

කොළඹ ලොව අනෙකුත් අගනගර හා සසඳන විට කුඩා නගරයක් වුවත් එහි පාරිසරික වැදගත්කම ඉහළය. පරිපාලන අගනුවර වන කෝට්ටේ කොළඹ නගරයට යාබදව පිහිටා ඇති අතර එය 13-14 වැනි සියවස්වලදී රටේ රාජධානිය වශයෙන් පැවැතිණි. කෝට්ටේ ආරක්ෂිත රාජධානියක් වූයේද නගරය වටා පිහිටි වගුරු තෙත්බිම්වලින් ලැබුණු ආරක්ෂාව නිසා හෙවත් පංක දුර්ගයක් වූ හෙයිනි.
කෝට්ටේ අභය භූමිය, බද්දගාන තෙත්බිම් උද්‍යානය, කොළොන්නාව තෙත්බිම්, කොළඹ බේරේ වැව, තලවතුගොඩ දියසරු උයන කේන්ද්‍ර කරගත් තෙත්බිම් පද්ධතිය, තලංගම වැව පාරිසරික ආරක්ෂක කලාපය, බෙල්ලන්විල අත්තිඩිය අභය භූමිය මේ නගරය ආශ්‍රිතව පිහිටි තෙත්බිම් වේ. නගරයේ ගංවතුර තර්ජන අවදානම අඩු කිරීමටද පාරිසරික ආරක්ෂාවට මෙන්ම ජෛව විවිධත්වය ඉහළ නැංවීමටද මින් සිදුවන්නේ මහඟු මෙහෙයකි.
එම පාරිසරික අගය ජාත්‍යන්තරව ඇගැයීමට ලක්වීමක් පසුගියදා සිදුවිය. ඒ ඩුබායිහි පැවති රැම්සාර් (ලෝක තෙත්බිම් සම්මුතිය) පාර්ශ්වකරුවන්ගේ 13 වැනි සැසිවාරයේදී කොළඹ නගරය තෙත්බිම් නගරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමයි. රැම්සාර් සම්මුතිය පළමු වතාවට මෙසේ තෙත්බිම් නගර සංකල්පය ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ වෙනුවෙන් ලෝකයේ රටවල් 6ක නාගරික තෙත්බිම් 18ක් තෙත්බිම් නගර ලෙස ප්‍රකාශිතය. චීනයේ නගර 6ක්ද ප්‍රංශයේ නගර 4ක්ද කොරියාවේ නගර 4ක්ද හංගේරියාවේ නගරයක්, ටියුනීසියාවේ නගරයක්, මැඩගස්කරයේ නගරයක්ද එම නාගරික තෙත්බිම් අතරට ඇතුළත්ය. ඒ අතරින් ලෝකයේ එකම තෙත්බිම් අගනුවර වශයෙන් කොළඹට වැදගත්කමක් හිමිව තිබේ.
කොළඹ නගර සභා බලප්‍රදේශය, කොළොන්නාව නගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවට අයත් ප්‍රදේශවල තෙත්බිම් මෙහිදී සැලකිල්ලට ගෙන ඇත. කොළඹ නාගරික තෙත්බිම්වල වැදගත්කම ජාත්‍යන්තර රැම්සාර් සංවිධානයට ඉදිරිපත් කරමින් මෙම කාර්යයේ වැඩි බරක් දැරුවේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවයි.
එහි තෙත්බිම් කළමනාකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආචාර්ය නිමල ශාන්ත විජේරත්න අප සමඟ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
“1992 දී අපේ රට රැම්සාර් සම්මුතියට අත්සන් කළා. දැනට සාමාජික රටවල් 170ක් ඉන්නවා. අවුරුදු තුනකට වරක් පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයක් පවත්වනවා. 2015 දී උරුගුවේවල මේ සම්මේලනය පැවැත්වූවා. එහිදී නාගරික තෙත් බිම්වලට වැඩි අවධානයක් යොමුකළා. මෙතෙක් කල් රැම්සාර් තෙත්බිම් ලෙස නම්කළේ පාරිසරික වශයෙන් වැදගත් තෙත්බිම් පමණයි. නාගරීකරණයත් සමඟ නගරවල තෙත්බිම් මිනිසාගේ පැවැත්මට යොදාගන්නේ කෙසේද, නගර සභා මේවා කළමනාකරණය කරන්නේ කෙසේද? වගේ අදහස් සැලකිල්ලට අරන් 2015දී තෙත්බිම් නගර සංකල්පය හඳුන්වා දුන්නා. ගිය අවුරුද්දේ ඔවුන් ලෝකයේ තෙත්බිම් නගර හඳුන්වාදීමට අයදුම්පත් කැඳෙව්වා. එහිදී නගරය තුළ මිනිසාගේ ප්‍රයෝජනයට යොදාගන්නා තෙත්බිම් සහ ඒවා නාගරික සංවර්ධනයට යොදාගෙන ඇත්තේ කෙසේද යන කරුණු ඔවුන් ඉදිරිපත් කළා. තෙත්බිම යහපත් ලෙස ප්‍රයෝජනයට ගෙන ඇත්තේද යන්න එහිදී සලකා බලා තිබෙනවා. නගර 25කින් ඒ සඳහා අයදුම්පත් ලැබී තිබුණා. ඉන් නගර 18ක් තෙත්බිම් නගර ලෙස නම් කළා. අපේ වාණිජ අගනුවර වන කොළඹ නගරයත් සාර්ථක තෙත්බිම් කළමනාකරණයකින් යුතු තෙත්බිමක් ලෙස නම්කිරීම සතුටට කරුණක්. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අප මේ අයදුම්පත ඉදිරිපත් කළා. නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවත් මෙවර ඩුබායි සම්මේලනයට සහභාගි වුණේ ඒ නිසයි.”
