2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

සිංගප්පූරුවෙන් ගොඩබැස්ස ගොයියාගේ මල්ලේ රත්තරන්..

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 107

ලොව වටිනාම ලෝහ වර්ග අතුරින් රත්තරන්වලට හිමිවන්නේ අග්‍රස්ථානයකි. එනිසාම රත්තරන් ලොව පුරා ජනතාව ස්වර්ණාභරණ ලෙස හෝ වටිනාකම් රැස් කිරීමේ මාධ්‍යයක් වශයෙන් එක්රැස් කර තබා ගැනීම සඳහා පෙළඹී සිටිති.
එමෙන්ම රත්තරන් ව්‍යාපාරික කටයුතු සඳහා යොදාගන්නා ව්‍යාපාරිකයෝ මේ බැව් මනාසේ අවබෝධ කරගෙන ඇති බැවින් ඔවුන් නිත්‍යනුකූල මාර්ගවලට අමතරව නිත්‍යනුකූල නොවන මාර්ග භාවිතා කරමින් සිය වෙළෙඳාම් කටයුතුවල නිරත වෙමින් අධික ලාභ උපයා ගැනීමටද කටයුතු කරති.

මේ හේතුවෙන් ඉකුත් 2017 වසරට වඩා 2018 නොවැම්බර් 08 වනවිට ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස රත්තරන් රැගෙන ඒම 224%ක ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව මෙතෙක් සිදුකර ඇති අත්අඩංගුවට ගැනීම් සහ වැටලීම්වලින් අනාවරණය වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේය.

ඉකුත් 2017 වසරේ මේ ආකාරයට නීති විරෝධී ලෙස රත්තරන් ශ්‍රී ලංකාව තුළට ගෙන ඒම් පිළිබඳව අත්අඩංගුවට ගෙන විධිමත් රේගු පරීක්ෂණ 65ක් පවත්වා තිබෙන අතර එය 2018 වසරේ මේ වනවිට පැවැත්වූ විධිමත් රේගු පරීක්ෂණ ප්‍රමාණය 236ක් තරම් ඉහළ අගයක් ගෙන තිබේ. එමෙන්ම 2017 වසරේ දී අත්අඩංගුවට ගත් මුළු රත්තරන් තොගයේ බර කිලෝග්‍රෑම් 53ක් පමණ වුවත් එය මෙම වසරේ මේ වනවිට කිලෝග්‍රෑම් 153 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම්වලදී 2017 වසර දඩ මුදල් ලෙස රුපියල් එක් කෝටි පනස් දෙලක්ෂ හැත්තෑ අට දහස් හාරසිය හැට පහකි. (1,52,78,465) අය කරගෙන තිබූ අතර මෙම 2018 වසරේ මේ දක්වා අත්අඩංගුවට ගැනීම් සඳහා දඩ මුදල් වශයෙන් රුපියල් හාර කෝටි අසූ දෙලක්ෂ විසි දහස් දෙසිය පනහක් (4,82,20,250) ක මුදලක් අය කරගෙන තිබේ.

මීට අමතරව 2017 වසරේ අත්අඩංගුවට ගත් රත්තරන්වලින් රාජසන්තක කළ රත්තරන්වල මුළු වටිනාකම රුපියල් විසි අට කෝටි අනූ දෙලක්ෂ තිස් නව දහස් හත් සිය පහළොවක් (28,92,39,715)කි. එහෙත් 2018 වසරේ මේ දක්වා රාජසන්තක කළ රත්තරන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් එකසිය නව කෝටි හතළිස් ලක්ෂ එකොළොස් දහස් හත් සිය විසි පහක් (109,40,11,725)ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව පැහැදිලි වන්නේ රත්තරන් ශ්‍රී ලංකාව තුළට නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට කොතරම් දුරකට ව්‍යාපාරිකයන් උත්සුක වී ඇත්ද යන්නයි. මේ සඳහා වඩාත් බලපෑම් ඇති කළ සාධකය වී ඇත්තේ පසුගිය රජය විසින් රත්තරන් නිත්‍යනුකූලව මෙරටට රැගෙන ඒමේදී බදු මුදල් පැනවීම සහ ශ්‍රී ලංකාවේ රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම මත වෙනත් රටවල රත්තරන්වල මිල ගණන් පහත් මට්ටමක පැවැතීමයි.

