
පාතාලයේ “ගෝඩ්ෆාදර්ලා” වෙන්නට එකිනෙක මරාගන්නා පාතාලය සේම හිරගෙවල්වල “ගෝඩ්ෆාදර්ලා” වෙන්නට මිනීමරාගන්නා සිරකරුවන් පිළිබඳ බිහිසුණු කතාද අඩුවක් නැත්තේය. ඉකුත් 16 වැනිදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ සිදුවූයේද එවන්නකි. ඒ වැඩි දෙනෙක් රට හෙල්ලු මිනීමැරුම්වලට මරණ දඬුවම නියමවූවන් වීම මෙහි ඇති විශේෂත්වයයි.
මෙම මිනීමැරුමට සම්බන්ධ වූ තිදෙනාම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවට තොරතුරු ද නැත්තේම නැත. මෙම සහසික මිනීමැරුමට එයද එක් හේතුවක් යැයි නොසිතෙන්නේ ඊට ආසන්න සිද්ධි දාමය ගැන සිතෙන විටය.
1999 වසරේදී රටම හෙල්ලූ හෝකන්දර සය පුද්ගල ඝාතනයේ කම්පනය අදටත් දැනෙන්නා සේය. හෝකන්දර, අමරගොඩ පාරේ එකම පවුලේ මව, පියා, දරුවන් ඇතුළු 6ක් කපාකොටා ඝාතනය කළ ඒ අමානුෂික සිද්ධියෙන් මරණ දඬුවම නියම වූවන් තිදෙනා අතර සිටි මේනක සංජීව නොහොත් “උක්කුවා” (39) වැඩකාරයෙකි. වසර 20කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටින ඔහුට හිරගෙදර රජගෙදරක් වැනිය.
1998 ඔක්තෝබර් 11 වැනිදා රීටා ජෝන් රූමතිය සිය විවාහයෙන් මාසයකට පසු මට්ටක්කුලිය කාකදූපත්හි විනෝද සවාරියකට සහභාගී වූයේ සතුට වැඩිකමටය. එහිදී බැසිල්, අජිත්, චමින්ද නම් නරැමයන් තිදෙනා ඇය පැහැරගෙන ගොස් දූෂණය කර අමානුෂික ලෙස මරාදමා මඩවළක සඟවා තැබුවේ ඇඟකිළිපොළා යන පරිද්දෙනි. මෙහි ප්‍රධාන වැරදිකරුවකු වූ මෙන්ඩිස් නොහොත් බැසිල් නැමැත්තා බෝගම්බරින් වැලිකඩටත්, වැලිකඩින් අඟුණකොළපැලෑස්සට ඇවිත් වැඩි දිනක් නැත.
2003 වසරේදී එවකට මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ මරණ දඬුවම නියමව සිටි “පොට්ට නව්ෆර්ට” වැල්ලවත්ත පාතාලයේ කොන්ත්‍රාත්තුවක් මත යකඩ උලකින් 29 පොළකට ඇන මරාදැමීමට තැන් කළේ නිමල් නොහොත් යකඩයා නොහොත් බෝල චූටි (45) නැමැත්තා ඇතුළු තිදෙනෙකුයි. මනුෂ්‍ය ඝාතනයකට ඒ වනවිටත් මරණ දඬුවමේ සිටි ඔහු අඟුණකොළපැලැස්සට යැවුණේ ද මේ අතරය. මරණ දඬුවම් නියම වූවන් සඳහාම බිහිවූ “එෆ්” සිරවාට්ටුවේ මෙම තිදෙනාටම වෙන්වූයේ එකම සිරමැදිරියකි. ඔවුන් එහි පසුවූයේ පිටට නොපෙනෙන හිතවත්කමක් ද කරපින්නා ගෙනය.
ඒ වනවිටත් මහර දුම්බර, වැලිකඩ, බන්ධනාගාරවලින් මාරැකර යවනු ලැබූ මිනීමැරුම්, මත්කුඩු සම්බන්ධයෙන් මරණ දඬුවම් නියමවූ සිරකරුවනු 15 දෙනෙකු ඇතුළු 30 දෙනෙකුගේ පමණ “එෆ්” සිරමැදිරිය පිරී ගොස් තිබිණි. එය සිරකුටි 10කින් සමන්විත එකකි. හිරගෙවල්වල හැමදාමත් ගෝරිය. එය ගෑනුන් ද, පිරිමින් ද කියා වෙනසක් ද නැත්තේය. කුඩු නිසාත් සමලිංගික සේවනය නිසාත් හිරගෙවල්වල ගහමරා ගන්නා අවස්ථා ද එමටය. හිරගෙවල්වල වැඩිම ගහමරා ගැනීම් සිදුවන්නේද මේ නිසාය.
