
මෙන්න නිවසේ සිටිනා ඔබට මහඟු අවස්ථාවක්.... ඔබත් රුකියාවක් නොමැති කමින් ලතැවෙන අයෙක්ද? එහෙනම් මෙන්න ඔබටත් මහඟු අවස්ථාවක්. ඔබට නිවසේ සිට කරගෙන යෑමට ස්වයං රැකියාවක් ලබාදීමට අපි සූදානම්. බිම්මල් වගාව, ලියුම් කවර සෑදීම ඇතුළු තවත් රැකියා රාශියක් අපෙන් ඔබට. විස්තර සඳහා විමසන්න 071 ••••••• (කාන්තාවන්ට විශේෂයි)
සතිපතා පළවන පුවත්පතක මෙම දැන්වීම දුටු ලියුම්කරු එම අංකයට ඇමතුමක් ලබා ගත්තේ මෙහි විස්තරයක් දැනගැනීමේ අටියෙනි.
ලියුම්කරු: මේ අර පත්තරේ ඇඩ් එක දැකලා කථා කළේ?
දුරකථන ක්‍රියාකරු: මෙහෙමයි අපේ ආයතනයෙන් ස්වයං රුකියා අත්වැලක් විදියට තමයි මේක කරන්නේ. අපි දවස් දෙකක පුහුණුවක් ලබාදෙනවා. ඒ වගේම තමයි ඔබ තෝරාගත් ස්වයං රැකියාවට අදාළ අමුද්‍රව්‍ය ලබාදීමත් අපි සිදුකරනවා.
තව තියෙනවද වැඩි විස්තර?
මේක නිවසේ සිටින කාන්තාවන්ට තමයි ගොඩක් වැදගත් වෙන්නේ අපි රුපියල් පන්දහසක අයකිරීමක් කරනවා. මෙහිදී මූලික ලෙස පුහුණුවට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීමටත් දෙදින නේවාසික පුහුණුවටත් තමයි මෙම මුදල ලබා ගන්නේ.
සල්ලි දීලද අපි රෙජිස්ටර් වෙන්න ඕන.
ඔව්. මූලික ගෙවීම වශයෙන් අඩුම රුපියල් 3000ක් වත් ලබාදිය යුතුයි අපි දෙන එකවුන්ට් නම්බර් එකට බැරකරලා සල්ලි දාපු කොපි එකක් මේ නම්බර් එකටම වට්ස්ඇප් කරන්න.
ඇයි කාන්තාවන්ට විතරක් විශේෂ?
වැඩි විස්තර දැන ගන්න ඕනනම් අපි අපේ හෙඩ්ගේ නම්බර් එකක් දෙන්නම්. එයාගෙන් අහලා විස්තර දැන ගන්න පුළුවන්.
පුවත්පතෙහි සඳහන්ව තිබූ එම දුරකථන අංකයට ඇමතුමක් ලබාගත් ලියුම්කරු සිය සංවාදය එතැනින් නිමාකළ අතර පෙර කී දුරකථන ක්‍රියාකරැගෙන් ලබාගත් දුරකථන අංකයට ලියුම්කරු ඇමතුමක් ලබාගත්තේ මේ පිළිබඳ තවත් විස්තර දැනගැනීමටය.
ලියුම්කරු එම ආයතයෙන් ලබාදුන් ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදීමෙන් පසුව එයට පිළිතුරු ලබාදුන් පුද්ගලයා දිනයක් සහ වේලාවක් පවසා පුස්තකාල ප්‍රලේඛන ආයතනය වෙත පැමිණෙන ලෙස ලියුම්කරුට දැනුම් දුන්නේය.
ඔහු කී දිනට ලියුම්කරු පුස්තකාල හා ප්‍රලේඛන ආයතනයට ගියේ මෙම දැන්වීමෙහි තවත් තොරතුරු සොයාය. පැවසූ වේලාවට මිනිත්තු 15ක් පමණ ප්‍රමාද වී පැමිණි ඔහුගේ මුහුණෙන් දිස්වූයේ ඉතා කලබලකාරී ස්වභාවයකි.
මම තමයි අර පත්තරේ ඇඩ්එක දැකලා කථාකළේ ලියුම්කරු ඔහුට පැවසීය.
අහ්... මල්ලි මොනවද දැනගන්න ඕන.
මට විස්තරයක් දැනගන්න පුළුවන්ද?
ඕන විස්තර ටික මල්ලි ඒ නම්බර් එකට කථාකළා නම් දැනගන්න පුළුවන්.
නැහැ ඇඩ් එකේ දාලා තිබ්බනේ කාන්තාවන්ට විශේෂයි කියලා, ඒකයි විස්තර ටිකක් දැනගන්න ඕන කිව්වේ.
ඔව් ගැහැනු අයට තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. මොකද දවල් කාලයේ වැඩිපුරම රුඳෙන්නේ ගැහැනු අයනේ ගෙවල්වල. ඒ නිසා...