ඩුබායිවලදී කොළඹ රැම්සාර් නාගරික තෙත්බිමක් ලෙස පිළිගත් බිමට වූ සහතිකය ප්‍රදානය කෙරිණි. එම සහතිකය ලබාදෙන්නේ අවුරුදු 6කට වලංගු වන ලෙසිනි. එම කාලසීමාව තුළ නාගරික තෙත්බිම්වල හැසිරීම සලකා බලා ඊළඟ කාලසීමාවට දික්කිරීම සිදුවේ.
“කොළඹ තමයි රැම්සාර් තෙත්බිමක් බවට පත්වුණු ප්‍රථම අගනුවර. මේක අපට සංචාරක ව්‍යාපාරයට හොඳින් භාවිත කළ හැකියි. අපි සංවර්ධනයත් සමඟ පරිසරය හොඳින් ගලපාගෙන ඇති බවට ආදර්ශයක් ලෙසත් කොළඹ නගරය යොදාගත හැකියි.”


රජය පසුගියදා තීරණය කර තිබුණේ ජාතික වශයෙන් අතිශය වැදගත් අවස්ථාවකදී හැර දුම්රිය මාර්ග පද්ධතිය යටතේ හඳුනාගෙන ඇති ඉදිකිරීම් හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා කොළඹ නාගරික කලාපයේ තෙත්බිම් භාවිතය වළක්වාලන තහනම් නියෝගයක් පැනවීමටයි. එලෙසම දැනට සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති කිඹුලාඇළ හා දියවන්නා ඔය ආශ්‍රිතව හඳුනාගෙන ඇති භූමි ප්‍රදේශ හැර අනෙකුත් තෙත්බිම් ප්‍රදේශ ආරක්ෂිත භූමි ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කිරීමටත් රජය තීරණය කර තිබේ. කොළඹ අගනගර කලාපයෙන් තෙත්බිම් ගොඩකිරීම හා විනාශ කිරීම නවතාලීමට තාවකාලික තහනම් නියෝගයක් පැනවීම හා තෙත්බිම් ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම හා සංරක්ෂණයට පියවර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් නිලධාරි කමිටුවක්ද පත්කර තිබුණි. කළ යුතුව ඇත්තේ මේ නියෝග ක්‍රියාත්මක කිරීම ඇරැඹීමයි. පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන අපට සිය අදහස් පළකළේ මෙලෙසිනි.
“අන්තර්ජාතික වශයෙන් කොළඹ නගරය තෙත්බිම් නගරයක් ලෙස පිළිගෙන තිබෙනවා. නගරයේ ජලය පාලනය කිරීම, නාගරික තෙත්බිම්වල භාවිතය, ජෛව විවිධත්වය, දේශගුණ විපර්යාසවලට මුහුණදීම ආදී කරුණු ගණනාවක් මෙහිදී සැලකිල්ලට අරන් තිබෙනවා. හැබැයි මේ තෙත්බිම් අපේ රටේ දේශීය නීති හරහා රැකගත යුතු වෙනවා. දැනට කෝට්ටේ අභයභූමිය, බෙල්ලන්විල අභයභූමිය වගේ වනජීවී සංරක්ෂණ ප්‍රදේශවලට වනසත්ව හා වෘක්ෂලතා පනත අදාළ වෙනවා. තවත් සමහර ප්‍රදේශ ඉඩම් ගොඩකිරීමේ හා සංරක්ෂණය කිරීමේ පනත යටතේ නාගරික තෙත්බිම් වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
සමහර ප්‍රදේශ නාගරික සංවර්ධන නීතිය යටතේ ප්‍රකාශ කර තිබෙනවා. තලංගුම වැව ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ කලාපයක් ලෙස නම්කර තිබෙනවා. තවමත් ආරක්ෂිත තත්ත්වයට පත් නොවූ තෙත්බිම් කිහිපයක්ද මේ කලාපයේ තිබෙනවා. අන්න ඒ තෙත්බිම් ටිකට නීතිමය ආරක්ෂාව ලබාදීමේ ක්‍රියාමාර්ගයකටත් අපි යා යුතුයි.
