
අපේ රටේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් රටේ මහජනතාවට ඇත්තේ සතුටක් නොව අපුලකි. කිසිදු අයකු ලේසියට හොඳ කියන්නේ නැත. බොහෝ දෙනකු හැම මොහොතකම දේශපාලනඥයන්ගේ පතුරු යවන අතර තවත් පිරිසක් "අපෝ ඔය ගැන කතා කරන්න එපා" යැයි කියමින් මග හරිති. ඒ තරම් රටේ දේශපාලනයත්, දේශපාලනඥයන් ගැනත් මහජනතාවට ඇත්තේ අප්‍රසන්න හැඟීමකි.
කෙසේ වෙතත් වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වයත් සමඟ බහුතරයක් ඉන්නේ දේශපාලනඥයන් කෙරෙහි ගෞරවයකින් නොවේ. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජනතා ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරු ජනතාව ඉදිරියේම පක්ෂ මාරැ කිරීමය. මෙකී මාරු කිරීම් පිළිබඳව ජනතාව අතරත් පක්ෂ අතරත් විවිධ අර්ථකථන ඇත. බොහෝ දෙනෙක් පවසන්නේ මුදල්, තනතුරු, තාන්න මාන්න හේතුවෙන් මෙම පක්ෂ මාරු කරන බවය. තවත් අය පවසන්නේ නඩු හබවලින් බේරෙන්නට පක්ෂ මාරුකරන බවය. තවත් අය තාන්න මාන්න ලබාගැනීමේ අරමුණින් සමහරු පක්ෂය මාරු කරන බව කියති. එහෙත් මේවා එහෙන් මෙහෙන් ඇහෙන කතා මිස සත්‍යවශයෙන්ම ඇහෙන කතා නොවන්නේය. නමුත් පනින පැනිලි අනුව මේ කතා ද එක් පැත්තකින් බොරු ද නොවන්නේය. එහෙත් ඇත්ත දන්නේ ඔවුන්ම පමණි.
කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ එකී දේශපාලන පැනිල්ලේ ඉතිහාසය ගැනය. මෙකී කතාවේ ආරම්භය සනිටුහන් වන්නේ 1951 එ.ජා.ප. ආණ්ඩුවේ සභානායක රතුපලස පාගමින් විපක්ෂයට එක්වීම හරහාය. එලෙස එක්වූයේ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාය. ඔහුත් සමඟ ඩී. ඒ. රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙක් ද සිටියහ. එම මාරැ වීමෙන් අවසානයේ මෙරට දැවැන්ත පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවිය. එසේම ඊට පසුව 56 මැතිවරණයට පෙර ආර්. ජී. සේනානායක එජාපයේ සිට ශ්‍රීලනිපයට එක්විය.
එසේම ඊට අමතරව රත්නපුර ජයවීර කුරුප්පු එජාපයේ සිටත් ආර්. ඊ. ජයතිලක කම්කරු පක්ෂයේ සිටත් බණ්ඩාරනායක මහතාට එක් වූහ. මෙහිදී දඹුල්ලේ එච්. බී. තැන්නේ සහ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ශ්‍රීලනිපයෙන් වෙන්ව 1956 ආසන්නයේ එජාපයට එක්වූහ. මෙම මාරුවීම් අතර 1975දී සිදු වූ රොනී ද මෙල්ගේ මාරුව රටේ කතාබහට ලක්විය. රොනී පනී යනුවෙන් එදා මාධ්‍යවල සඳහන් කළේ එකී පැනිල්ල ගැන ප්‍රධාන සිරස්තල ද සමඟය. ඔහු ඉන්පසුව ද කිහිපවතාවක්ම පක්ෂය මාරු කළේය.
ලංකා ඉතිහාසයේ නොමැකෙන පැනීම වාර්තා වන්නේ 1964 දීය. ඒ සිරිමාවෝ මැතිණියගේ ආණ්ඩුවේ ඉඩම්, වාරිමාර්ග සහ විදුලිබල ඇමතිවරයාව සිටී සී.පී ද සිල්වා ඇතුළු 13ක් සමගි ආණ්ඩුවෙන් ගැලවී විපක්ෂයට එක්වීම හරහාය. මෙම මාරුවේ ප්‍රතිඵලයක් ලෙස මැතිණියගේ රජය එක් ඡන්දයකින් පරාජය වුණු අතර ඊට පසුව පුළුල් සන්ධානයකින් ආ ඩඩ්ලි සේනානායක ඇතුළු කණ්ඩායම ජය ගත්තේය. මේ පැනිල්ල රාජාසන කතාව අරබයා සිදුවූ අර්බුදයක් වූ අතර එහිදී ලේක් හවුසිය රජයට පවරා ගැනීමට විරුද්ධව සිදුවූ පක්ෂ මාරුවක් ලෙස ඉතිහාස ගතවිය. එම පක්ෂ මාරුව කළ අය පගා ගත් බවට සමහරු චෝදනා කළහ.