ඉකුත් 16 දා දහවල් 12.30ට පමණ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී උක්කුවා, නිමල් හා බැසිල් තිදෙනා දිවාආහාරය ගත්තේ ද එකටය. ඒ හිතමිතුරුකම වෙනදාටත් වඩා පැවතුණු නිසා වන්නට ඇත. සිරමැදිරියේ සිට දිවා ආහාරවේල සප්පායම් වී උක්කුවා මඳක් ඇලවී සිටියේ තම මිතුරන් දෙදෙනා එහේමෙහේ වෙද්දීය. ඊට මඳ වේලාවකට පසු එකවරම උක්කුවාගේ හිසට එල්ලවූ ගල් ප්‍රහාරයකින් ඔහුට කිසිවක් සිතාගන්නටවත් ඉඩක් නොලැබුණේ හිස දෙපළු වී යද්දීය. පොළොවෙන් ගලවා ගත් ගලක් ගෙන බැසිල් හා නිමල් උක්කුවාගේ හිස මතට එල්ල කළ මාරක ප්‍රහාරයෙන් පසු ඔවුන් දෙදෙනා එම ගලද රැගෙන අසල සිටි ජේලර්වරයෙකු වෙත භාරවූයේ සිද්ධිය පිළිබඳ හා හූව අවට සිරමැදිරිවලට පැතිරයන්නටත් පෙරය.
2012 වසරේදී පොට්ටනව්ෆර්ට දෙවැනි වරටත් ප්‍රහාරයක් එල්ල වූයේ දුම්බර බන්ධනාගාරයේදීය. ඒ මාළිගාවත්ත පාතාලයේ කොන්ත්‍රාත්තුවකට අනුවය. පොට්ට නව්ෆර්ට යකඩ උලකින් ඇන මරාදමා සැලසුම වී තිබුණු අතර එය බාරදී තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සිරගත වූවෙකුටය. දුම්බර බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම යහමින් පවත්වාගෙන ගිය බවට චෝදනා නැගෙන ඔහු වැඩකාරයෙකු ලෙසට අනෙකුත් සිරකරැවන් හඳුන්වනුයේ ද නිකමට නොවේ. උක්කුවා මොහු සබඳකම් පවත්වමින් සිටියේද කලක පටන්ය. උක්කුවාගේ අඟුණකොළපැලැස්ස ආගමනයක් සමඟම දුම්බර මිතුරාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට අතහිත දුන්නේ අලුත් තැනද ඊට නතු කරමිනි.
මත්ද්‍රව්‍ය ජාවාරම වෙනුවෙන් දුම්බර මිතුරාට ගෙවිය යුතු මුදලක් නොගෙවීම උක්කුවාගේ ඝාතනයට හේතුවූවාද? සමලිංගික සබඳතාවක් ඊට මුල්වූවාද යන්න අදටත් හෙළිවී නැත.
දුම්බර බන්ධනාගාරයේ කුඩු මිතුරාට පොලු තැබීමක් මත නිමල් සහ බැසිල් යන දෙදෙනාට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම ඝාතනය සිදුවී ඇති බවට සිරකරැවන් අතර කසුකුසුවක් පවතින බවද නොරහසකි. එයද බැහැර කළ නොහැක්කේ උක්කුවාගේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු දන්නා අයද සිටින නිසාය.
මෙම මිනීමැරුම් කොන්ත්‍රාත්තුව උක්කුවාගේ මිතුරන් දෙදෙනා ලබාගෙන ඇත්තේ කුඩු නිසා බවටද පැතිර යන කතාවල සත්‍යතාවයක් ද නැත්තේම නැත. ඒ එදින (16) දහවල් එකම බත්පත බෙදාහදාගෙන කෑ මිතුරන් දෙදෙනාගේ හැසිරීමේ විලාසය ගැන සිතෙන විටය.
