2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

මැතිසබයේ කෙරුවාව ජනතාවගේ ඇසින්

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

රට දේශපාලන වශයෙන් තීරණාත්මක අවස්ථාවක පසුවන බව ඉතා පැහැදිලිය. දේශපාලනය ගැන කතාකරන විද්වතුන්ට අනුව මේ මොහොතේ ප්‍රධාන සාධක දෙකක් කෙරෙහි අපගේ අවධානය යොමුවිය යුතුය. එක අන්තර්ජාතික අතපෙවීම්වලින් රට බේරාගැනීමය. දෙක කුමන තත්ත්වයක් යටතේ වුවද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පියවර ගැනීමය. මේ දිනවල මෙරට පාර්ලිමේන්තුවේ බොහෝ මැති ඇමැතිවරුන්ගේ හැසිරීම් රටාව මහජනතාවගේ මහත් දෝෂ දර්ශනයට ලක් වී ඇත්තේ මේ සාධක දෙක මතය.

ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන ලෝක විද්වතුන්ගේ අවධානය යොමුවූයේ වරක් දෙවරක් නොවේ. ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෙරෙන විමර්ශනවලදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව ප්‍රමුඛ වෙයි. ඉන්දියාවටත් වඩා පැරණි පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ශ්‍රී ලංකාවට තිබේ. ඉන්දියාවේ හිටපු නායකන්ද මේ ගැන සඳහන් කර ඇත. අපේ පාර්ලිමේන්තුවේ ගෞරවය, අභිමානය හා කීර්තිය ආරක්ෂා කිරීමට මහජන නියෝජිතයෝ බැඳී සිටිති. එහෙත් දැන් එය ඉටුවන බවක් පෙනෙන්නට නැත. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයකි. රටේ අනාගතය සම්බන්ධයෙන් අහිතකර සංකේතයකි.

පාර්ලිමේන්තුව තුළ ඇතිවන මෙම ගැටුම්වලින් පීඩාවට පත්වෙන්නේ රටේ ජනතාවය. ජනතාව මේ දිනවල පසුවන්නේ අස්ථාවර පසුබිමකය. කුමකින් කුමක් සිදුවේද යන උභතෝකෝටික ගැටලුව ඔවුන් තුළ තිබේ. දේශපාලන ආරවුලේ ගැඹුර ටිකෙන් ටික පුළුල් වන බව මිස පටුවන බවක් පෙනෙන්නට නැත. පාර්ලිමේන්තුව තුළ සිදුවීම් මුලසිටම මේ ගැටුම උත්සන්න කළ බවක් දකින්නට ලැබිණි. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් ඇතැම් දේවල් සිදුවී ඇතැයි දෙපාර්ශවයම චෝදනා කරගනී.

වත්මන් පාර්ලිමේන්තුව තුළ ඇති වී තිබෙන මෙම තත්ත්වය පිළිබඳව එදිනෙදා මහමඟදී හමුවන ජනතාවගෙන් අපි අදහස් විමසීමක් කළෙමු.

රට හදන තැන දැන් රට වනසන තැනක් වෙලා

මහරුෆ් - කොටහේන

රට හදන තැන තමයි පාර්ලිමේන්තුව කියන්නේ. ඒ වුණාට දැන් ඒක රට හදන තැන නෙවෙයි රට විනාශ කරන තැන බවට පත්වෙලා තියනවා. ඒ තරම් අප්පිරියයි. දැන් මේ මන්ත්‍රීවරැන්ගේ හැසිරීම් විලාසය ඒ වගේම තමයි ඔවුන් කටයුතු කරන්නේ. ඔවුන්ට ඕන විදිහට ජනතාව ගැන කිසිදෙයක් කතා කරන්නේ නැහැ. අනික තමයි මේක රට හදන තැන නිසා බොහෝ දෙනෙක් එනවා පාර්ලිමේන්තු විවාද නරඹන්න. නමුත් මොවුන්ගේ මේ නොමනා හැසිරීම් නිසා අද කුඩා දරුවෙක්ටවත් යන්න බැරි තැනක් බවට මේ පාර්ලිමේන්තුව පත්වෙලා තියනවා. හරිම කනගාටුයි අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ පාර්ලිමේන්තුව තුළ මේ මැතිඇමැතිවරැ හැසිරෙන විදිය.

