2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

පොඩි මිනිහාගේ මිනිසා ඉම්රාන් ඛාන්

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 378

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ 524 දෙනාගෙන් මම තබාගන්නේ 2ක් පමණයි. හමුදා ලේකම්ගේ නිවාසය විදිහට තිබෙන තුන්මහල් නිවසේ මම නතර වෙනවා. මගේ ජීවිතය අනතුරේ යැයි බුද්ධි අංශ කියන නිසා, මෝටර් රථ දෙකක් පමණක් තබාගන්නවා. අපි සියලුම වෙඩි නොවදින කාර් වෙන්දේසි කරනවා. අගමැති නිල නිවස සරසවියක් කරනවා. මේ ඓතිහාසික කතාව රටක රාජ්‍ය නායකයකු විසින් කළ කතාවකි. ඔහු සිය ජයග්‍රහණය සමරමින් කළ මේ කතාව අනුවම වැඩ කිරීමට තදින්ම පියවර ගෙන තිබේ. ඒ ඔහුගේ ප්‍රධාන විනෝදාංශය සමාජ සේවය වන නිසාය. මේ වෙන කිසිවෙක් නොව ලෝකයේම ඉහළම ජනකාන්ත බවක් දිනා සිටින සුපිරි ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන්ය.

ඉම්රාන් අහමඩ් ඛාන් නියාසි, රටේ මහ පුටුවට එන්නෙ ආර්ථිකයෙන් ඇදවැටී, ත්‍රස්තවාදී ග්‍රහණයෙන් අඩපණව, දූෂණ වංචා ගොහොරැවේ ගිලී සිටිනා පාකිස්ථානය ලෝකයේ අංක එකට රැගෙන එන්නට ජවසම්පන්න නායකත්වයක් ලබාදෙමිනි. ඩොලර් මිලියන 50ක වත්කමකට හිමිකම් කියන ඔහු තමන් දේශපාලනයට පිවිසියේ රැකියාවක් හෝ වෘත්තියක් වශයෙන් නොව පාකිස්ථානයේ පියාවන මොහොමඩ් අලි ජින්නා සහ අලාමා මොහොමඩ් ඉක්බාල් යන අයගේ දැක්ම අනුව පාකිස්ථානයට උදව් කිරීමට බව කියා තිබේ. පොඩි මිනිසාගේ හිතවතා හැටියට දැන් රට පුරා බුහුමන් ලැබූවද කාලයකට පෙර ඔහු ප්‍රසිද්ධ වූයේ සෙල්ලක්කාර නාහෙට නාහන රොමැන්ටික් චරිතයක් ලෙසටය. නමුත් සැබෑ ඉම්රාන් රට ගැනත් ජනතාව ගැනත් සැබෑ ඇම්මක් තිබූ තැනැත්තෙකි. 

1987 දී පාකිස්ථානයේ නායකයා වූයේ හමුදා පෙරැළියකින් බලයට ආ සියා උල්-හක් ජනාධිපතිවරයාය. ඔහු එම වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නට සූදානම්ව සිටි ඒ වනවිටත් ලෝකය පුරා ජනකාන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි ඉම්රාන් ඛාන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළේය. ඒ ඉදිරි වසර 5ක කාලයට තම රටේ ක්‍රිකට් පිලේ නායකත්වය දරන ලෙසටය. පාකිස්ථාන ජනතාවගේ හද තුළ පරම්පරා ගණනාවක් යනතුරුද නොමැකෙන නමක් බවට ඉම්රාන් පත්වන්නේ ඒ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙසය. 1992 වසරේ ලෝක ක්‍රිකට් කුසලානය පාකිස්ථානයට ගෙන ඒමත් සමඟිනි. මෙයින් වසර හතරකට පසු 1996දී ඉම්රාන් අලුත් දේශපාලන පක්ෂයක් ඇරඹූ කළ බොහෝදෙනා සිතුවේ මේ සෙල්ලක්කාර වීරයාද පාකිස්ථාන ජරාජීර්ණ දේශපාලන ගොහොරුවේ ගිලී නැසෙනු ඇති කියාය. ඒ වනවිටත් ඉම්රාන් සතුව තිබුණේ කොට්ට මාරු කරන්නාක් මෙන් කෙල්ලන් මාරැ කරන ඔක්ස්ෆර්ඩ් ආටෝපය සහිත රොමෑන්ටික් ප්‍රතිරෑපයකි. නමුත් වසර 22කට පසුව රටක් පිළිගත් මිලියන ගණනකගේ ගැලවුම්කාර ඉසිවරයා ලෙස පත්කර ගැනීමට තරම් බරසාර චරිතයක් බවට ඔහු පත්ව තිබේ.