මේ නීති තිබුණත් අභයභූමිවල මිනිස් ක්‍රියාකාරකම්වලට මැදිහත්වීමට ඉඩ තිබෙන නිසා ඒවා වැරදියට ක්‍රියාත්මක වෙන බව පේනවා. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ.
මේ තෙත්බිම්වලට බලපාන විනාශකාරී ක්‍රියා මට්ටම් තුනක් තිබෙනවා.
1. සම්පූර්ණයෙන් තෙත්බිම ගොඩකිරීම නිසා විනාශ වීම.
2. ගුණාත්මක තත්ත්වය වෙනස්වන කැලිකසළ දැමීම.
3. කර්මාන්තශාලා අපද්‍රව්‍ය හා මළ අපද්‍රව්‍ය ආදියෙන් තෙත්බිම හායනය වීම.
මේ කටයුතු නැවැත්වීමට සාර්ථක වැඩපිළිවෙළක් අවශ්‍යයි. කොළඹ රැම්සාර් නාගරික තෙත්බිමක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනීම ගැන මට සංතෝෂයි. මේකට මුල්වුණේ තෙත්බිම් ගොඩකිරීමට මුල් වූ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවයි. ඔවුන් සාධනීය පිම්මක් පැනීම ගැන අපටත් සතුටුයි.”
දියසරු උද්‍යානය
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් පාලනය වන මේ උයන පාර්ලිමේන්තුවට නුදුරින් කිඹුලාවෙල හන්දිය අසල පිහිටා තිබේ. විශාලත්වය අක්කර 60කි. 1981 වනවිට කුඹුරු ඉඩමක් ලෙස පැවති මේ ප්‍රදේශය නව පාර්ලිමේන්තුවේ ඉදිකිරීමත් සමඟ රජයට පවරා ගැනුණි. පසුව ඉවත ලන පස් ගොඩකිරීමට යොදාගත් මේ බිම 2010 දී ගංවතුර පාලනය කිරීමේ අරමුණ මුල් කරගෙන ඇළ මාර්ග හා ජලාශ සහිත තෙත්බිමක් ලෙස සංවර්ධනය කෙරිණි. අද එය නාගරික ජනතාවගේ විනෝදය මෙන්ම පාරිසරික දැනුමක්ද ලබාගත හැකි රමණීය බිම්කඩකි.
බැද්දගාන තෙත්බිම් උද්‍යානය
කොළඹ නාගරික තෙත්බිම් අතර ජෛව විවිධත්වයෙන් ඉහළම අගයක් හිමිකර ගන්නා මෙය 1985 දී ප්‍රකාශිත ශ්‍රී ජයවර්ධනපුර අභය භූමියට අයත් බිම් ප්‍රදේශයකි. පසුව නාගරික සංවර්ධන අධිකාරියට 2006 දී පවරාගෙන නාගරික තෙත්බිම් උද්‍යානයක් ලෙස මහජන පරිහරණයට විවෘත කෙරිණි. හෙක්ටයාර් 18ක විශාලත්වයෙන් යුක්තය. වගුරැබිම්, ස්වභාවික පොකුණු, ජල මාර්ග, ළඳු කැලෑ ආදීයෙන් යුක්ත සුන්දර බිම්කඩකි. පක්ෂි නිරීක්ෂණය කුලුනු, ගමන් පථ, පක්ෂි නිරීක්ෂණ ස්ථාන ආදිය සකස් කර තිබේ. මැයි සිට ඔක්තෝබර් දක්වා පර්යටනික පක්ෂීන් රාශියක්ද මෙම තෙත්බිමට පැමිණෙති.
ශ්‍රී ජයවර්ධනපුර අභය භූමිය
වර්ෂ 1985 ජනවාරි 9 දින කෝට්ටේ පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔය කේන්ද්‍ර කරගත් තෙත්බිම් හෙක්ටයාර් 449.2ක් අභය භූමියක් ලෙස ප්‍රකාශ කෙරුණි. පසුකාලීන සංවර්ධන කටයුතු නිසා මේ වනවිට එහි ඉතිරිව ඇත්තේ සුළු බිම් ප්‍රමාණයක් පමණි. දියවන්නා ඔය හා පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය දැනට අභය භූමියට ඉතිරිව පවතී.
පාර්ලිමේන්තුවට වම්පසින් තිබූ භූමියෙන් විශාල කොටසක් දියත උයන නාගරික උද්‍යාපනයට යට වී තිබේ.
තලංගම වැව
තලවතුගොඩ තලංගම ප්‍රදේශයේ කුඹුරුවලට ජලය සැපයීමට මේ වැව දැනටත් යොදා ගැනේ. පාරිසරික පනත යටතේ ප්‍රකාශිත පරිසර ආරක්ෂණ කලාපයකි. පක්ෂි විශේෂ 100කට අධික සංඛ්‍යාවක්ද ක්ෂීරපායින් සර්පයන් සහ සමනළ විශේෂ රාශියක්ද මෙහි දිවි ගෙවති.
සටහන සහ සේයාරූ
කුසුම්සිරි විජයවර්ධන