2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

ජනපති ව්‍යවස්ථාව උල්ලංඝනය කළා; රනිල් මිතුරන්ට සැලකුවා - මහාචාර්ය සරත් විජේසූරිය

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 2

වර්තමාන යහපාලනය ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් හඬ නැගූ සිවිල් සංවිධාන අතරින් සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරය ප්‍රමුඛය. මහාචාර්ය සරත් විජේසූරිය යනු එහි ප්‍රබල චරිතයකි. අද රට මුහුණ දී සිටින සමාජ දේශපාලන අර්බුදය  පිළිබඳව අපි ඒ මහතා සමඟ සංවාදයක් ඇති කර ගතිමු.

මෙම දේශපාලන අර්බුදය ඇතිවූවක් නොව ඇති කරන ලද එකකි. එය ඇති වූයේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හේතුවෙනි. එම වරද හේතු කොටගෙන වැරදි ගණනාවක් එකදිගට සිදුවීමට පටන්ගෙන තිබේ. මෙය වහාම නතර කර රට යථා තත්ත්වයට පත්කළ යුතුය. නැතිනම් සිදුවන්නේ රට අරාජික වීමයි. රටේ ආර්ථිකය කඩා වැටීම, ජන ජීවිතය අවුල් වීම, රටක් ලෙස ලෝකය හමුවේ අප්‍රසාදයට ලක්වීම හා අවසානයේ රටේ අනාගතය අදුරු දිශාවකට ගමන් කිරීම මෙයින් සිදුවනු ඇත.

මේ මොහොතේ අපේ අරමුණ බවට පත්වී ඇත්තේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනයට එරෙහිව පෙනී සිටීමයි. අපට ඇති ප්‍රශ්නය රටේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ ද මහින්ද රාජපක්ෂ ද යන්න නොවේ. පාර්ලිමේන්තුවේදී වැදගත් ශිෂ්ඨසම්පන්න ආකාරයට මහජන  නියෝජිතයන්ගේ මතය විමසා බහුතරය ඇති පුද්ගලයකුට අගමැති පදවියේ කටයුතු කරගෙන යාමට ඉඩදිය යුතුව තිබේ. ජනාධිපතිවරයා විටක බහුතරය හදා ඇති බව කියයි. එම වචනයම වැරදිය. හදනවා යනු කෘතිම දෙයකි.  කුමන ලෙසකින් හෝ ඔහු හදා ඇතැයි පවසන ජන මතය හරහා මහින්ද රාජපක්ෂට අගමැති ධූරයයේ කටයුතු කිරීමට අවශ්‍ය බහුතරය පෙන්වන්නේ නම් මෙම ප්‍රශ්න එතැනින් අවසන් වෙයි. ඒ නිසාවෙන් අප පෙනී සිටින්නේ ජනාධිපතිවරයා ඉතාමන් නරක ලෙසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, සදාචාරයට පටහැනිව කටයුතු කිරීම, බලය අයුතු ලෙස භාවිතා කිරීම ආදියට විරුද්ධවය.

ගෙවුණු කාලයේදී දේශපාලන ප්‍රතිසංස්කරණය ක්‍රියාවලිය තුළ සෑහීමකට පත්විය හැකි යම් යම් දේ සිදුව තිබේ. මාධ්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ අයිතිය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එයින් කිහිපයකි. එහෙත් මෙම නායකයන් දෙදෙනාගේ ක්‍රියාකලාපය  පිළිබඳ  තෘප්තිමත් විය නොහැක. මේ පිළිබඳව දිගින් දිගටම අපේ මතය පළකර තිබේ. බලයට එන විට රටට දුන් ප්‍රතිඥා ඉටු නොකිරීම හා දිගින් දිගටම දූෂණයට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම වැළැක්වීම  මූලික කාරණා දෙකයි. මෙම කාරණා දෙක සම්බන්ධයෙන් මේ දෙදෙනාම වගකිව යුතුය. 