මේ හැසිරීම් බලන්නත් ලැජ්ජයි

සැනට් දික්කුඹුර - දෙහිවල

මේ රටේ පාර්ලිමේන්තුව ප්‍රජාත්‍රන්තවාදී නැහැ. මන්ත්‍රීවරුන් එන්නේ රටේ ප්‍රශ්න කතාකරලා රට ආර්ථිකයෙන් සවිමත් කරන්න නෙවෙයි. ඔවුන්ගේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් තමයි. මොවුන් පාර්ලිමේන්තු එන්නේ. මොවුන් ඒ වරදාන වරප්‍රසාදවලට තිබෙන බලලෝභී බව නිසා කවුරුත්කැමති නැහැ විපක්ෂයේ ඉන්න. ඒක ඔය රටේ ප්‍රධාන පක්ෂ දෙකටම පොදු කාරණයක්. ඒ වගේම තමයි රූපවාහිනියෙන් පාර්ලිමේන්තුව නරඹන බොහෝ දෙනෙක්ට හිතෙන්නේ මේක තනිකර පිස්සන් කොටුවක් කියලා. ඒ තරමටම බලන්න ලැජ්ජා සහගතයි. මොවුන්ගේ මේ හැසිරීම කෙනෙක් පිහියක් අරගෙන එනවා. තව කෙනෙක් මිරිස් කුඩු ගහනවා. මෙහෙමද මේ මහජන නියෝජිතයන් හැසිරෙන්නේ? මම නම් ජනතාවට කියන්නේ මේ අයගේ හැසිරීම් රටාව ඔබලා දුටුවානම් ඊළඟ පාර මැතිවරණයකදී දෙන්න ඕන තීරණය මොකද්ද කියලා ඔබලාම තීරණය කර යුතුයි කියන එක.

මැතිසබයට යැවිය යුත්තේ ඉගෙනගත්ත මිනිස්සුයි

රමේෂ් - පොල්ගහවෙල

පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුළ හැසිරීම් රටාව දිහා අපි බලාගෙන හිටියේ. එහිදී ඇතැම් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හැසිරීම ගැන අපිට කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බැහැ. ඔවුන් පාර්ලිමේන්තුව කැඳවපු දිනයේම කතානායක පුටුවට වතුර ගැහුවා. තවත් විවිධ දේවල් කළා. ඒ සියල්ල අපි රෑපවාහිනිය මගින් නැරඹුවා. මොවුන් විපක්ෂයේ ඉඳගෙන මේ විදියට ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න බැරි නම් මොවුන්ට ආණ්ඩු බලය ලැබුණු විට හැසිරෙන ආකාරය කොහොමද කියලා ජනතාවට දැනෙන්නට ඇති. ඇත්තටම බුද්ධිමත් පිරිසක් තමයි අපි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ. මෙම විනය විරෝධීව හැසිරැණු සියල්ලන්ටම දඬුවම් ලබාදිය යුතුයි. 

කතානායකවරයා පක්ෂග්‍රාහීයි

රනිල් කොතලාවල - නුගේගොඩ

පාර්ලිමේන්තුව කියන්නේ රටේ තියන උත්තරීතර ආයතනයයි. රට ජනතාව ගැන රටේ ආර්ථිකය ගැන ඉදිරි අනාගතය තීරණය කරන තැන. එහෙම තැනක සිදුනොවිය යුතු දේවල් මේ වනවිට අපේ පාර්ලිමේන්තුව තුළ සිදුවෙනවා. කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ නැහැ. ඔහු තමන්ගේ පක්ෂයට පක්ෂග්‍රාහී වෙන ලෙසට තමයි කටයුතු කරන්නේ. ඒ වගේම තමයි කතානායක ගැලරියට විදේශීය තානාපතිවරැන් කැඳවලා අපේ රට අස්ථාවරය කියන්න මුළු ලෝකයටම අපේ රටේ තියන දේවල් එළියට දෙන්න ඔවුන් කටයුතු කළා. මේ ඔවුන් යහපාලනයෙන් දෙනවා කියන ප්‍රජාතන්ත්‍රවාදය ද? අපේ රටට බටහිර බලපෑම් එන්නේ මොවුන් මේ කරන දේවල්වලින්. පිහි අරගෙන පාර්ලිමේන්තුවට එනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. අනික ඔවුන්ගේ හැසිරීම් ක්‍රියාකාරකම් ජනතාව අනුමත කරන්නේ නැහැ කියලා ඔවුන් දන්නවා. ඒ වගේම ඔවුන් ප්‍රතික්ෂේප වෙලා ඉන්නේ මේ වෙනකොට. ඒ නිසා සුදුස්සන්ට සුදුසු තැන දෙනඑක තමයි හරිම දේ. 

ඔක්කොම කරන්නේ ජනතාව රවටන එක

ෆාහිල් මවුලානා - ග්‍රෑන්ඩ්පාස්

මේ රට අපි ඔක්කොගෙම රට. අපි හැමදෙනාම එකතුවෙලා තමයි රට සංවර්ධනය කළ යුත්තේ, සිංහල, මුස්ලිම්, දමිළ කියලා වර්ගවාදීව කල්ලිවාදීව හිතන්නේ නැතුව මේ රට ගොඩගන්න දැක්මක් මේ රටේ නායකයන්ට තිබිය යුතුයි. නමුත් මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න 225 දෙනාටම එවැනි හැඟීමක් නැහැ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ ජනතාව මුලාවේ දැමීමක්. සිංහල, දෙමළ, මුස්ලිම්, ඔක්කොම මන්ත්‍රීවරු එහෙමයි. ඒ නිසා මොවුන් මේ රට හදන තැන ඉඳන් කරන ක්‍රියාපටිපාටිය හරිම ලැජ්ජා සහගතයි. මොවුන් මේ විදිහට පාර්ලිමේන්තුව තුළ හැසිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.

