2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

අලුතෙන් හැදෙන සන්ධාන

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 190

රටේ දේශපාලන පක්ෂ නම් ඇති පදමටය. එහෙත් ඡන්දයකට ගියපසු එක් ලකුණකින් ඉදිරිපත්වන පක්ෂ ඇත්තේ අතලොස්සකි. බොහෝ පක්ෂ අවසානයේ සන්ධාන ගතවන්නේ පක්ෂ කිහිපයක්ද එක් කරමිනි.

ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය මෙරට පැරැණිම ප්‍රධාන පක්ෂය වුවත් ඔවුන් ජනාධිපතිවරණ දෙකක් තරග කළේ එජාපයේ අලියා ලකුණින් නොව හංසයා ලකුණෙනි. ඒ 2010 සහ 2015 මැතිවරණවලදීය. එසේම ලංකාවේ අනෙක් ප්‍රධාන පක්ෂය වන බණ්ඩාරනායක මහතාගේ ශ්‍රීලනිපයේ ලාංඡනයද කිහිප වතාවක්ම වෙනස් වූ අතර එය වැඩිම වාර ගණනක් නමත් පක්ෂ ලාංජනයත් සන්ධාන ගතවීම නිසා වෙනස් කළ පක්ෂය විය. 1951 දී ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිවරණය සඳහා තරග කරන විට පොදුජන එක්සත් පෙරමුණ බවට පත්විය. ශ්‍රීලනිපයේ අත වෙනුවට පුටුව එදින ලකුණ විය. ඉන් අනතුරැව 2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී ජනතා විමුක්ති පෙරමුණ සහය දැක්වීම නිසා පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් වෙනස් විය.

එපමණක් නොව 2015 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ නමින් තරග කළේය. එහෙත් ලාංජනය වෙනස් වුණේ නැත. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ සිය ලාංජනය නම වෙනස් නොකළත් ඔවුන් ප්‍රධාන පක්ෂ වලට, සෘජුව සහ වක්‍රව සහයෝගය දක්වමින් සන්ධාන ගත විය.

කෙසේ වෙතත් පසුගියදා මහමැතිවරණය ගැන කතා ඇසෙන්නට වීමත් සමඟ නැවතත් සන්ධාන බලමුලු ගැන විවිධ කතා පැතිරෙන්නට විය. ඒ අතර මුලින්ම කතාව ආවේ සිවිල් සංවිධාන එකමුතුවෙන් සකසන්නට යන සන්ධානය ගැනය. මේ සඳහ පක්ෂ 4කුත්, සිවිල් සංවිධන අටකුත් සහයෙන් මෙම නව ව්‍යාපාරය ගොඩනගන්නට තීරණය විය. ඔවුන් ජනාධිපතිවරණය කේන්ද්‍ර කර ගනිමින් මෙම සන්ධානය ගොඩනැගීමට තීරණය කර ඇති අතර ඒ සඳහා සිංහල, මුස්ලිම්, දමිළ වශයෙන් අපේක්ෂකයන් හතර දෙනෙක්ද යෙදවීමට තීරණය කර තිබිණි.

මේ අතර තවත් සන්ධානයක් ගොඩනැගීමට උත්සාහ ගන්නේ පසුගියදා ඇති වූ බලපෙරළියත් සමඟය. එහිදී මහින්ද අගමැති වූ අතර විපක්ෂයෙන් ආ පීඩනය නිසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරැවා හැරියේය. එසේ විසුරුවා හැරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් ශ්‍රිලනිපයෙන් ඉවත්ව පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත්හ. අවසානයේ ශ්‍රීලනිපයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කිහිප දෙනෙක් ශ්‍රිලනිපයේ ඉතිරි වූහ. කෙසේ වෙතත් අවසානයේ මැතිවරණය කැඳවීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පක්ෂයත් (පොහොට්ටුව), එක්සත් ජනතා නිදහස් සන්ධානයත් (බුලත් කොළය), ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව සන්ධානයක් සෑදීමට තීරණයකට ආවේය. ඒ අනුව ඔවුන් එළඹෙන මැතිවරණයේදී එක්ව තරග කරනු ඇත. එහෙත් ලාංජනය පොහොට්ටුවද වෙනත් එකක්ද යන්න තීරණයක් තවම නැත.

එසේම එජාපයත් මහ මැතිවරණය කේන්ද්‍ර කරගනිමින් පොදු සන්ධානයක් ගොඩනැගීමට තීරණය කළේය. ඒ තවමත් බලය වෙනුවෙන් සටන් කරන එක්සත් ජාතික පෙරමුණත් සමඟය. ඒ සඳහා ජාතික හෙළ උරැමය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ ගණනාවක සහාය එජාපයට එක්වන නිසා ඔවුන්ද, පොදු සන්ධානයකින් තරග කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා අලියා ලාංජනයද නැත්නම් හංසයා ලාංඡනයද යොදාගත යුත්තේ යන්න තීරණයක් නැත. එහෙත් ඔවුන්ද පොදු සන්ධානයකින් ඒමට තීරණය වී කර තිබේ.

කෙසේ වෙතත් ඊට අමතරව, තරුණ සංවිධාන කිහිපයක් එක්ව තවත් සන්ධාන කිහිපයක් මැතිවරණ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇත. එහෙත් ඒවා තරග කරනවාද නැද්ද යන්න තහවුරැ නැත. විශේෂයෙන් පක්ෂ රැසක් ලාංජන සහ නම් මාරුකිරීම පිටුපස අප්‍රකට කතා රැසක් ඇත. ඉන් ප්‍රධාන හේතුව වන්නේ දෛවඥයන්ගේ අනාවැකිය. එම පක්ෂයෙන් ජයග්‍රහණයක් නැතිනම් වෙනත් ලකුණකින් එනු ඇත. දෙවැනි කරුණ නම් පිරිසක් එක්වන නිසා ඒ පොදු පිරිසගේ කැමැත්ත නිසාය. මේ නිසා නම් ලාංඡන වෙනස් කරනු ලබයි.

කෙසේ වෙතත් ඉදිරියේදී මෙවැනි සන්ධන රැසක් කරළියට එනු ඇත. එහෙත් ඒ තුළින් එන්නේ පරණ පුද්ගලයෝ නම් වැඩක් නැත. ඒ නිසා පක්ෂ, වෙනස් කරන්නා සේම මුහුණුත් වෙනස් වෙනවා නම් මෙකී සන්ධානවල වටිනාකම නිමක් නැත.

 ගයාන් ගාල්ලගේ