කිසියම් බහින්බස්වීමක් නිසා ඝාතනය සිදුවූ බවට ද තොරතුරු පැතිර පවතිනුයේ මෙහි රහස තවදුරටත් සැඟවී යන අයුරිනි. මෙම බන්ධනාගාරය මෙත පැමිණෙන අමුත්තන් රැගෙන එන ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය හැමදේමත් පරීක්ෂාකිරීම මෙන්ම එහි ආරක්ෂාව සැලසීමේ කාර්ය සඳහා පොලිස් විශේෂකාර්ය බලකාය යොදවනු ලැබුවේ ඉකුත් මාසයේ සිටය. බන්ධනාගාරගතව සිටි මත්ද්‍රව්‍ය ජාවාරමුන් පාතාල අපරාධකරුවන් ඇතුළු සිරකරුවන් ඉන් ඇවිස්සී ගියේ දෙබරයකට ගල්ගැසූවාක් පරිද්දෙනි. ඒ නිසාම ඉකුත් 21 වැනිදා අළුයම් සමයේ සිරකුටිවල දොරවල් බිඳගෙන පිටතට කඩා වැදුණු සිරකරුවෝ සියයක් පමණ දෙනා එස්.ටී.එෆ්. අමානුෂික පරීක්ෂා කිරීම් නවතා දමන ලෙසත් අධිකාරීවරයා මාරුකරන ලෙසත් ඉල්ලා එහි නිරීක්ෂණ කුළුණ මතට නැග දින දෙකක් තිස්සේ විරෝධතාවයක යෙදී සිටියහ. ඊට මරණ දඬුවම් නියමවූ පිරිසක් ද එක්ව සිටිඅතර මියගිය උක්කුවා සමඟ ඔහුගේ සමීප මිතුරන් දෙදෙනා ද සිටි බවට තොරතුරු හෙළිවී තිබිණි.
කෙසේ වෙතත් එස්.ටී.එෆ්. පරීක්ෂා කිරීම් හේතුවෙන් බන්ධනාගාරය තුළට ආ බොහෝ නීතිවිරෝධී ද්‍රව්‍ය නතර වූ බවටද වාර්තා විය. එවකට උද්ගත තත්ත්වය සමනය කිරීම සඳහා එහි බන්ධනාගාර අධිකාරිවරයා වෙනුවට මාතර බන්ධනාගාර අධිකාරි කරුණාසේකර මහතා තාවකාලිකව කැඳවුවද හිටපු අධිකාරිවරයා වෙනස් වූයේ නැත. එස්.ටී.එෆ්. කණ්ඩායම ඉවත් කළේද නැත. සියල්ල සන්සුන් කිරීමට කොළඹින් ගිය බන්ධනාගාර කොමසාරිස්වරුන් වන මලික් ලියනගේ හා තුෂාර උපුල්දෙණිය යන මහත්වරු සමත් වූහ.
විරෝධතාව අවසානයේ ඊට මූලිකත්වය ගත් සිරකරුවන් 8ක්ද රාජකාරිය නිසි ලෙස ඉටුනොකිරීමේ වරදට නිලධාරීන් 5ක්ද හදිසියේ මාරුකර යැවුණි. එදින සිරකුටි භාරව සිටි ජේලර්වරයාගේ වැඩ තහනම් කෙරිණි.
මෙහි වඩාත්ම පුදුම සහගත කරුණ වන්නේ සති ගණනාවක් තිස්සේ එම බන්ධනාගාරයෙන් වෙනත් ස්ථානයක රාජකාරිවල යොදවා සිටි බව කියන ජේලර්වරුන් තිදෙනකු ද මෙම ස්ථාන මාරු දඬුවමට ඇතුළත් කිරීමය. ඔවුන්ට මේ වනවිට නිලනිවාසවලින් පවා ඉවත් වන ලෙසටද දැනුම් දී ඇතැයි කියති.
42 වසරක් තිස්සේ මෙරට එල්ලුම්ගහ ක්‍රියාත්මක වන්නේ නැත. මේ නිසාම මිනීමැරුම් වරදට මරණ දඬුවම් නියම කරන විනිසුරුවරුන් පවා වික්ෂිප්ත වූ අවස්ථා ද එමටය. එම නඩු තීන්දු ප්‍රකාශ කරන අවස්ථාවලදී ඔවුන් විවෘත අධිකරණයේ පවසා ඇති දේ ඊට හොඳම සාක්ෂිය.
2018.07.12 වන දින බන්ධනාගාර මුලස්ථාන වාර්තාවලට අනුව මරණ දඬවම ස්ථිර වූ සමස්ත සිරකරුවන් සංඛ්‍යාව 370 කි. මරණ දඬුවමට එරෙහිව අභියාචනා මත සිටින්නන් 869කි. සමස්ත සංඛ්‍යාව 1239කි. ඒ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ පමණක් මරණ දඬුවම නියමවූවෝ 271ක් වෙති. පෝරකය පාමුලට වී ඔවුන් තවමත් බලාසිටිනුයේ මරණය හෝ නිදහස ලැබෙන තෙක්ය. කාලය අවුරුදු විස්සකට වැඩිය.
