
ගිය වසරේ ජනප්‍රිය ටෙලිකතා මාලාව වශයෙන් සම්මානය දිනූ (කූඹියෝ) ටෙලිනාට්‍ය අයි.එම්.ඩී.බී. ජාත්‍යන්තර දර්ශකයේ අපරාධ අංශයේ පළමු ස්ථානය දිනාගත්තේය. ශ්‍රී ලංකාවේ නිපැයුණු ටෙලිනාට්‍යයක් ජාත්‍යන්තර දර්ශකයක ප්‍රථම ස්ථානයට පත් පළමු අවස්ථාව වශයෙන් එය වාර්තාවක් තැබුවේය. ඒ අනුව මෑත ඉතිහාසයේ වැඩිම දෙනකු විසින් සමාජ ජාල වෙබ්අඩවිවල කතාබහට ලක් කළ ජනප්‍රියම ටෙලිනාට්‍ය වූයේද මෙයයි. වැඩිම දෙනෙක් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය (කූඹියෝ) ටෙලිනාට්‍යයේ තිරරචක සහ සංස්කරණ ශිල්පියා වශයෙන් කටයුතු කළ දමිත චන්ද්‍රසිරි මහතා පසුගියදා හදිසියේ අතුරුදන් විය. ඔහු මේ වනතුරු සොයාගන්නට නැත.
ජනප්‍රිය කලා ශිල්පියකු වශයෙන් නම්දැරූ දමිත චන්ද්‍රසිරි හදිසියේ අතුරුදන්ව ඇතැයි කියන පැමිණිල්ල ඔහුගේ ළඟින්ම සිටි මිතුරා වන (කූඹියෝ) ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න විසින් වැලිකඩ පොලීසියට යොමුකර තිබිණ. මේ බව සනාථ කරන වැලිකඩ පොලිස්ථානය සඳහන් කළේ අතුරුදන් වීම පිළිබඳව දිවයිනේ සියලුම පොලිස්ථානවලටද දන්වා ඇති බවය.
කලා කටයුතු හේතුවෙන් දමිත චන්ද්‍රසිරි වැඩි වශයෙන් කාලය ගත කළේ කොළඹ නගරය ආශ්‍රිතවය. මේ නිසා අවුරුදු 7ක පමණ කාලයක් කොළඹට නුදුරුව තාවකාලික කුලී නිවෙසක පදිංචිව සිටි දමිත සමඟ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්නද නවාතැන් ගෙන සිට ඇත. එසේ ඔවුන් රැඳී සිට තිබුණේ රාජගිරිය, නාවල පාසල් පටුමගේ පිහිටි නිවසකය.
දමිත නවාතැන් ගෙන සිටි කාමරයෙන් අවසන් වරට පිටත්ව ගොස් තිබුණේ පසුගිය 24 වැනිදාය. මෙදින ජංගම දුරකතනය මගින් ලක්මාල් ධර්මරත්න අමතා තිබූ දමිත ප්‍රකාශ කර තිබුණේ තමන් පිළිබඳව ආරංචියක් නැතිවුණොත් ඒ ගැන සොයමින් කරදර නොවන ලෙසය. ඒ හැර වෙනත් යමක් පවසා නැති දමිත එදා පටන් ආ ගිය අතක් නොවූ බැවින් තත්ත්වය පිළිබඳව වැලිකඩ පොලීසියට පැමිණිලි කර තිබුණේ දමිතගේ පවුලේ ඥාතීන්ටත් තොරතුරු දන්වන අතරතුරය.
අනුරාධපුරය, වන්නිකුලම, සේනානායක මාවතේ ස්ථිර පදිංචිය ඇති දමිත සාගර චන්ද්‍රසිරි කලාකරුවගේ අතුරුදන් වීම පිළිබඳව ඔහුගේ මිතුරු, (කූඹියෝ) ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න මහතා ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබා තිබුණි.
හිතවතුනි,
පසුගිය 24 දින සිට දමිත සහෝදරයා අතුරුදන් බව සත්‍යයකි. මා විසින් මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියේ පැමිණිල්ලක් දැමූ අතර මේ පිළිබඳව facebook ඔස්සේ දැනුවත් නොකළේ ඔහු නැවත පැමිණියහොත් ඔහු මුහුණදෙන අපහසුතාව ගැන කල්පනා කිරීමෙනි. නමුත් දැන් එය පොදුවේ ප්‍රවෘත්ති මාධ්‍ය වෙත නිකුත් වී ඇති නිසා එය සත්‍යයක් බව මෙසේ සනාථ කරමි.