ඒ කියන්නේ පිරිමි අයට විතරක් මේක කරන්න බැරිද?
එයාලටත් පුළුවන්. හැබැයි මේක ගැහැනු අයට තමයි සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්නේ... මේ විස්තර තමයි කියන්න තියෙන්නේ වෙන විස්තරයක් නැහැ කියන්න....
අනතුරුව ලියුම්කරු තමන් කවුදැයි හඳුන්වාදීමෙන් පසු ඔහු මඳක් කලබල වූ අතර ඔහුගේ නම ගම හෙළි නොකිරීමේ පොරොන්දුව මත ඔහු ලියුම්කරු සමඟ මෙම විස්තරය පැවසීමට එකඟ විය.
කී දෙනෙක් විතර කථා කරනවද දවසකට?
ගොඩක් දෙනෙක් කථා කරනවා. වැඩිය කථා කරන්නේ කාන්තාවෝ තමයි.
මේ කියන විදියට පුහුණුවක් ලබාදෙනවද?
එහෙම පුහුණුවක් ලබාදෙන්නේ නැහැ. මේක මේ ඇඩ් එකට දාපු එකක් විතරයි.
පිරිමි අය කථා කරන්නේ නැද්ද?
වැඩිය කථා කරන්නේ කාන්තාවන් තමයි. පිරිමි අය අහම්බෙන් තමයි කථා කරන්නේ මල්ලි කථා කළාමත් මම හිතුවේ කාට හරි ගැහැනු අයෙක්ට විස්තර ගන්න කථා කරනවා කියලා. ඒකයි මම මෙතනට ආවෙත් නැත්තම් එන්නේ නැහැ. අනික ගැහැනු අය වගේ නෙවෙයි පිරිමි අය හැම මඟුලම හොයනවනේ. ගැහැනු අයට එහෙම නැහැ.
මේ ඔයාලා කියන විදියට එකවුන්ට් එකට සල්ලි දාන අය ඉන්නවද ගොඩක්?
කොච්චර සල්ලි දාන අය ඉන්නවද? හැබැයි ඉතින් ඊට පස්සේ අපි පොඩි උපදෙස් ටිකක් දෙනවා. අමුද්‍රව්‍ය එයාලටම ගන්න කියනවා. අනික ගොඩක් දුර පළාත්වල ගැහැනු අය තමයි මේකට කථා කරන්නේ. එයාලා කවදාවත් අපි හොයාගෙන එන්නේ නැහැනේ. ඒ නිසා ඉතිං බයවෙන්න දෙයකුත් නැහැ.
ඒ වුණාට මේක හැමදාම කරන්න බැහැ නේද? කවද හරි දවසක එළි වෙනවා නේද?
පිස්සුද මල්ලි ඔයා හිතුවද අපි හැමදාම ඇඩ් දානවා කියලා. එහෙම නැහැ. අපි හොඳට බලලා තමයි ඇඩ් එක දාන්නේ. අනික ඉතිං මල්ලි අද බලපු පත්තරේ නෙවෙයි අපි හෙට ඇඩ් දාන්නේ වෙන එකක.
මේක අපේ බිස්නස් එකනේ. අනික මේක මොළෙන් ගහන ගේමක්. හැමෝටම මේවා කරන්න බැහැනේ. ඔය ඇමතියෝ මන්ත්‍රීවරැ ගහන කොමිස් ගැහිල්ලේ හැටියට මේවා සුළු දේවල්. මේක දැම්මම අපට බඩේ පාර වදියිද දන්නේ නැහැ. හැබැයි ඉතිං ඒක එහෙම වුණොත් ආයේ වෙන මොනවා හරි ගේම් එකක් ප්ලේ කරනවා. මීට වඩා වෙන මොනවත් විස්තරයක් කියන්න නැහැ. මතකයිනේ විස්තරේ ලිව්වට කමක් නැහැ හැබැයි නම ගම දාන්න එපා හරිද?
එලෙස පැවසූ ඔහු ලියුම්කරු තවත් කුමක් හෝ අසන්නට ප්‍රථම එම ස්ථානයෙන් පිටව ගියේය.
කොළඹ කාක්කන් යැයි අපි පෙර සිතා සිටියේ කොළඹ නගරයේ ගමෙන් කොළඹට එන ජනතාව රවට්ටා මුදල් ගසා කන උන්ටය.
නමුත් අද තාක්ෂණයේ දියුණුවත් සමඟම කොළඹ කාක්කන් රට පුරා බිහි වී සිටිති. ඔවුනගේ ඉලක්කය වන්නේ ඈත ගම්වල සිටිනා ජනතාවය. විශේෂයෙන්ම කාන්තාවන්ය. එබැවින් මෙවැනි දැන්වීමට කථාකර ගිණුමකට සල්ලි යෙදවීමට පෙර දෙවරක් සිතා බැලීම ඔබගේ වගකීමකි.
හසිත් අංජන