පසුගිය මාස 4ක් තුළ පමණක් මරණ දඬුවම නියමවූවන් 50කට ආසන්න පිරිසක් වැලිකඩට පැමිණ ඇති බවද සඳහන්ය. වැලිකඩ චැපල් වාට්ටුවේ සී 3 සිරමැදිරියේ සීමිත ඉඩකඩ මැද මරණ දඬුවම් සිරකරුවෝ අට්ටි ගහලාය. සිරකුටි 30කින් සමන්විත මෙම එක් සිරකුටියක 7-8 දෙනා බැගින් රඳවනු ලැබ ඇත්තේ කලක සිටය. ඒ නිසාම වැලිකඩ, මහර, දුම්බර මරණදඬුවම් නියමව රඳවා සිටි සිරකරුවන් වැඩි පිරිසක් අධිකාරි සාකච්ඡාවලට අනුව අඟුණකොළපැලස්සට යැවුණේ තොග ගණනේය. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි කණ්ඩායම්ද මේ අතරය. ඒ නිසාම අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ මේ වනවිට සිරකරුවෝ 1200කට අධික පිරිසක් රඳවනු ලැබ සිටිති.
එකිනෙකා මරාගන්නා තත්ත්වයක් තුළ සංවිධානාත්මක පාතාල අපරාධ මෙහෙයවන්නෝ අද අගුණකොළපැලැස්සේ රජකරන්නෝය. විවිධ අපරාධකරුවන් එකට තැනකට කොටුකිරීම බන්ධනාගාර තුළ සිට සිදුකෙරෙන කොන්ත්‍රාත් මිනීමැරුම් මෙන්ම අපරාධ සැලසුම්වලට මත්කුඩු, කප්පම්, මුදල් වංචා ජාවාරම්වලට අත්වැලක් සැපයීමක් බදුය.
ඉකුත් 16 වැනි දින එහි සිදුවූ සිරකරු ඝාතනයද මෙම සංසිද්ධියේ එක් ප්‍රතිඵලයක් යැයි කීමට අප ඉක්මන් නොවිය යුත්තේ මෙම අපරාධයට මුල්වූ සුලමුල සෙවීම තවමත් අවසන් වී නැති නිසාය. මේ පිළිබඳව තුන හතර දවසකින් පරීක්ෂණ ආරම්භ වී ඇත්තේද ඒ නිසාය. පෝරකයට නියමවී සිටියදී මිනීමරා ගත් මෙම විශේෂ ගණයේ සිරකරුවන් දෙදෙනා මිය ගිය සිරකරුවාද සමඟ එකම සිරකුටියක රැඳවීමද ගැටලු සහගත කරුණක් බවට වගකිවයුතු අංශවලින් නැගෙන චෝදනා ද බැහැර කළ හැක්කක් නොවේ.
මෙම බන්ධනාගාරයේ පරිපාලනය පිළිබඳව ද කලක පටන් ගැටලු පවතින බවද අප අමතක නොකළ යුතු වන්නේ සියලු අර්බුදවලට මුල එය බවට දොස් නැගෙද්දීත් බලධාරීන් මුනිවත රකිමින් සිටින නිසාය.
මෙම සිරකරු ඝාතන සිද්ධිය පිළිබඳව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සංවර්ධන බන්දුල ජයසිංහ මහතාගෙන්) කළ විමසීමේදී ඔහු කීවේ මෙවැන්නකි. “මෙම මිනීමැරුම සම්බන්ධයෙන් අමාත්‍යාංශය වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පරීක්ෂණ වාර්තාව ලද වහාම එහි අධිකාරීවරයා සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා. එදා සිරකරු උද්ඝෝෂණ අවස්ථාවේදී ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වී තිබුණේ ද මෙම අධිකාරිවරයා මාරැකර යවන ලෙසටයි. විවිධ බලපෑම් නිසා තවමත් එය සිදුවී නැහැ. ආරක්ෂිත බන්ධනාගාරයක් තුළදී සිරකරුවන් අතින් සිරකරුවන් ඝාතනය වෙනවා නම් එය බරපතළ ප්‍රශ්නයක්.
►ජයන්ත සමරකෝන්