවාරි 9 දා සේම 2018 ඔක්තෝබර් 26ද ලෝක ජනමාධ්‍යවල ලංකාව ගැන පුවත් මැවූ දින දෙකකි. යහපාලන රජය ආරම්භ වී ජනාධිපති මෛත්‍රීපාලන සිරිසේනගේ දිවුරුම් දීම ජනවාරි 9දා සිදු වූ අතර ජනපති සිරිසේනම එම රජය බිඳ දමා මහින්ද රාජපක්ෂට අගමැතිකම රහසේ බාර දීම ඔක්තෝබර් 26දා සිදු විය.
ආසියානු කලාපයේ කේන්ද්‍රස්ථානයක පිහිටි ලංකාව ගැන ඇස ගසා සිටින ජාත්‍යන්තර ජනමාධ්‍ය ඒ සමඟම කඩි ගුලක් සේ ඇවිස්සුණේය. බල පෙරළියෙන් පසු ඊළඟට රටේ මොනවා වේවිද? රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ වේද? උද්ඝෝෂණ විරෝධතා නිසා රට ගිනි ගනීද? කටාර් මූලස්ථානය කරගත් අල් ජසීරා, බීබීසී ලෝක සේවයේ ඉන්දියා ශඛාව, එංගලන්තයේ ගාඩියන් පුවත්පත, ඉන්දියාවේ NDTV සහ තවත් දෙමළ රූපවාහිනී සේවා රාශියක් අරගලකාරී රටකින් හොඳ රහට පුවත් වාර්තා කිරීමේ කුතුහලයෙන් යුතුව තම මාධ්‍යවේදීන් ලංකාවට එවීය. එලෙස පැමිණි ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සංඛ්‍යාව 20ක් පමණ වූහ. ඊට පසු ඔවුන් මෙරට සිදුවීම පිළිබඳව විශ්ලේෂණය කළ පුවත් තම මාධ්‍යවලට යැවූහ. ඒවා ආසියානු කලාපයේ ප්‍රවෘත්ති අතර මුල් තැනක් දී පළ කෙරිණි.
සිරිසේන, රාජපක්ෂ, වික්‍රමසිංහ බල අරගලය නිම කිරීමට අසමත් වෙයි - අල් ජසීරා
කටහඬ ඡන්දය අනුව රාජපක්ෂ බහුතරයෙන් පැරදේ - බර්නාඩ් ස්මිත් (අල් ජසීරා)
චිලී පේස්ට්, පොත් සහ පුටු පාර්ලිමේන්තුවේ පියාඹයි - NDTV
ඉහත සඳහන් වූයේ ඔවුන් පැමිණ වාර්තා කළ පුවත් කිහිපයක සිරස්තල වේ. ලංකාවේ දේශපාලන උණුසුමක් හටගත්ත ද බල පෙරළිය නිසා විශාල ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවීය. එජාපය උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වූ අතර, මහින්ද පාර්ශවය ද කෝට්ටේ පාර්ලිමේන්තු හන්දියේදී ජන රුලියක් පැවැත්වූයේ තම ජනබලය පෙන්වීමටය. මේවාගේ ඇල්මැරුණු කතා පිරුණු උද්ඝෝෂණ මිසක් ප්‍රචණ්ඩ ක්‍රියා, උද්වේගකර අවස්ථා වාර්තා කිරීමට විදේශීය මාධ්‍යවේදීන්ට අවස්ථාව ලැබුණේ නැත. එනිසා ඔවුන් දවස් කිහිපයක් ඉඳලා ආපසු ගියා. පාර්ලිමේන්තුවේ කලබල ඇති වූ 14 – 15 දවස් දෙක වනවිටත් ආපු හුඟ දෙනෙක් ආපසු ගිහින්. පසුගියදා නුවර ඇති වූ ජාතිවාදී කලබල අවස්ථාවෙත් එය ආවරණය කිරීමට විදේශීය මාධ්‍යවේදීන් පැමිණ සිටියා. විදේශීය මාධ්‍ය සේවයක දේශීය නියෝජිතයෙක් අප සමඟ පවසා සිටියේය.

ලංකාවට පැමිණි විදේශීය මාධ්‍යවේදීන් සමහරු අරලියගහ මන්දිරයෙන් ඉවත් නොවී සිටින හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී පවතින තත්ත්වය ගැන සාකච්ඡා කර තිබුණි. ඒ අතරම මෙරට විදේශ තානාපතිවරැ ද හමුවී අදහස් ලබාගෙන තිබුණි. ඔවුන් ලියූ ප්‍රවෘත්තිවල සාරාංශය විශ්ලේෂණය කර බලන විට පෙනෙන්නේ ජනාධිපති සිරිසේනගේ ක්‍රියා කලාපය නිසා මේ අවුල ඇති වුණු බවත්, එය විසඳීමට ඔහු අපොහොසත් වී ඇති බවත්ය.
ඉන්දියානු මාධ්‍යවේදීන් වැඩි පිරිසක් මෙරට අවුල ගැන කුතුහලයෙන් පැමිණීමට හේතුව මහින්ද රාජපක්ෂ බලයට ඒමත් සමඟ ලංකාවේ ඉන්දීය සබඳතාවලට සිදුවන වෙනස ගැන අවධානය යොමු කිරීමත් මෙරට දෙමළ ජාතිකයන්ගේ ප්‍රශ්න විසඳීමට ඔවුන් දක්වන උනන්දුව විමසිල්ලට ලක් කිරීමටත්ය. රාජපක්ෂ පාලන සමයේ චීනය වැඩිපුර ළං කර ගැනීම පිළිබඳව ඉන්දියාව සිටියේ නොසතුටිනි.
කෙසේ වුවත් රටේ වාසනාවට ලංකාවේ පිල් බෙදී ගහමරා ගැනීමට ජනතාව උනන්දු වූයේ නැත. ඔවුන් ගෙදරට වී මැති ඇමැතිවරුන්ට නායකයන්ට දොස් කියමින් රෑපවාහිනිනය බැලුවා පමණි. ඒ අතර පසුගිය 14–15 දෙදින පාර්ලිමේන්තුවේ පුටු, මිරිස් කුඩු ප්‍රහාරය යම්කිසි පුවත් මැවීමක් සිදු කළ ද එය ජාත්‍යන්තර සිදුවීම් දැක පුරුදු විදේශ මාධ්‍යවේදීන්ට එතරම් වැදගත් පුවතක් වූයේ නැත. මේ නිසා ඔවුන්ට සිදුවූයේ අල්මැරුණු පුවත් කිහිපයක් වාර්තා කර ගම රට බලා ගුවන්ගත වීමටය.
කුසුම්සිරි
සේයාරූ I අන්තර්ජාලයෙන්