දමිතයා facebook පාවිච්චි නොකළේ, කිසිම මාධ්‍යයක පෙනී නොසිටින්නේ පෞද්ගලිකත්වය ඌ ඉතා අගය කළ බැවිනි. එබැවින් මගෙන් මීට කලකට පෙර දමිතයා ඉල්ලා සිටි පරිදි දිනෙක ඌ ගියහොත් සොයමින් කරදර නොකරන ලෙසට කළ ඉල්ලීම මගේ සහෝදරයා වූ ඌ වෙනුවෙන් මා හැකි පමණ ඉටුකරමි. මා facebook පිටුවේ කවරයේ ඡායාරෑපය ලෙස දැමූයේ දමිතයා තම ලැප්ටොප් තිරයේ අන්තිමට දමාගෙන සිටි පින්තූරයයි.
දමිතයා අන්තිම මොහොත දක්වා හැමවිටම ඉල්ලා සිටියේ ඌට නිදහස අත්‍යාවශ්‍ය බවය. ඉතින් ඌ ඒ නිදහසේ කොහේ හෝ ඇතැයි මම විශ්වාස කරමි. ඒ නිදහසට මම බාධා නොකරන්නට උත්සාහ කරමි. මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය පරීක්ෂණ පවත්වන අතර ඒ වෙනුවෙන් අපගේ උපරිම සහාය දෙමින් සිටිමු.
දමිත,
උඹ කොහේ හෝ සිට උඹේ fake එකකින් හෝ කියවනවා නම් අඩුම එක මැසේජ් එකකින් අපට උඹ ඉන්න බව කියන මෙන් ඉල්ලන අතර ඉන්න තැන කිසිසේත්ම අවශ්‍ය නැත. දමිතයා කැමතිම චිත්‍රපටය කවදත් (Into the wild) ය. මේ සටහන තබන්නේද දැන් මෙය ප්‍රවෘත්තියක් වී අවසන් නිසාවෙනි.
මේ දැක්වුණේ ලක්මාල් ධර්මරත්න මුහුණුපොතේ තැබූ සටහනකි. ඉකුත් 24 වැනිදා සිට කිසිදු තොරතුරක් නැති දමිත චන්ද්‍රසිරි පිළිබඳව පැමිණිල්ල සටහන් කර ඇත්තේ පසුගිය 29 වැනිදාය. 41 වැනි වියේ පසුවූ දමිත පිළිබඳ පැමිණිල්ලෙන් අනතුරුව පොලීසිය ක්‍රියාත්මක වී ඔහු නවාතැන් ගෙන සිටි කාමරය පරීක්ෂාවට ලක්කර තිබුණි. එහිදී රුපියල් 5000ක මුදලක් තබා තිබී ඇති අතර එය කාමර කුලිය බවට හඳුනාගෙන තිබේ. මේ අතර දමිතට අයත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය තිබී ඇතත් එහි සියලු දත්ත ඉවත් කර ඇතිබවට හඳුනාගෙන ඇත. මේ අනුව විමර්ශනවලට අදාළව දමිතගේ පවුලේ ළඟම ඥාතීන් කිහිප දෙනෙක් වැලිකඩ පොලිස්ථානය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවට පොලීසිය සඳහන් කළේය.
දමිත ප්‍රසිද්ධියට ඇළුම් නොකරන පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්නට කැමති පුද්ගලයකු බව පැහැදිලිය. එබැවින් සමාජ මාධ්‍ය හෝ පරිහරණය නොකරන බව ඔහුගේ මිතුරෝ තොරතුරු සඳහන් කරති. එබැවින් දමිත චන්ද්‍රසිරිගේ අතුරුදන් වීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නොමැත. දමිතට හිතවත් සහ ආදරය කරන පිරිසට මේ තත්ත්වය බරපතළ ගැටලුවක් වෙතත් ඇතැමුන්ගේ අදහස වී ඇත්තේ දමිතගේ අලුත් තිරරචනාවකට අවැසි මානසික සුවය ලබාගන්නට නිදහස සොයා කොහේ හෝ ඉන්නා බවට විශ්වාස කරන බවය. කෙසේ වෙතත් දමිතගේ අතුරුදන් වීම පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
සමන්ත ප්‍රදීප් විල්තෙර