මෙවැනි නීති විරෝධී මහා පරිමාණ රත්තරන් ශ්‍රී ලංකාව තුළට ගෙන එන ප්‍රධාන මාර්ග දෙකක් රට තුළ පවතී. එයින් පළමුවැන්න කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි. දෙවැන්න, විශේෂයෙන් යාපනය ප්‍රදේශය මුල්කර ගනිමින් මුහුදු මාර්ගයෙන් රට තුළට රත්තරන් ගෙන ඒමයි. මෙම වැටලීම්වලට ශ්‍රී ලංකා රේගුවට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඇතුළු අනෙකුත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මුල් වී ක්‍රියාකාරී වෙමින් තිබේ.

ඒ අනුව මෙයට කදිම සාක්ෂියක් සපයමින් ඉකුත් 17 දින අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළදී තවත් මහා පරිමාණ රත්තරන් තොගයක් රුගෙන 45 හැවිරිදි සිංගප්පූරැ ජාතික ව්‍යාපාරිකයෙක් පැමිණියේය.

ඔහු පසුගිය 17 දින අලුයම 2.30 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ SQ - 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය. ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ලේ මෙන්ම ඔහු හැඳ සිටි කලිසමේ සාක්කුවලද රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් (4,30,00,000)ක් වටිනා රත්තරන් කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 212ක් බර අත් පළදනා 229ක්, මාල 175ක්, උත්සව අවස්ථාවලදී පළඳින තැල්ල සහිත මාල 88ක්, වළලු 16ක් සහ පෙන්ඩන්ට් 06ක් ද සහිත ස්වර්ණාභරණ තොගයක් සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය පැවැත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.පී.එම්. ගුණවර්ධන මහතා මෙම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර මෙම ව්‍යාපාරිකයාට රුපියල් තිස් නව ලක්ෂ හැට දහසක (39,60,000)ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය. එහිදී මෙම සිංගප්පූරු ජාතික ව්‍යාපාරිකයා එම දඩ මුදල ගෙවා දමා එවෙලේම තවත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ඔහුගේ ආර්ථික ශක්තිය විදහා පාමිනි.

මෙම සිද්ධිය නිසා මෙම ව්‍යාපාරිකයාට අත් වූ අලාභය රුපියල් හාර කෝටි හැට නව ලක්ෂ හැට දහසකි (4,69,60,000)කි. මීට අමතරව ඔහුට ගුවන් ටිකට් පත්, ආහාර පාන, ඇතුළු වෙනත් කටයුතු පිළිබඳව වැය වූ මුදල ගණන් බැලුවහොත් එය ශ්‍රී ලංකා රුපියල් පන් කෝටි පනස් ලක්ෂය (5,50,00,000) ඉක්මවා යනු ඇත. 

කෙසේ වෙතත් මේ ආකාරයට මෙම අත්අඩංගුවට ගැනීම් සහ විධිමත් රේගු පරීක්ෂණ තුළින් නියම කරනු ලබන දඩ මුදල් ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය වෙත යොමු කරනු ලබන අතර මෙසේ අත්අඩංගුවට ගන්නා සියලුම රත්තරන් තොග අත්අඩංගුවට ගැනීමෙන් මාසයක කාලයකට පසු තෝරාගත් දිනයක ශ්‍රී ලංකා රේගුව විසින් ටෙන්ඩර් කැඳවා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල්ද ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය වෙත යොමු කරනු ලබයි. එසේම මෙම අත්අඩංගුවට ගැනීම සඳහා දායක වන නිවැරදි තොරතුරු සපයන ඔත්තුකරැවන්ට මෙන්ම ඒ සඳහා දායක වන රජයේ නිලධාරීන්ටද රජය විසින් ත්‍යාග මුදල් පිරිනමන්නේද මෙම නීතිවිරෝධී රත්තරන් ජාවාරම මැඬලීම සඳහාය.

 

 කටුනායක ටී.කේ.ජී.කපිල