
ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනයේ නව පිටුවක් පෙරළමින් පහළ මාර්ගයේ ධාවනය සඳහා නව දුම්රියක් එක්වීමට නියමිතය. මෙරට කාලගුණික දේශගුණික අවශතාවයන්ට සරිලන ලෙස නිර්මාණය කෙරුණු මෙම දුම්රිය ඉන්දියානු සමාගමක් වන Integral Coach Factory (ICF) විසින් නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාව විසින් ලබාදෙන ලද පිළිවිතර අනුව මෙය නිෂ්පාදනය සිදුවී ඇති අතර තවත් මෙවන් බලවේග කට්ටල කිහිපයක් ඉදිරියේ දී නිෂ්පාදනය කිරීමට නියමිතව ඇත. පසුගිය 15 වැනි දින පළමු දුම්රිය ඉන්දියාවෙන් නැව්ගත කර තිබේ.
ඩීසල් ඉලෙක්ට්‍රික් මාදිලියේ දුම්රියක් වන මෙම දුම්රිය බලවේග කට්ටල දෙකකින් සමන්විතය. සම්පූර්ණ මගීන් 800කට ගමන් කළ හැකි මෙම දුම්රියට පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි බව කියැවෙයි. අශ්ව බල 1800ක එන්ජිමකින් බලගැන්වෙන මෙම දුම්රිය බලවේග කට්ටල දෙකකින් සහ මැදිරි 13කින් සමන්විත වෙයි. අවම නඩත්තුව සඳහා වන නව වායුසමීකරණය පද්ධතියක් ද මෙහි සවිකර තිබේ. මළ නොබැඳෙන වානේ බඳක් මෙන්ම විශේෂ තීන්ත වර්ග ද මෙම නව දුම්රිය නිෂ්පාදනය සඳහා භාවිත කර තිබේ.
මෙම නව දුම්රිය ඉන්දියානු සමාගමක සුවිශේෂී නිෂ්පාදනයකි. ඒ හේතුවෙන්ම The Time of India ඇතුළු ඉන්දියානු මාධ්‍ය කිහිපයක් මේ පිළිබඳව වාර්තා කර ඇත. ICF සමාගම 1971 - 1972 වර්ෂයන්ගේ සිට මැලේසියාව, බංග්ලාදේශය, පිලිපීනය, තායිවානය, වියට්නාමය, ටැන්සානියාව, මොසැම්බික්, ඇන්ග්ලෝව, නයිජීරියාව සහ උගණ්ඩා වැනි රටවල් වෙනුවෙන් දුම්රිය හා දුම්රිය අමතර කොටස් නිෂ්පාදනය කර තිබේ. ICF සමාගම මෙම නව දුම්රිය සුවිශේෂී කොට දක්වයි. ඒ අනුව එම සමාගමේ සාමාන්‍යාධිකාරී සුධාක්ෂූ මානී මහතා මේ පිළිබඳව අදහස් දක්වා ඇත.
“ජාත්‍යන්තර නිෂ්පාදනයන් සමඟ තරග කිරීමේ දී දුම්රිය අභ්‍යන්තර හා බාහිර පෙනුම මෙන්ම කල්පැවැත්ම සම්බන්ධයෙන් අපට අතීතයේ දී විවිධ චෝදනා එල්ල වුණා. නමුත් අපේ විශේෂ නිර්මාණ ශිල්පීන් වඩාත් සුවිශේෂී දුම්රියක් නිෂ්පාදනය කර තිබෙනවා.”
වාතයට ප්‍රතිරෝධී එරෝගයිනමික් හැඩයේ මුහුණක් සහිත මෙම දුම්රිය සුඛෝපභෝගී පහසුකම්වලින් අනූන බව කියැවෙයි. අපි මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සම්බන්ධ කර ගතිමු. ඒ මහතාට අනුව මෙම දුම්රිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු පිළිවිතර ලබාදී ඇත්තේ මෙරට දුම්රිය දෙපාර්තමේන්තුව හරහාය. දැනට ඉන්දියාවේද නොමැති පහසුකම්වලින් මෙම නව දුම්රිය සමන්විත වෙයි.
