
අපි හය දෙනෙක් පහන්තුඩාව දිය ඇල්ලට ඉහළින් නාමින් සිටියා. එක යාළුවෙක් නාන්නේ නැතුව ගොඩට වෙලා හිටියා. එකම තැනකින් ගලාගෙන ගිය වතුර පාර වහන්න යාළුවො පස්දෙනෙක් උත්සාහ කරමින් සිටියා. ඒ වෙලාවේ මම එතැනට ඉහළින් වළේ හිටියේ. එකවරම ගලාගෙන ආපු වතුර පාරට යාළුවෝ පස්දෙනාම පහළට වැටුණා
සබරගමුව විශ්ව විද්‍යාලයේ භූ විඥාපන පීඨයේ තෙවැනි වසරේ සිසුන් තිදෙනකු බෙලිහුල් ඔය පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගොස් ගිලී මියයාම සම්බන්ධයෙන් ඔවුන් සමඟ සිටි බාලසුන්දරම් (25) මෙසේ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මියගිය මිතුරන් තිදෙනාගේ මරණ පරීක්ෂණවලට සාක්ෂි දෙන අතරතුරය.
අපි යාළුවෝ හත්දෙනාම එකම කාමරයක නැවතිලා ඉන්නේ. ගිය සෙනසුරාදා නිවාඩු දවසක් නිසා අපි පහන්තුඩාව ඇල්ල බලන්න යන්න කතා කරගත්තා. එදා උදේ 9ට විතර තමයි අපි පිටත් වුණේ. අපි කට්ටිය නාන්න බැස්සත් පීනන්න පුළුවන් කෙනකුට හිටියේ මම විතරයි. හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා යැයිද බාලසුබ්‍රමනියම් පැවසීය.
යාපනය ප්‍රදේශයේ මිතුරු පිරිසක් අතර ගෝපාල් ක්‍රිෂ්ණන්, සරවන භවන්, සෙල්වරත්නම් ටිෂනත් සබරගමුව විශ්ව විද්‍යාලයේ භූ විඥාපන පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියෝය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පහසුවක් වූ බැවින් පිරිස නවාතැන් ගෙන සිටියේ විශ්ව විද්‍යාලයට ආසන්නව තිබූ කුලී කාමරයකය. මාසයකට දෙකකට වතාවක් ගමට යන තරුණ පිරිස වැඩි කාලයක් ගත කළේ විශ්ව විද්‍යාලය සහ නවාතැන් කාමරය ආශ්‍රිතවය. ඒකාකාරී ජීවිතයකට කොටු වී සිටි මිතුරු පිරිසට නිවාඩු සති අන්තයක් පැමිණ තිබුණේ කාලයකට පසුවය. සියලු දෙනාම එක්ව කතිකා කරගෙන තිබුණේ නිවාඩු දවසට පහන්තුඩා දියඇල්ලට යාමටය.
සෙනසුරාදා (10) පෙරවරු 9ට පමණ නවාතැනෙන් පිටත් වූ පිරිස බලන්ගොඩ, ගලගම, ලඳුයාය හරහා ධාවනය කරන බස් රථයකට නැග තිබුණි. දිය ඇල්ලට කිට්ටු මාර්ගයේ අතරමැදින් බැසගත් පිරිස ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් බාගයක් පමණ ඈතින් පිහිටි දිය ඇල්ල වෙත ගමන් කළෝය. අපූරු පරිසරයේ සුන්දරත්වය විඳිමින් දිය ඇල්ලට පිවිසෙන පටු මාර්ගයේ සහ දිය ඇල්ල අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටි පිරිස අතරින් දිය නෑමට යෝජනාවක් ආවේය. එහෙත් එක් අයෙක් ඊට එකඟ නොවී තිබුණේ මටනම් පීනන්න බෑ කියමිනි. ඔහු දිය ඇල්ලට මත්තෙන් වූ කණ්ඩියට වී මිතුරන් දෙස බලා සිටියේය. ඒ අතර මිතුරන් හය දෙනෙක් දිය කෙළියේ නිරතව සිටියහ.