යහපාලනය ආණ්ඩුව පිළිබඳව දැන් ජනාධිපතිවරයා නගන චෝදනා අනෙක් පසින් ද නැගිය හැක. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය භාර ගැනීම කියන කාරණාව 2015දී පොදු අපේක්ෂකයා ලෙස එන විට කිසිවකුට කියූ දෙයක් නොවේ. එය ද වංචාවකි. තවත් පසෙකින් මැතිවරණය පරාජය වූ පුද්ගලයන්‍ තම බලය පාවිච්චි කරමින් නැවතත් මහජන නියෝජිතයන් වශයෙන් පත් කීරීම හා ඔවුන්ට වැදගත් අමාත්‍යංශ ලබාදීම ද වරදකි. ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂයට හා අග්‍රාමාත්‍යවරයාට පහර එල්ල කිරීම ද වරදකි. මහ මැතිවරණයේදී තමන්ගේම ආණ්ඩුවට එලව එලවා පහර දීම, අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නට නොදී ආරක්ෂා කිරීම ආදී සියල්ල ජනාධිපතිවරයා විසින් කරන ලද වැරදිය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයේ ද වැරදි තිබිණි. ඔහුගේ ගජ මිතුරන්ට වැදගත් තනතුරු ලබා දීම, මහ බැංකුවට අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීම ඒ අතර වෙයි. නීතිය හා සාමය අමාත්‍යංශය වරක් තිලක් මාරපන භාර දීමත් පසුව සාගල රත්නායකට භාර දීමත් වරදකි. ආර්ථික මෙහෙයවීමේ ක්‍රියාවලිය ඔහුගේ මිතුරකු වන මලික් සමරවික්‍රමට භාර දීම ආදී ක්‍රියාවනුත් කිසිසේත්ම අමතක කර නොහැකිය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා මෙම ගැටලුවේදී කළ යුතුව තිබූ මූලිකම දේ වූයේ පාර්ලිමේන්තුවට එය නිරාකරණය කරගැනීමට අවස්ථාව ලබාදීමයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබාගෙන පාර්ලිමේන්තු විසුරුවීමට ජනාධිපතිවරයාට නෛතික බලයක් තිබේ. කළ යුතුව තිබ්බේ එයයි. ඔහු එය සිදු නොකළ අතර 26 වැනිදා රාත්‍රියේ ඔහු මහින්ද රාජපක්ෂව රහසේම අගමැතිවරයා බවට පත්කරයි. පසුව වරින් වර අමාත්‍ය මණ්ඩලය ද පත්කරයි. මෙම ක්‍රියාවලියම අශිෂ්ඨය, අවිනීතය, නීතියට පටහැනිය. ජනාධිපතිවරයාට නීතියට අනුව රට පාලයන කිරීමේ සදාචාරාත්මක වගකීමක් තිබේ. ඔහු එය සිදුකළා නම් මෙවන් අර්බුදයක් නිර්මාණය වන්නේ නැත. කරු ජයසූරියට, සජිත් ප්‍රේමදාසට, රංගේ බණ්ඩාරට කතා කරමින් අගමැතිකම ලබා ගන්නා ලෙස පැවසීම කුමන්ත්‍රණයකි. තමන්ගේ ආණ්ඩුවේ එක් පාර්ශවයකට අදාළ නායකයා තෝරාගැනීම කුමන්ත්‍රණකාරී ලෙස සිදුකිරීම ශිෂ්ඨසම්පන්න නොමැති බව ජනාධිපතිවරයා වටහා ගතයුතුව තිබුණි. දැන් මැතිවරණයට යාමට පෙර සිදුවූ වැරැද්ද නිවැරුදි කරගත යුතුය. එසේ නොමැති නම් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඕනෑම අනීතික ක්‍රියාවලියක් සිදුකොට එය සාධාරණීයකරණය කිරීමට පූර්වාදර්ශයක් ලබෙනු ඇත.