ඉම්රාන් ඛාන්ගේ සම්පූර්ණ නම, ඉම්රාන් අහ්මද් ඛාන් නියාසි ය. ඉම්රාන් උපත ලබා ඇත්තේ 1952 වසරේ ඔක්තෝබර් 05 වැනිදා පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ලාහෝරයේදීය. උර්දු බසින් ලාහෝරයේ සිංහයා යන අරුත දෙන “ද කේර්” නමින්ද ඉම්රාන් හැඳින්වෙයි. ඉම්රාන්ගේ පියා ඉක්රාමුල්ලා ඛාන් සිවිල් ඉන්ජිනේරුවෙකි. මව ෂවුකාත් ඛාන්ය. ඉම්රාන්ට සොහොයුරියන් තිදෙනෙකි.

ඉම්රාන් ඛාන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කේබල් කොලීජියේ අධ්‍යාපනය ලැබූ අයෙකි. දර්ශන විද්‍යාව, දේශපාලනය සහ ආර්ථීක විද්‍යාව පිළිබඳ පළමු පෙළ උපාධිධරයෙකි.  පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වීමට පෙර, ඉම්රාන් ඛාන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. පිළිකාවෙන් මියගිය මව සිහි කරමින්, ඉම්රාන් “ෂවුකාත් අනුස්මරණ පදනම” පිහිටුවූයේ 1991 වසරේදීය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඉම්රාන් 1994දී සිය මවගේ නමින් ඩොලර් මිලියන 25ක වියදමින් ලාහෝරයේ සුඛෝපභෝගී පළමු පෙළ පිළිකා රෝහලක් තැනුවේය. එය පාකිස්තානයේ පළමු පිළිකා රෝහලය. පසුව පෙෂාවෝර්හිදී තවත් පිළිකා රෝහලක් තනන ලදී.

ඉම්රාන් ඛාන් තෙවරක් විවාහ වුණු අයෙකි. කෙසේ නමුත් ඔහුට පෙම්වතියන් බොහෝ දෙනකු සිට ඇත. ඕස්ට්‍රේලියානු නිළි කේට් ෆිට්ස්පැට්‍රික්, බ්‍රිතාන්‍ය නිළි ස්ටෙපනි බෙකම්, රෑපවාහිනී නිවේදිකා සුසානා කොන්ස්ටන්ටීන්, ඇමෙරිකන් මෝස්තර නිරෑපිකා ඩෙනිස් ඩී. ලුවිස් ඇතුළු තරුණියෝ රැසක් ඒ අතර වෙති.

ඒ කතා අනුව නම් පෙනී යන්නෙ ඉම්රාන් ස්ත්‍රී ලෝලියකු හැටියටය. ඔහුට ගැහැනු හුටපට බොහෝය. ශ්‍රීමත් ගෝඩ්න් ලින් හෙවත් වයිට් බැරන්වරයාගේ දෝණියැන්දා සමග වූ හාදකම අවසන් වූයේ දියණියක ලැබීමෙනි. 1995දී ඒ හුටපටයට නඩුවැටී තිබියදී එවකට 43න් හැවිරිදිව සිටි ඉම්රාන් 21 හැවිරිදි ජෙමීමා ගෝල්ඩ්ස්මිත් සමඟ විවාහ වූයේ මිනිත්තු දෙකකට සීමා වූ උර්දු ක්‍රමයේ උත්සවයකිනි. මේ විවාහය ඕපාදූප රුසකට මුල් වූ අතර වසර 9කට පසු දික්කසාදයකින් කෙළවර විය. දෙවනුව ඔහු පාකිස්ථාන බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති මාධ්‍යවේදිනියක වන රේහාම් ඛාන් අතගත් අතර එය වසරකට සීමා විය. මේ වසර මුල වාර්තා වූයේ ඔහු සිය අධ්‍යාත්මික උපදේශිකාව වන බෂ්රා මනිකා විවාහ කරගත් බවය. මුල් විවාහයෙන් ඔහුට දාව පුතුන් දෙදෙනෙකි. කසීම් සහ සුලෙයිමාන්ය.