“දැනට කන්කසන්තුරේ වෙනකල් ධාවනය වෙන උත්තරදේවි දුම්රිය වෙනුවට තමයි මේ පළවැනියට එන දුම්රිය එකතු වෙන්නේ. මුහුදුබඩ දුම්රිය මාර්ගයටත් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. දැනට එන්නේ එකයි. ඒක ගෙනල්ලා මාස තුනක් යනකල් අපි බලනවා. මොකද, මේක අපිටමනේ හදන්නේ. ඒකෙ අඩුපාඩු ඇතිවුණොත් එහෙම ඒ අඩුපාඩු නිවැරදි කරලා තමා ඉතුරු ටික ගේන්නේ. වගකීම අපිට දීලා තියෙනවා. යාන්ත්‍රික කොටස්වලට අවුරුදු දෙකයි. විදුලිය කොටස්වලට අවුරුදු පහයි.”

තවදුරටත් මේ සම්බන්ධව පැහැදිලි කළ සාමාන්‍යාධිකාරීවරයාට අනුව මෙම දුම්රියේ ගමන් කරන විට වේග සීමාවන් හා ගමන් ස්ථාන දැනගත හැකි GPS පද්ධතියක් ද වෙයි. පළමු පන්තිය වායුසමනය කර ඇති අතර සුඛෝපභෝගී ආසනද තිබේ. එමෙන්ම පළමු, දෙවැනි සහ තෙවැනි පන්තිවලින් මෙම දුම්රිය සමන්විත වේ.
තවද මීට අමතරව තවත් බලවේග කට්ටල සහ දුම්රිය රාශියක් ඉදිරි වසරක පමණ කාලය තුළ මෙරටට ගෙන්වීමට නියමිතව තිබේ. එමෙන්ම දුම්රිය ගමනාගමන ක්ෂේත්‍රයේ විශාල සංවර්ධනයක් ඉදිරි වසර කිහිපයේ දී සිදුකිරීමට නියමිතව පවතී.
නව දුම්රිය ආනයනය සම්බන්ධව දුම්රිය වෘත්තීය සමීති දරන්නේ කවර ආකාරයක මතයක්ද යන්න දැනගැනීමට අප දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධතා පෙරමුණේ සභාපති සම්පත් රාජිත මහතා සම්බන්ධ කර ගතිමු. ඒ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“දුම්රිය සේවකයන් කිහිපදෙනෙක් ඉන්දියාවේ පුහුණුවකට යොමුකරලා තියෙනවා මේ මාසේ. අදියර දෙකකට තුනකට වගේ පුහුණු කටයුතු සිදුවෙනවා. කොහොම නමුත් ඉන්දියන් දුම්රිය ගෙන්වීම සම්බන්ධයෙන් අපට විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්න බෑ හරියට දන්නේ නැතුව. නමුත් ගේන එක කලක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට ගේන්න ඕන. මොකද, අපි දන්නවා එම්10 ප්‍රංශ එන්ජින් ගෙනල්ලා චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කාලේ එක එන්ජිමකට කෝටි 22ක් නාස්ති කළා. ඉංජිනේරු මහත්තුරුත් යනවා, අපේ සේවකයොත් යනවා, ඇමැතිවරුත් යනවා. ගිහිල්ලත් තියෙනවා. මේ යන පිරිස දැඩි ලෙස අවධානය යොමු කරන්න ඕන නිකම්ම නිකම් සංචාරයක් කර නොගෙන රටට ගැලපෙන විදිහට නිවැරදිව බඩු ගේන්න. මොකද මේ ජනතාවගේ මුදල්.”
චමිඳු නිසල් ද සිල්වා