ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අඳුරුම දිනය උදාවූයේ ඉකුත් 15 වැනිදාය. පාර්ලිමේන්තුවේ එදින හටගත් අර්බුදය දෙස මුළු ලෝකයම බලා සිටියේ විමතියෙනි. කිසිදු සම්ප්‍රදායක් ගරු නොකර, මන්ත්‍රීවරු හිතුමතේ කලහකාරී ලෙස හැසිරුණු ආකාරය සහ රටේ පසුගිය සතිය තුළ පැවැති අරාජික ගැටුම්කාරී අලකලංචිය විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ මෙලෙසිනි.
“BBC සේවය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය” ලෙසින් පාර්ලිමේන්තුව සහ ආණ්ඩුව පත්ව ඇති තත්ත්වය දිගින් දිගටම වාර්තා කරන්නට යෙදුණි.
“නව අගමැතිට එරෙහි විශ්වාසභංගයට පසුදින පාර්ලිමේන්තුවේ ගුටිබැට” ලෙසින් එය පසුදා සිද්ධිය වාර්තාකර තිබුණි. – BBC
“පුද්ගලයන් දෙන්නෙක්ම අගමැතිකමට අයිතිය කීමෙන් ශ්‍රී ලංකාව ව්‍යවස්ථා අර්බුදයක” යැයි The Guardian වාර්තා කළේ පරණ පාර්ලිමේන්තුවේ පින්තූරයක්ද සමගිනි.
“ශ්‍රී ලංකා ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවයි. නව මැතිවරණයක් කැඳවයි: දේශපාලන අර්බුදය උග්‍ර අතට”
- The Washington Post
ශ්‍රී ලංකාව දේශපාලනික අර්බුදයේ ගැඹුරටම ගිලී ගියේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට තීන්දු කිරීමත් සමගිනි. මේ තීන්දුව ව්‍යවස්ථා විරෝධී බව විශේෂඥයන් පවසන අතර විපක්ෂය අධිකරණ ක්‍රියාදාමයකට යොමුවන බව කියති.
“නව අගමැති ගැන විශ්වාසය ගිලිහීමත් සමඟ ලංකාව පඹගාලක”
- Saudi Gasette
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නව අගමැතිවරයාට විශ්වාසභංගයක් ගෙන ඒමෙන් රටම ගැඹුරු අර්බුදයකට ඇද දැමූ බව Saudi Gasette කියා තිබුණි.
“මන්ත්‍රීවරුන්ගේ ගුටිබැට මැද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අවුල්ජාලයක”
- Al Jazeera
අල්ජසීරා මාධ්‍ය වාර්තා කළේ රටේ ආණ්ඩු බලය ගිලිහෙද්දී මන්ත්‍රීවරු ගුටිබැට හුවමාරැවක යෙදුණු බවය. විරුද්ධවාදීන්ගේ ප්‍රහාර මැද සමහරුන් බිම ඇද වැටුණු බවද එය වාර්තා කළේය.
“ජනපති කැමැති අගමැතිට පාර්ලිමේන්තුව අකමැති වෙයි”
- News World News
හදිසියේ අගමැති ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂගේ රජය පිළිබඳ විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගනී යනුවෙන් News World News වාර්තා කර තිබුණි.
“පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීන්දුව ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය අත්හිටුවයි”
- US News
“ශ්‍රී ලංකා මන්ත්‍රීවරු කතානායකට පහරදීමට තැත් කරති”
- The Hindu
යනුවෙන් හින්දු වාර්තා කර තිබුණේ හදිසි මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කිරීමත් සමග හටගත් අවුල් ජාලය මැද පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් කතානායකවරයාට පහරදීමට තැත්කළ බව කියමිනි. ඒ සමග රනිල් වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවන් සහභාගී වූ පෙළපාලියක ඡායාරෑපයක්ද පළකර තිබුණි.
ශ්‍රී ලංකා දේශපාලන අර්බුදය මැද බටහිර තානාපතිවරු හමුව මගහරිති
- ARAB NEWS
බ්‍රිතාන්‍ය, නෙදර්ලන්ත, නෝර්වේ, ප්‍රංශ, ඕස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා, ඉතාලි සහ කැනඩා තානාපතිවරු ශ්‍රී ලංකා රජය කැඳවා තිබූ හමුවකට සහභාගි නොවී මගහැර ගිය බව ARAB NEWS වාර්තාකර තිබුණි. ඒ ජනාධිපතිවරයා ගත් තීන්දුවට විරෝධය පෑම සඳහා බව එය වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය “ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකට දෙන්න” - රනිල් වික්‍රමසිංහ - BBC
2015 ජනවාරි 8 වැනිදා පොරොන්දු වූ “පරමාර්ථ ජයග්‍රහණය කරවීම සඳහා” කටයුතු කරන බවට ඔක්තෝබර් 26 වෙනි දින ජනාධිපතිවරයා විසින් ධුරයෙන් නෙරපන ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති ජනහමුවේදී පැවසීය.
“දහස් සංඛ්‍යාත ජනකායක් රැලියට සහභාගි වී සිටි අතර ඒ හේතුවෙන් ලිප්ටන් වටරවුම සහ ඒ අවට මාර්ග මුළුමනින්ම අවහිර වී තිබිණි” යැයි BBC වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි. “ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි එකට තියන්නත් අපි ලෑස්තියි කියලා කියන්න කැමැතියි” නමුත් එය කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව බවත් රනිල් වික්‍රමසිංහ පැවසූ බව BBC වාර්තාව කීවේය.
සුගත් පී. කුලතුංගආරච්චි