
පසුගිය සතියේ නිමාකළ තැනින් කතාව ඇරඹිය යුතුව ඇත. අද අප රෝහිත හමුවන රිසියෙන් ඔහුගේ නිවසට ගොඩවූයේ උදෑසනය. සාගර පත්ලේ ජීවිතයේ අමතක නොවන මතකයන් මෙන්ම ඔහු පසුකර ආ ජීවන මගේ අපූරු සිදුවීම් පෙළක් අද රෝයි අප හමුවේ තබයි. පළමුව මුසන්ඩෑම් නම් කිමිදුම් පාරාදීසයේ මතකයන් අතරින් අපි ඇවිද යමු. පර්සියානු ගල්ෆ් කලාපයේ හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන මුහුදු සීමාවන්ට ආසන්නයේ මුසන්ඩෑම් පිහිටා ඇත. රෝහිත මෙම ප්‍රදේශය පිළිබඳව මතකය අවදිකරයි.
“රෑට කිසි එළියක් නෑ. බෝට්ටුවේ උඩ ඩෙක් එකේ ඉඳන් බලනකොට කඳුයාය විතරයි පේන්නේ. පුදුම ලස්සනයි. ඒ වගේම තමයි උදේට මාරම ලස්සනයි. මං දැකපු ලෝකේ තියෙන ලස්සන ප්ලේස් එකක් ඒ. ඩයිවින් වලින් ගත්තමත් ඒ වගේම ලස්සනයි. කොරල් ලොකූ ඒවා තියෙන්නේ. මුහුදේ වතුර මට්ටම ටික ටික පල්ලෙහාට බැහැපු ලේයර්ස් ඒ කඳුවලින් පේනවා. මං අහලා තියෙන විදිහට මේ මුළු කලාපයම ඩෙසට් එකක්. ඒකේ එන්ඩ් එක තමා මේ කඳු ටික. අවුරුදු මිලියන ගාණකට කලින් අර්ත් ක්වේක් එකකින් මතුවුණා කියලා තමා කියන්නේ.”
දුටුවන් මනබඳින මේ සංචාරක පාරාදීසයේ සොඳුරු මෙන්ම බියකරු මතකයන්ද රෝහිතට ඇත. ආනතිය මුහුදු පත්ලටම දිවයන මුසන්ඩෑම්හි කන්දක් අසල දිනක් රෝහිත කිමිදුම් චාරිකාව නිරත විය. එය නිමාකළ රෝහිත බෝට්ටුවේ නැංගුරම ගොඩ ගැනීමට මුහුදු පත්ලට කිමිදිණි.

“මාර ලස්සනයි ලෝන් කොරල්ස් තිබ්බේ. අපි දන්නේ නෑ ඕමන්කාරයෝ ඇවිල්ලා මේවල දැලුත් දානවලු. අපි හිතුවේ නෑ දැල් තියෙයි කියලා. විනාඩි හතළිස් පහක විතර ඩයිව් එකක් දාලා ගොඩ ආවම ඇන්කරේ ගන්න බැරිවුණා තදවෙලා තිබ්බා. මං ගියා ඇන්කරේ බේරන්න. ගිහිල්ලා මං එකපාරට ඇන්කරේ උස්සලා එන්න හදනකොට එන්න බෑ හිරවෙලා වගේ. බලනකොට දැලක්. ටෝච් එක අතේ තිබ්බා එහෙට මෙහෙට දෙපැත්තටම ගැහුවත් පේන්නේ නෑ. වෙලාවට ටැංකියේ හුළන් තිබ්බා. මං ජැකට් එක ගලවලා හිමිහිට බේරෙන්න හදනකොට තව ඉන්ස්ට්‍රස්ක්ටර් කෙනෙක් ෆලෝ කරගෙන ඇවිල්ලා උදව් කරලා අපි හිමිහිට උඩට ආවා.”