225ම ගෙදර යවලා අලුත්ම පිරිසක් ගේන්න ඕනෑ

චන්දි - ගම්පහ

මම වෘත්තියෙන් ගුරුවරියක්. මුලින්ම කියන්න ඕන ඕනෑම දේශපාලන පක්ෂයක ඉන්න මන්ත්‍රීවරු දැනගත යුතුයි. ඔවුන් මෙතනට එන්නේ ඇයි කියලා. මොකද මේක රටේ තියන උත්තරීතර ආයතනයක්. මුළු රටක්ම මේ දිහා බලාගෙන ඉන්නේ. පාසල් දරුවෝ පාර්ලිමේන්තුවට යනවා එය නරඹන්න. එහෙම අවස්ථාවල මොවුන්ගේ ඒ හැසිරීම දැක්කම මොන වගේ ආකල්පයක් ද ඔවුන්ගේ ඔළුවට යන්නේ කියලා මේ මන්ත්‍රීවරැන් කිසි කෙනෙක් දන්නේ නැහැ. එක පැත්තක විතරක් නෙවෙයි දෙපැත්තෙම මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් මොන විදිහද කියලා අපි දැකලා තියනවා. නමුත් ඒ කිසිම වෙලාවක තමන්ගේ මන්ත්‍රීවරු පාලනය කරන්න ඒ ඒ පක්ෂවල නායකයන් උත්සාහ කරන්නේ නැහැ. උනන්දු වෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඒවාට අනුමැතිය දීලා බලාගෙන ඉන්න එක. එක පාර්ශ්වයක මන්ත්‍රීවරයෙක් පිහියක් අරගෙන ආවා. ඊළඟ දවසේ අනිත් පාර්ශවයෙන් මිරිස් කුඩු ගැහුවා. මෙහෙමද ඔවුන් මේ ප්‍රජාතන්ත්‍රවාය සුරකින්නේ? මොවුන් මේ විදියට රටේ උත්තරීතර ආයතනයේ ග්‍රෝත්‍රික ලෙස හැසිරෙනවා නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොතනටද තල්ලු වෙලා තියෙන්නේ කියලා අමුතුවෙන් කිවයුතු නැහැ. මේ විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ හැසිරීම සහ ක්‍රායාකලාපයන් අපි අනුමත කරන්නේ නැහැ. මගේ මතය නම් මේ ඉන්න 225ම අයින් කරලා අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට ගන්න ඕන.

රටේ ගෞරවය කෙළෙසිලා ඉවරයි

සමන් සෙනවිරත්න - කොළඹ

පාර්ලිමේන්තු නීති රීති, සම්ප්‍රදායන් කඩකරලා ඉන්න හැසිරෙන සියල්ලන්ට දඬුවම් ලබාදිය යුතුයි. මොකද ව්‍යවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදයට ගරැ කරන්න බැරි සුරකින්න බැරි කිසිවෙක් පාර්ලිමේන්තු යවලා වැඩක් නැහැ. පිළිගත්ත පාර්ලිමේන්තු ක්‍රමයක් තියන අපේ රටේ අනාගතය නැතිවෙලා ඉවරයි. ඒ වගේම රටේ තියන ගෞරවය මොවුන් කෙළෙසලා ඉවරයි. මේ වෙනකොට ජාත්‍යන්තරය හමුවේ හරියට සතුන්ගේ හැසිරීමක් ආකාරයට තමයි දකින්න තියෙන්නේ. ඒ නිසා මේ විදියට මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අපේ කිසිම පැහැදීමක් නැහැ.

රටට දැන් ඕනෑ අලුත් තරුණ නායකයන්

අයේෂා ජයවර්ධන - රත්නපුරය

රටේ ජනතාව අතර දැනට තියන ලොකුම ප්‍රශ්නය තමයි මේ පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතයන් හැසිරෙන ආකාරය. ඒ වගේම ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඒ ජනතාවගේ ඡන්දය පාවාදීලා පැතිමාරැ කරගන්න එක ගැනත් අද රටේ ජනතාව අතර කිසිදු කැමැත්තක් නැහැ. මගේ පෞද්ගලික මතය තමයි මේ සියලුදෙනා මාරැකරන්න ඕන ජනතාව විසින්. ඒ වගේම නව නායකත්ව අදහසක් තියන තරැණ නායකයන් අනිවාර්යයෙන්ම මේ පාර්ලිමේන්තුවට පත්කළ යැවිය යුතුයි.

 සටහන - හසිත් අංජන
සේයාරූ - සුමුදු හේවාපතිරණ