
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීමෙන් පසු ජනතාවට සහන සැලසීම සඳහා ඉන්ධන සහ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රැසක මිල ගණන් අඩුකළ බව නිවේදනය කර තිබේ. නොවැම්බර් මස 01දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල අඩුකිරීම සිදුකර ඇති අතර ඇතැම් ද්‍රව්‍යවල මිල දැනටමත් අඩුකර අලෙවි කරන අතර සමහර ඒවායේ මිල තවමත් අඩුකර නොමැත. මුලදී රුපියල් 10ක් අඩුකළ ඉන්ධන මිල පසුගිය බ්‍රහස්පතින්දා සිට තවත් රුපියල් 5කින් අඩුකර තිබේ.
මුදල් සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශය මගින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල මේ වනවිට රුපියල් 15කින්ද ඔක්ටේන් 95 ලීටරයක මිල රැපියල් 5කින්ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින්ද පහළ දමා තිබෙන අතර ත්‍රිරෝද රථ සඳහා යොදාගන්නා ලිහිසි තෙල් ලීටරයක මිලද රුපියල් 10කින් අඩුකර ඇත. අඩුකළ මිලට එදින සිට දිගටම ඉන්ධන අලෙවි කිරීම සිදුවෙමින් පවතී.
එසේම වී වගාව සඳහා යොදාගැනෙන කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක මිල රැපියල් 500 දක්වා අඩුකර ඇති අතර, අනෙකුත් පොහොර මිටියක මිල රුපියල් 1500 සිට 1000 දක්වා රුපියල් 500කින් අඩුකර තිබේ. එම මිල අඩුකිරීම්ද මේ වනවිට ක්‍රියාත්මකව පවතී.
ජනතාවගේ ජීවන වියදම අඩුකිරීමේ පරමාර්ථයෙන් ඇතැම් පාරිභෝගික භාණ්ඩවලට අයකළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු සෑහෙන ප්‍රමාණයකින් අඩුකර ඇතිබවද නිවේදනය කර තිබේ. ඒ අනුව පරිප්පු සහ කඩල සඳහා පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 5කින්ද, උඳුවලට කිලෝග්‍රෑමයකට රැපියල් 25කින්ද අඩුකර තිබේ.
සීනි සඳහා පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10කින්ද අඩුකර ඇත. එසේම තිරිඟු ඇට සඳහා පැවති කිලෝග්‍රෑමයකට රුපියල් 6ක්වූ බදු සහනය රුපියල් 9 දක්වා රුපියල් 3කින් වැඩිකර තිබේ. එසේම ලොකු ලූනු සහ අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 40ක් ලෙස පවත්වාගෙන යාමටද තීරණය වී ඇත්තේ දේශීය ගොවියන් ආරක්ෂා කිරීමට බව පවසමිනි.
මෙතෙක් කල් කෘෂිකාර්මික කටයුතුවල නිරත සමාගම්වලින් පමණක් අයකළ සියයට 14ක්වූ සහන පොලී අනුපාතය පුළුල් කරන අතර එය කෘෂිකාර්මික කටයුතුවල නිරත සෙසු පුද්ගලයන් සඳහාද බලපැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව මෙතෙක් ඔවුන්ගෙන් අයකළ සියයට 24 බද්ද සියයට 14 දක්වා පහළ බස්සවා තිබේ. එසේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් අයකළ සියයට 24 වූ බදු අනුපාතයද සියයට 14 දක්වා පහළ දමා ඇත.
මූල්‍ය ආයතනවල පවත්වාගෙන එන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු ගිණුම්වලින් ලැබෙන පොලියද බදුවලින් නිදහස් කර ඇත. එසේම පිටරට සේවය කරන අය ශ්‍රී ලංකාවට එවන මුදලින් අයකළ බද්දද නවතා තිබේ. එකතු කිරීමේ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සරල කරන අතර වැට් බද්දට යටත්වන ආදායම් සීමාව වූ මෙතෙක් පැවති මිලියන 12 සීමාව මිලියන 24 දක්වා වැඩිකර ඇත.