සියල්ල සිදුවූ ආකාරය විමසා බලන විට යහපාලනය ප්‍රතිෂ්ඨාපනය කිරීමට දැන් ජනාධිපතිවරයාට කුමන ආකාරයෙන්වත් හැකියාවක් නොමැත. එතුමා හැට දෙලක්ෂයක ජනවරමට පිටු පෑවේය. දැන් ජනාධිපතිවරයාට හෘද සාක්ෂියක් තිබේ නම් ඔහු ජනාධිපතිවරණයකට යා යුතුය. ජනාධිපතිවරණයකට යන්නට ඔහුට නෛතික අවකාශ ඇත. ඔහුගේ අවශ්‍යතාව වන්නේ  ලබන වසරේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හා ඒ සඳහා මහින්ද රාජපක්ෂ පාර්ශවයේ සහය ලබා ගැනීමය. ඔහුගේ මෙම  බල උමතුව හේතුවෙන් මේ අර්බුදය නිර්මාණය වී තිබේ. තමන් කරපු කියපු දෑ සාධාරණ දැයි දැන ගැනීමට වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකට ගොස් ජනමත උරගා බැලිය යුතුය. 

දැන් මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුළ නිරාකරණය වූවත් ජනාධිපතිවරයා සතුරු ආකල්පයකින් ක්‍රියා කරන විට පෙර ආණ්ඩුවට පාලනය කරගෙන යාමට නොහැකිවනු ඇත. දැන් තිබෙන්නේ තිරය පිටුපස සටනක් නොව කරළියේ සටනකි. ජනාධිපතිවරයා සිටින්නේ කෝපයෙන් හා වෛරයෙනි. ඒ තමන්ගේ වුවමනා ඉටුනොවීම නිසාය. මෙය නිරාකරණය කරගැනීම නම් පැහැදිලිවම ජනාධිපතිවරණයක් පැවත්විය යුතුය.

කෙසේ නමුත් පසුගිය 26 වැනිදා බල පෙරළිය පසු සිදුවූ ක්‍රියාවලිය ජනතාව නැවත ආවර්ජනය කළ යුතුව ඇත. මාධ්‍ය ආයතන දේශපාලන හෙංචයියන් විසින් අත්පත් කරගැනීම අශිෂ්ට ක්‍රියාවකි. මෙවන් දෑ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ පැරණි පාලනය නැවත ස්ථාපනය වන්නට උත්සාහ දරන්නේ ප්‍රචණ්ඩත්වය සමඟ බවයි. ජනපති අගමැති විවේචන කිරීමට පවා මාධ්‍යට හැකියාව තිබුණ ද අද එම තත්ත්වය වෙනස්ව ඇත. 

දැන් අප කළ යුත්තේ ජනතාව දැනුවත් කිරීමයි. රටේ නීති හදන තැන වන  පාර්ලිමේන්තු පසුගිය දිනවල හැසිරීම කනගාටුදායකය. නීති සැකසීමට අවශ්‍ය දැනුම ඇති බහුතරය අද පාර්ලිමේන්තුවේ සිටිය යුතුය.  නමුත් එය එසේ නොවේ. ඉදිරියේදී සුදුසුකම් ඇති පිරිස් තෝරා එවන ලෙස ජනතාව දැනුම්වත් කළ යුතුය. එමෙන්ම   සුදුසුකම්  ඇති පුද්ගලයන් හට අවස්ථාව දෙන ලෙස පක්ෂවලට බලපෑම් කළ යුතුය. අපි එය කරමින් සිටිමු. රටට අලුත් දේශපාලන පාර්ලිමේන්තු සංස්කෘතියක් අවශ්‍ය යන මතය අපි  සමාජ ගත කරමු.

►සංවාද සටහන - චමිඳු නිසල් 
සේයාරුව - සමන්ත ප්‍රදීප් විල්තෙර