2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

පළාත් සභාවේ Blue බැලූ මන්ත්‍රීලා!

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

අපේ රටේ දේශපාලනය පිළිබඳව රටේ ජනතාවට ඇත්තේ ජුගුප්සාජනක හැඟීමකි. බොහෝ දෙනෙක් දේශපාලනඥයන්ගේ නම් ගම් කියූ පසු "අපෝ ඕකා මතක් කරන්න එපා" යැයි ඉබේ කියති. ඒ තරම් එකී දේශපාලනඥයන්ගේ කැරැට්ටුව හොඳ නිසාය. කෙසේ වෙතත් දේශපාලනඥයන් කෙරෙහි වූ ගෞරවය ඔවුන් විසින්ම විනාශ කරගත්‍තා මිස ජනතාවට කෙළෙසන්නට ඉඩක් තිබ්බේ නැත.

ලංකාවේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් වැඩියෙන්ම ඇහෙන කතා අතර කාමයේ වරදවා හැසිරීම් අනන්තව තිබූ බව අපට මතකය. ජනතාව ලෙස අපට දේශපාලනඥයන් කාමයේ හරි විදිහට හෝ වැරදි විදිහට යෙදුණාට කිසිදු ප්‍රශ්නයක් නැත. ඒ ඔහුගේ පෞද්ගලික ජීවිතය නිසාය. එයට අපට ඇඟිලි ගැසීමට ද අවසරයක් නැත. එහෙත් මහජන මුදල් ඔවුන් තමන්ගේ සුඛ විහරණය සඳහා භාවිත කිරීම කිසිදු මොහොතක අනුමත කරන්න හැකියාවක් නැත. එය දැක නිහඬව සිටීමට ද ජනතාව ලෙස අපට හැකියාවක් නැත. කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ එවැනිම අශීලාචාර ක්‍රියාවක් ගැනය.

බස්නාහිර පළාත් සභාව සම්බන්ධයෙන් පසුගියදා විශාල වශයෙන් කතා වූයේ එහි මන්ත්‍රීවරු සඳහා ලබා ගැනීමට ගිය ලක්ෂ හය හමාරේ පුටු ගැනය. මහ ඇමැතිවරයා පවසා සිටියේ පාර්ලිමේන්තුව හා සමාන වියයුතු නිසා එසේ ගෙන්වීමට තීරණය කළ බවය. එහෙත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුකාරවරයා මැදිහත්ව එය නැවැත්වීමට කටයුතු කළහ. ඉන් පසුව ලක්ෂ 80ක් යොදා විශාල ද්වාරයක් සභාවට සවි කළේය. එතැනින් නොනැවතුණු ඔවුහු සභාව සුවඳවත් කිරීම සඳහා තවත් ලක්ෂ ගාණක් වැය කළෝය. මහජන මුදල් අමු අමුවේ කොල්ල කෑමක් වූ මෙය දැඩිලෙස විවේචනය කළත් මහ ඇමැතිවරයා තමන්ට සිතු සේ වැඩේ කළේය. අවසානයේ මේ ක්‍රියාදාමය සම්බන්ධයෙන්  මහ ඇමතිවරයා කීවේ එය කිසිවකුට අදාළ නැති බවත් එම මුදල් බස්නාහිර පළාත් සභාව සතු මුදල් බවත්ය. මහ ඇමතිවරයා ඇඟට පතට නොදැනී කීවේ එම මුදල් ඔවුන් ගෙදරින් ගෙනා පරිදිය. එහෙත් එම මුදල් මහජනතාවගේ බදු මුදල් නිසා අපට ප්‍රශ්නයක් ඇත. ඒ ඔවුන්ට ඕනෑ පරිදි ජනතාවගේ මුදල් විනාශ කිරීමට ඉඩ ලබාදිය නොහැකි නිසාය.

කෙසේ වෙතත් එම ගොඩනැගිල්ල රුපියල් බිලියන හයකට වඩා වියදමින් සර්ව සම්පූර්ණයෙන් සකසා මංගල සැසිය මහ ඇමතිවරයාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා පවත්වනු ලැබීය. එදින ඔහු 2019 අදාළ අයවැය කතාව පැවැත්වූ අතර සභාවේ ගුණ වැයුමක් ද කළේය. ඔහු කීවේ නව තාක්ෂණයට ඉඩ ලබාදෙමින් මන්ත්‍රීවරුන්ට ටැබ් යන්ත්‍ර පවා ලබාදුන් බවය.