කුඩා පරිමාණ වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සහන සැලසීමේ අභිලාෂයෙන් තොග සහ සිල්ලර වෙළෙඳාම්වලට අයකළ වැට්බදු සීමාව වූ වර්ෂයකට මිලියන 50, මිලියන 100 දක්වා වැඩිකර තිබේ. ඉරෑ දැව ආනයනය කිරීමේදී මෙතෙක් අයකළ වැට් බද්ද සියයට 5 දක්වා අඩු කෙරේ. එය පැවතියේ සියයට 15ක් වශයෙනි. ආනයනික රෙදිපිළි සඳහා මෙතෙක් පැවති සියයට 15 වැට් බද්ද මුළුමනින්ම ඉවත් කර තිබේ. එසේම දුරකතන සේවා සඳහා පැවති සියයට 25 වූ විදුලි සංදේශ බද්දද සියයට 15ට අඩුකර ඇත.
ගොවීන්ට හා කුඩා වී මෝල් හිමියන්ට පසුගිය වසර 3ක් තුළ වාණිජ බැංකු මගින් ලබාදුන් රුපියල් මිලියන 50ක උපරිමය දක්වා වූ ණය මුදල්වලට පොලිය හා දඩ අය නොකෙරේ. සමෘද්ධිලාභීන්ට සමෘද්ධි බැංකු මගින් දෙන ණය උපරිමය රුපියල් 10,000කින් වැඩිකර තිබේ.
ආණ්ඩුව පවසා ඇත්තේ මෙම සහනවලට අවශ්‍ය මුදල් කැබිනට් අමාත්‍යංශ සංඛ්‍යාව අඩුකිරීමෙන් සහ ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණය කිරීමෙන් ලබාගැනීමට අදහස් කරන බවය. මෙම සියලුම යෝජනා රටේ ජනතාවට සහන සලසන පරමාර්ථයෙන් ඉදිරිපත් කර ඇතිබව පෙනී යයි. මේ පිළිබඳ ගැසට් නිවේදනය නොවැම්බර් 1දාම නිකුත් කර ඇති නමුත් අවශ්‍ය බදු සංශෝධනය කිරීම සඳහා බදු පනත් වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතුය. එහෙත් මෙහිදී ප්‍රශ්නයක් වන්නේ දැනට පවතින්නේ භාරකාර රජයක් නිසා එහි අමාත්‍ය මණ්ඩලයට මෙවැනි ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට බලයක් නොමැති වීමය.
මෙම දිනවල පවතින දේශපාලන බල අරගලය හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලනඥයන්ගේ පූර්ණ අවධානය යොමුව ඇත්තේ තම බලය රැකගැනීමටය. ඒ නිසා මෙම සහන පැකේජයට නීතිමය තත්ත්වයක් දීමට කටයුතු කිරීම ප්‍රමාද වෙමින් පවතී. අද සියලුම පාරිභෝගික භාණ්ඩවල මිල සීඝ්‍ර ලෙස ඉහළ නැගීම නිසා ජනතාව ඉතාම හිරිහැරයට පත්ව තිබේ. ඔවුන්ගේ ආදායම වැඩිනොවී තිබියදී භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නිසා ජීවන තත්ත්වය පහළ වැටී තිබේ. ඒ නිසා මෙම මිල අඩුකිරීම් වහාම බලාත්මක කළ යුතුය.