ඒ මොහොතේ එතරම් වතුර ප්‍රමාණයක් ගලන බවක් පෙනෙන්නට නොවුණි. එබැවින් නඩයේ අයෙක් තරමක ගැඹුරු දියේ පීනමින් සිටියේය. සෙසු පස් දෙනෙක් එක් වී ඊට පහළින් වූ තැනක රැඳී සිටියෝය. ගලාගෙන යන දිය පහර ඔවුන් සිටි ස්ථානයෙන් ගමන් කර තිබුණේ සීමිත ඉඩකිනි. මිතුරන් හය දෙනා එක්වී එම දිය පහර වැසෙන පරිදි වාඩි වී තිබුණේ ඉහළ ප්‍රදේශයේ වතුර පිරී පවතිනු දැකීමටය.
හිතවතුන් පිරිසට වැඩි වේලාවක් එසේ ගත කිරීමට අවස්ථාව ලැබුණේ නැත. මොහොතකින් ගලාගෙන ආ සැඩ පහරේ වේගයට මිතුරන් පස් දෙනා ඇල්ලෙන් පහළට ඇද වැටුණෝය. පිහිනමින් සිටි තරුණයා පිහිනා ගොඩට නැගගෙන තිබුණි.
ඔහු හඬ නගා ඇල්ලට ගොඩින් සිටි මිතුරාට අඬ ගැසුවේය. ඉක්මනින් අහල පහල ඉන්න අයගෙන් උදව් ඉල්ලන්නැයි ඔහු දැන්වූවේය. මේ අතර මිතුරන් වැටුණු දෙසට ගිය ඔහුට පෙනුණේ අපහසුවෙන් ගල් කුලක එල්ලී සිටින මිතුරන් දෙදෙනෙකි. ඔහු වහා ක්‍රියාත්මක වී ඔවුන් දෙදෙනා ගොඩට ගැනීමට පියවර ගෙන තිබුණි.
මේ අතර අසල්වැසි කීපදෙනෙක් උදවුවට පැමිණ තිබූ අතර ඔවුන්ගේ සහාය ඇතිව දියේ ගිලී සිටි තිදෙනකුගේ සිරුරු සොයාගෙන ගොඩට ගත් සැණින් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවට අයත් වාහනයකින් බලන්ගොඩ මූලික රෝහල වෙත රුගෙන යනු ලැබූහ. මේ සඳහා අසළ වූ පෞද්ගලික විදුලි බලාගාරයක සේවක පිරිසක් ද එක්ව තිබූ නමුත් දුෂ්කර මාර්ගයක් ඔස්සේ රැගෙන ආ පිරිස රෝහල් ගතකරන්නට මිනිත්තු 40ක් පමණ ගතවී තිබුණි. එහිදී රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් බේරා ගැනීම වෙනුවෙන් මහත් වෙහෙසක් ගනු ලැබූවද ඔවුන්ගේ ජීවිත රැකගැනීමට හැකි වී තිබුණේ නැත.
සිදුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් අනාවරණය කළ කරුණු මත හෙළිවූයේ මේ දිනවල හෝටන් තැන්න ප්‍රදේශයට වරින්වර වැසි ඇද හැලෙන බවය. එම වර්ෂාව නිසා හිටි ගමන් බෙලිහුල් ඔයේ ජල මට්ටම ඉහළ යන බවද මේ බව නොදත් දරුවන් දිය නාමින් සිටියදී මෙම විපත සිදුව ඇති බවය. එබැවින් ඔවුන් ප්‍රකාශ කරන්නේ නිසි අවබෝධයකින් තොරව දිය ඇල්ලේ නෑමට ගිය තරුණයන් අතරින් තිදෙනකුගේ ජීවිත නැති වූ බවය.
මියගිය සිසුන් තිදෙනාගේ මරණ පරීක්ෂණය බලන්ගොඩ රෝහලේදී සිදු කෙරැණු අතර සමනළ වැව පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරති.
සමන්ත ප්‍රදීප් විල්තෙර