“අපේ රටේ අන්තර්ජාලය පාවිච්චි කරලා ෆේස් බුක් ගිහිල්ලා යූ ටියුබ් ගිහිල්ලා ගූගල් ගිහිල්ලා අපේ අය මොනවද කරන්නේ. දේශපාලනඥයන්ටයි, රටේ වගකිවයුතු අයටයි, එහෙම නැත්තන් සාමාන්‍යයෙන් කුණුහරුපයි මඩ ගැහලියි ඒවා තමයි. අපේ අය නරක දේවල් බලන්නේ. නමුත් දියුණු රටවල ඒ තාක්ෂණික මෙවලම් පාවිච්චි කරන්නේ බැංකු කටයුතු ටෙලිෆෝන් බිල් ඒ වගේම විවිධ කටයුතු සඳහා. නමුත් අපේ රටේ ඒවා පාවිච්චි කරන්නේ මම හිතන්නේ වැරදි දේවල්වලට" යැයි මහ ඇමැතිවරයා අන්තර්ජාලය සම්බන්ධයෙන් හැමදෙනාගේම ඇඟ කිලිපොළා යන කතාවක් සභාව හමුවේ තබමින් සිටියේය.

එහිදී මහ ඇමතිවරයා කළ කතාව සීයට දාහක් සනාථ කරමින් ආණ්ඩුවේම මන්ත්‍රීවරු තුන්දෙනෙක් තමන් ඉදිරියේ වූ ටැබ් යන්ත්‍රයෙන් අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප නරඹින් සිටින අයුරු සමස්ත සභාවටම දැක ගැනීමට හැකිවිය. ඔවුන් තිදෙනා මහ ඇමැතිවරයාගේ අයවැය කතාව ගැන කිසිදු තැකීමක් නොකර අසභ්‍ය ඡායාරෑප රස විඳිමින් සිටින අයුරු මාධ්‍යවලට පවා දැක ගත හැකිවිය.

කෙසේ වෙතත් මෙකී මන්ත්‍රීවරු තිදෙනා අසභ්‍ය දර්ශන නැරඹුවාට අපට කිසිදු ප්‍රශ්නයක් නැත. එහෙත් තමන්ට ඡන්දය දුන් පළාතේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වෙන්කරන මුදල් ප්‍රමාණය කෙතරම්ද යන්න පිළිබඳ සභාව හමුවේ මහ ඇමතිවරයා ප්‍රකාශ කරද්දි මේ ආකාරයෙන් අසභ්‍ය දර්ශන නැරඹීම කෙතරම් සදාචාරාත්මකද? නැතහොත් කෙතරම් ශීලාචාරද යන්න ජනතාව ලෙස අපට ප්‍රශ්නයක් ඇත. ඊටත් වඩා රජයේ දේපළවලින් මෙවැනි දෑ සිදුකිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු නොවේද?

අනන්තවත් අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීම මත පොලිස් වැටලීම් සිදුවු අයුරු අසා ඇත. එහෙත් සභාවටම පේන්නම අසභ්‍ය දර්ශන නැරඹූ මන්ත්‍රීවරුන්ට  විරුද්ධව ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? මහ ඇමැතිවරයා ප්‍රකාශ කරන පරිදි දැනටමත් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එහෙත් තමන්ගේ අය ගැන තමන්ම පරීක්ෂණ කිරීම කෙතරම් විහිළුවක් දැයි බැලූ බැල්මට පෙනෙන දෙයකි.

මෙම මන්ත්‍රීවරු තිදෙනා ටැබ් යන්ත්‍රයේ ඉහළ පහළ යමින් මෙලෙස අසභ්‍ය දර්ශන නැරඹීම තුළ ඇති යථාර්ථය නම් ජනතාව නියෝජනය කරමින් ඔවුන් කොතැනට ගියත් ඔවුන් සතු වගකීම නිසි ලෙස ඉටු නොවන බවය. විශේෂයෙන් මන්ත්‍රීවරු මෙතරම් අසහනනයෙන් පෙලේ නම් ජනතාවගේ ජීවන අසහනයට මොවුන්ට ජීවිතේට උත්තර ලබා දිය හැකිද?

කෙසේ වෙතත් මෙහි වගකීම ජනතාව වන අප කරා ද එනු ඇත. එනම් තමන් වෙනුවෙන් නියෝජනය කරමින් රටේ පාලනයට යොමු කරන ඕනෑම අයකු උගත් බුද්ධිමත් අය විය යුතු බව නොසිතීමය. එසේ නොවන කිසිදු සුදුසුකමක් නැති පුද්ගලයන් ඉහළ තැන්වලට ගිය පසු මෙලෙස බ්ලූ බලනවා විනා වෙනයම් කුමක් කරන්නද? ඒ නිසා එක පැත්තකින් අප පුදුම විය යුතු නැත. රටේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ පිහි රැගෙන යන, මිරිස් කුඩු රැගෙන යන පුද්ගලයන් සිටින මොහොතක කිසිවක් රැගෙන නොගොස් නොමිලේ ලැබෙන දෙයින් බ්ලූ බලනවා විනා ඔවුන් කුමක් කරන්නද?

 ගයාන් ගාල්ලගේ