අගමැති ධූරයට එනවිටත් ඔහු මියන්වැලි දිස්ත්‍රික්කයේ නාමාල් කොලීජිය ඇරඹුවේ බ්‍රෙඩ්ෆෝර්ඩ් සරසවියට අනුබද්ධිතවය. පුංචි මිනිසුන්ට උපකාර කරන ඉම්රාන් ඛාන් පදනමද රටපුරා වැඩ අරඹා තිබුණි. ලක්ෂ 93.34ක් වටිනා ටොයෝටා ලැන්ඩ් ක_සර් ප්‍රාඩෝ රථයක් ඔහු සතුව තිබේ. තවත් කාර් රථයක් ඇති අතර එයද ටොයෝටා මාදිලියට අයත්ය. ඔහුට ඇත්තේ පාරම්පරික මුහුණවර දරන බන්-ගාලා නමැති එක් සුවිසල් නිවෙසකි. කැමැතිම ආහාරය පාකිස්තාන ක්‍රමයට රෝස්ට් කළ ඩේසිමුර්ගි කුකුළු මස්ය. ආසම ස්ථානය කරාකොරාම් කඳුවැටියයි. 

ක්‍රිකට් සහ ඉම්රාන් යනු එකසමාන පද ලෙස කියැවෙන්නකි. පන්ජාබයට අයත් ලාහෝරයේ පාරම්පරික පවුලක එකම පිරිමි දරැවා ලෙස 1957 ඔක්තෝබර් 5 දින උපත ලබන ඔහු පන්දුව අතට ගන්නේ වයස අවුරැදු 9දීය. වයස අවුරැදු 16 වනවිට ඔහු සිය පළමු පෙළ මංගල දස්කම් දක්වා අවසන්ය. ලාහෝරයේ මූලික අධ්‍යාපනය නිමවා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත්ව සිටියදීම පාකිස්ථාන පිල නියෝජනයට තෝරාගනු ලැබේ. ඔහුගේ නියම දස්කම් එළිදැක්වෙන්නේ 1974දී එංගලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට්  කඩුල්ල ලබාගැනීමත් සමගිනි. 1992 දී පාකිස්ථානයට ලෝක ශූරතාව දිනා දී පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 88කදී ලකුණු 3807ක් ලබා කඩුලු 362ක් බිඳ හෙළා තිබුණි. අවසන් ටෙස්ට් තරගයට මුහුණ දුන්නේ ලංකාවත් සමගිනි. එක්දින තරග 175කදී ලකුණු 3709ක් ලබා කඩුලු 182ක් බිඳ දමා ඇත. ටෙස්ට් පන්දු 19458ක්ද එක්දින සඳහා පන්දු 7461ක්ද යවා තිබේ. තුන් ඉරියව්වේම කැපී පෙනෙන ක්‍රීඩකයකු ලෙස ප්‍රසිද්ධ ඉම්රාන් ටෙස්ට් තරග උඩපන්දු 28ක්ද එක්දින උඩපන්දු 36ක්ද රැකගෙන තිබේ. එක් ඉනිමකදී කඩුලු 5ක් ලබා ගැනීමේ දස්කම ඔහු ටෙස්ට් පිටියේදී 23න් වතාවක් දක්වා තිබේ. 

ක්‍රිකට් පිටියෙන් සමුගත් පසු ඉම්රාන් ක්‍රීඩා විචාරකයකු ලෙස කටයුතු කළේය. පාකිස්ථාන පිලට මුල් තැන දෙමින් ඔහු ලියු ක්‍රිකට් විමසුම් ලිපි Gaurdian, Outlook, Independent, Telegraph, වැනි ජාත්‍යන්තර මාධ්‍යවල පල විය. ඔහු සිය ජීවිත කතාව මෙන්ම රට ගැනද විචාරාත්මක දැක්මක් ඇතුළත් පොත් 6කට ආසන්න සංඛ්‍යාවක් ලියා තිබේ. ඔහුගේ කතාව සිනමාවටද නැගී ඇත.

පාකිස්ථානය මුස්ලිම් ලෝකයේ තවත් මක්කමක් බඳු මැදහත් රටක් කරන්නටත් අසල්වැසි ඉන්දියාව සමඟ ඇති ඓතිහාසික හිත් නොහොඳකම් අත්හැරීමටත් කටයුතු කරන අතර සිය රට ඇද වැටී ඇති ආර්ථීක හා දේශපාලනික ගොහොරුවෙන් ගොඩ ගැනීමටත් ඉම්රාන් දැනටමත් පොරොන්දු දී තිබේ.

 සුගත් පී. කුලතුංග ආරච්චි

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05