කෙසේ වෙතත් කිහිප වතාවක් මේ ආකාරයෙන් මන්ත්‍රීවරුන් එහෙට මෙහෙට පැන්නත් ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථාවෙන් එය අවහිර කරනු ලැබීය. ඒ නීතිමය වශයෙනි. මේ හේතුව නිසා ලංකා ඉතිහාසයේ දෙවැනි ලොකුම පැනීම ලෙස අතීතයට එක්වන්නට ගිය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ දෝෂභියෝග සිද්ධියේදී මන්‍ත්‍රීවරු 12 දෙනකුගේ මන්ත්‍රීධූර අහිමි විය. ඒ අතර ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි ද සිටියහ. අවසානයේ ඔවුහු ගෙදරට කොටු වූහ.
එම පැනීමෙන් පසුව කිහිප වතාවක් අනුර බණ්ඩාරනායක වැනි මන්ත්‍රීවරු එහෙට මෙහෙට පැනගත් අතර ඊට පසුව තවත් විශාල පැනීමක් 2001 දී සිදුවිය. එජාපයෙන් එකා දෙන්නා ඉවත්ව යන මොහොතක බන්දුල ගුණවර්ධන, එස්. බී. දිසානායක ඇතූළු කණ්ඩායමක් චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක්විය. මේ නිසා අවසානයේ චන්ද්‍රිකා ආණ්ඩුව බිඳ වැටී එජාපය බලය තහවුරු කරගත්තේය. එහෙත් අවසානයේ වසර දෙකකින් එම ආණ්ඩුව චන්ද්‍රිකා විසින් පොළොවේ ගසා බිඳ දැමිණි. මේ නිසා පැන ආ මන්ත්‍රීවරු අනාථ වූහ. එස්. බී.ට හිරේ ලගින්නට වුණේ ද එහි ප්‍රතිඵලයක් වශයෙන් බව කියති.
ඊට පසුව නැවතත් දැවැන්තම පක්ෂ මාරුව සිදුවූයේ යුද්ධය පැවති සමයේදීය. ඒ කරු ජයසූරිය ඇතුළු දාහත්දෙනකු යූ.එන්.පී.යෙන් කැඩී මහින්දගේ ආණ්ඩුවට එක්වීමය. ඒ යුද්ධයට සහය ලබාදීමේ අරමුණු ඇතුව බව ඔවුහු කීහ.
කෙසේ වෙතත් ඉතිහාසයේ දැවැන්තම පක්ෂ මාරු කිරීම මහින්ද රාජපක්ෂ සමයේදී සිදුවූ අතර මේ නිසා මහින්ද රජපක්ෂ මහතාට අසීමිත බලයක් හිමිවිය. එජාපයේ සිටි ජෝන්ස්ටන්, ඉන්දික, දයාසිරි, එස්.බී, කෙහෙළිය, මනුෂ, ජවිපෙ සිටි විමල් වීරවංශ වැනි විශාල පිරිසක් එක්වූ අතර මේ හේතුවෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට යුධ ජයග්‍රහණයේ තීන්දු ගැනීම ඉතා පහසුවෙන් සිදුකර ගැනීමට හැකිවිය.
කෙසේ වෙතත් මේ අතර 2015 ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව එළියට ආහ. ඔහු පිල් මාරුව කරන විට ශ්‍රීලනිපයේ මහලේකම් වූ අතර මේ නිස දතට දතක් න්‍යාය යටතේ එජාපයේ මහලේකම් තිස්ස අත්තනායක රාජපක්ෂ ආණ්ඩුවට එක්කර ගත්තේය. ඉතිහාසයේ තවත් දැවැන්තම පක්ෂ මාරු කිරීමක් එසේ අවසන් විය.
කෙසේ වෙතත් වර්තමානයේ නැවත මෙය කරළියට එන්නේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟය. ඔහු දිවුරුම් දීමත් සමඟ වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ, වඩිවේල් සුරේෂ්, විජයදාස රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත වැනි මන්ත්‍රීවරු එජාපයෙන් රාජපක්ෂ මහතාට එක්වූහ. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ද සිටියහ. මේ පිල් මාරුව සඳහා කෝටි 50ක් දුන් බව එජාපයේ පිරිස් චෝදනා කළේය. එහෙත් ඒ චෝදනා එම මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කළහ. එසේ නමුත් ඔවුහු ඇමතිකම් ලබා ගත්හ.
මේ අතර එස්.බී. දිසානායක මහතාත් පාලිත රංගේ බණ්ඩාරත් අතරත් දුරකථන සංවාදයක් එළියට ආවේය. මේ හරහා මන්ත්‍රීවරුන් මිලට ගන්නා බවට තටු ලැබිණි. එහෙත් අවසානයේ වසන්ත, වඩිවේල් වැනි මන්ත්‍රීවරු නැවතත් එජාපයට ගියහ. ශ්‍රීලනිපයේ සිටි ෆවුසි, පියසේන ගමගේ, මනූෂ එජාපයට ගියහ. එලෙස මෙවර මාරැව නිම විය.
කෙසේ වෙතත් මේ අවසානය නොවෙන්නේය. නීතියෙන් තහනමක් පැනවෙන තුරු තව තවත් ඉදිරියට මෙවැනි පනින පිරිස බිහි වන්නේය. අවසානයක් ඔවුන්‍ට නැත. එහෙත් ඡන්දය ලබාදෙන ජනතාවට වගකීමක් ඇත. ඒ එහාට මෙහාට පනිමින් සිටින මන්ත්‍රීවරුන්ට ඡන්දය ලබාදෙනවාද නැද්ද යන්න තීරණය කිරීමය.
ගයාන් ගාල්ලගේ