මෙහි නීතිමය තත්ත්වය පැහැදිලි කරන Rights Now සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ ප්‍රබෝධ රත්නායක පවසන්නේ ආනයන බදු අඩුකිරීම, වැට්බදු පහළ දැමීම, බැංකු පොලී බදුවලින් නිදහස් කිරීම, ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන මුදල් බදුවලින් නිදහස් කිරීම, ජාතිය ගොඩනැගීමේ බදු ප්‍රතිශතය සහ එකතු කිරීමේ අගය මත අයකරන බදු අඩුකිරීම, වැට්බදු සීමාව මිලියන 12 සිට 24 දක්වා පහළ දැමීම, කෘෂිකාර්මික කටයුතුවලට බදු සීමා පුළුල් කිරීම, මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් අයකළ බද්ද සියයට 14 දක්වා පහළ දැමීම ආදී බදු සංශෝධන බලාත්මක කිරීම සඳහා අදාළ බදු පනත් සංශෝධනය කිරීම අවශ්‍ය බවයි. එසේ නීතිමය වශයෙන් බලාත්මක නොකර මෙම සහන හිමිකර දිය නොහැකි බව ඔහුගේ අදහසය.
ජනතාවට සහන සැලසීම අගය කළ යුතුයි. එහෙත් අද රටේ පවතින ආර්ථික හා දේශපාලන වාතාවරණය පරිදි මේ සියල්ල එකවර සිදුකළ හැකිද යන්න ගැටලුවක්. මෙම බදු අඩුකිරීමෙන් ඇතිවන අපේක්ෂිත බදු ආදායම පහළ යාම වළක්වාගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ යෝජනා ක්‍රියාත්මක නොකර හිටි අඩියේ සහන සැලසීම ප්‍රායෝගික ලෙස කළ හැකි නොවෙයි. යම් ලෙසකින් ආවේගකාරී ලෙස මෙම තීරණ ක්‍රියාත්මක කළහොත් රටේ ආර්ථිකය තවත් ව්‍යාකූල වේවි.
ආණ්ඩුවේ අද පවතින අස්ථාවර තත්ත්වය අනුව මෙවැනි විසඳුම් ගත හැකිද යන්න ප්‍රශ්නයක්. දැනට පවතින භාරකාර රජය යටතේ ප්‍රතිපත්තිමය තීරණ ගත හැකි නොවෙයි. මේවා අයවැයක් හරහා කළ යුතු බදු සංශෝධනය වෙයි. එහෙම නම් අලුතින් රජයක් බලයට පත්වන තුරැ හෝ මෙම රජය ස්ථාවර වනතුරු අදාළ ඉදිරි පියවර ගැනීම ප්‍රමාද විය හැකිය. කෙසේ වුවත් මේ සහන ප්‍රකාශයට පත් කළේ අලුත් අගමැති දිවුරැම් දී වහාම වීම නිසා ආණ්ඩුවට කිසිදු සැලසුමක් තිබෙනවාදැයි කිව නොහැකිය.
මේ වනවිට ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ අලෙවිය සියයට 30-40 අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති නිසා සමස්ත වෙළෙඳ ප්‍රජාව මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය කියයි. එහි සභාපති බන්දුල ජයමාන්න පවසන්නේ තොග වෙළෙඳුන් 25000කට ආසන්න ප්‍රමාණයක් සහ සිල්ලර වෙළෙඳුන් 1,25,000කට අධික සංඛ්‍යාවකගේ ආදායම විශාල ලෙස අඩුව තිබෙන බවයි. ආදායම අඩුවීම නිසා ස්වකීය සේවකයන්ට වැටුප් ගෙවීමටද දුෂ්කරව ඇත. සමහර වෙළෙඳ ආයතන මුළුමනින්ම වසා දමා තිබෙන බවද ඔහු පෙන්වා දෙයි. භාණ්ඩ මිල ඉහළ යාම සහ පාරිභෝගිකයන්ට මිලදී ගැනීම සඳහා අත මුදල් නොමැතිවීම මෙයට හේතුවී තිබේ.
මේ තත්ත්වය සමනය කිරීමට නම් භාණ්ඩ මත පවරා ඇති අධික බදුබර අඩුකළ යුතුයි. සාමාන්‍යයෙන් අද අයකරන බදු ප්‍රමාණය සියයට 38කට අධිකයි. බදුබර අඩුකිරීමට අභිනව අගමැතිවරයා ගත් පියවර ක්‍රියාවට නැගිය යුතුයි. එසේ නැතිව ජනතාව සතුටු කිරීමට මිල අඩුකරන බව නිවේදනය කිරීමෙන් පමණක් ප්‍රතිඵලයක් නොලැබෙන බව සභාපතිවරයා කියයි.
ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය අඩුව ඇති නිසා ආනයන දෙකෙන් පංගුවට අඩුකරන්න සිදුව ඇත. රටේ ආර්ථිකය හැකිලීමක් මෙයින් සිදුව ඇති අතර වෙළෙඳපොළ නගාසිටුවීම ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දෙයි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ,
අලුත් අගමැතිතුමා වැඩ බාරගත් වහාම ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල බදු පහළ දමා ඒවායේ මිල අඩුකිරීමට පියවර ගැනීම අගය කළ යුතුය. එම අඩුකළ භාණ්ඩවලින් ඉන්ධන මිල පමණයි, යම් ප්‍රමාණයකට අඩු වුණේ. මොකද, බොහෝ භාණ්ඩයකම හා සේවාවකම මිල තීරණය කිරීමේදී ඉන්ධන මිල බලපානවා. ඒ නිසා මෙයින් භාණ්ඩ මිල යම් පමණකින් අඩුවේ යැයි අපේක්ෂා කරනවා. එහෙත් මේ වනතුරුත් එම මිල අඩුකිරීම් ජනතාවට ලැබුණේ නැහැ. බස් ගාස්තු පවා අඩුවුණේ සියයට 2ක් වැනි ඉතාම සුළු ප්‍රමාණයකින්. ත්‍රිවිල් ගාස්තුද අඩුවුණේ නැහැ. ඒ නිසා මෙම මිල අඩුකිරීම් ජනතාවට කාන්දු නොවෙනවා නම් ඒවායින් අපේක්ෂා කළ වාසි ලැබෙන්නේ නැහැ. අතරමැදියන් තමා පොහොසත් වන්නේ.
එසේම භාණ්ඩ මිල අඩුකළා යැයි නිවේදනය කළාට පසුව දැනගන්න ලැබුණේ ජනවාරි මස සිට ඒවා ක්‍රියාත්මක කරන බවයි. අනෙක් අතට මෙම බදු අඩුකිරීම් පිළිබඳ නෛතික කරුණු සිදුවිය යුතුයි. අදාළ බදු පනත් සංශෝධනය කරලයි මිල අඩුකළ හැක්කේ. එහෙත් අද පවතින දේශපාලන වාතාවරණය අනුව මෙම නීතිමය තත්ත්වය කවදා ඇතිකළ හැකිදැයි කියන්න බැහැ. ඒ හින්දා අපට නම් පෙනෙන්නේ මෙය ජනතාව රැවටීමට කළ නිවේදනයක් පමණක් බවයි. අද තිබෙන භාණ්ඩ මිලට ජනතාවට කොහොමත් මුහුණදෙන්න බැහැ. එළවළු ආදිය ගිනි ගණන්. එසේම රටේ දේශීය නිෂ්පාදනයද කඩාගෙන වැටිලා. ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් නැහැ. ඔවුන්ගේ අපේක්ෂා භංගවෙලා. මේ වනවිට සෑම අංශයක්ම අකර්මණ්‍ය වෙලා. මෙම තත්ත්වය දිගටම තිබුණොත් නුදුරැ අනාගතයේදී විශාල විපතකට වැටෙයි.
ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ රටේ දේශපාලන තත්ත්වය ගැනම බලා නොසිට ජනතාවට අවශ්‍ය සහන දීම භාරකාර රජයේ යුතුකම බවයි. අඩුකළ බඩු මිල ක්‍රියාත්මක කිරීමට ජනවාරි වනතුරැ කල් නොදමා අඩු වශයෙන් කැබිනට් තීරණයක් හෝ ලබාගෙන කටයුතු කළ යුතුයි.
යසවර්ධන රුද්රිගු