කිමිදීම යනු වෙනම විෂයයකි. රෝහිත අද දෙස් විදෙස් කිමිදුම්කරුවන්ට එය උගන්වන ඉන්ට්‍රස්ක්ටර්වරයෙකි. මෙහිදී නිවැරදි තාක්ෂණය භාවිතය ඉතා වැදගත් බව ඔහු කියයි. කිමිදුම්කරුවකුට මුහුණදීමට සිදුවිය හැකි අවාසනාවන්ත සිදුවීම ශරීරයේ නයිට්‍රජන් බුබුළු ඇතිවී ශරීරයෙන් කොටසක් අප්‍රාණික වීමේ තත්ත්වයයි. නමුත් නිවැරදි උපදෙස් පිට ලෝකයේ කිමිදුම් කටයුතු සිදුවන නිසා එවන් සිදුවීම් ඉතා විරලය.
එකල ඕමානයේ රෝහිත වැඩකරමින් සිටි කිමිදුම් මධ්‍යස්ථානයේ හිමිකරු නවීන පන්නයේ යාත්‍රාවක් මිල දී ගත්තේය. මෙම යාත්‍රාව අඩි දාහතක පමණ දිගින් යුතු නවීන පන්නයේ යත්‍රාවකි. මුසන්ඩෑම් මුහුදු තීරයේ තවත් කිමිදුම් චාරිකාවක් සඳහා යාත්‍රාව දියත් කෙරිණි. යාත්‍රාව පැදවීමේ වගකීම පැවරුණේ රෝහිතටය. මයික් නම් ඉන්ස්ට්‍රක්ටර්වරයෙක් බෝට්ටුවේ සිටි අතර පෙර සතියේ දී අප ඔබට කියූ ලෙසින් මෙම වකවානුවේ රෝහිත ඩයිවින් මාස්ටර්වරයෙක් ලෙස සේවය කර තිබේ. මයිකල් හොල්මන් සහ පබියානෝත එදින යාත්‍රාවේ වූහ. සියල්ලෝම දාහත් දෙනෙක් පමණ එදින බෝට්ටුවේ සිටියහ. ඔවුන් අබුඩාබියේ ජැටියෙන් ගමන අරඹා ටික දුරක් ගමන්කර තිබුණි.

“මම ඩ්‍රයිව් කරන් යනකොට බෝට්ටුව ටිකක් අන්බැලනස් වගේ. මං අනික් පැත්තට ඔළුව දාලා මයික් උඹ මේ පැත්තට වරෙන් කියලා ඉස්සරහා බලද්දී බෝට්ටු මුහුදේ දාල තියන ලොකු යකඩ බෝයාවක වදින්නයි යන්නේ. ඔය කොළඹත් තියෙන්නේ වරාය කිට්ටු කොළපාට රතුපාට බෝයාවල් අන්න ඒ වගේ එකක්. වදින්න යනවා එක්කම මං බෝට්ටු අනික් පැත්තට නැව්වා. ඒත් දඩ දඩ ගාලා බොට්ටුවේ පැත්තේ ලයිට් ටික කඩාගෙන ගියා. බෝට්ටුව කොහොම හරි කෙළින් කරගත්තා. අලුත්ම බෝට්ටුව. කොහොම හරි අපි ටුවර් එක්ක ගිහිල්ලා ආවා. අපේ හිටපු මැනේජර්ත් හිටියා එදා බෝට්ටුවේ. කොහොම හරි කම්ප්ලේන් එකක් දාල නෑ.”
මේ බෝට්ටු අනතුර රෝහිත ජීවිතයේ මුහුණ දුන් තවත් අමතක නොවන සිදුවීමකි. එදා එම අනතුරින් පසුව ආයතනයේ හිමිකරු රෝහිතගෙන් සියල්ල විමසා ඇති අතර ජීවිත බේරාගැනීමට රෝහිත ක්‍රියාකළ ආකාරය නිවැරදි බවත් ඔහු කියා ඇත. මෙම සිදුවීම වූ වසරේ ඕමානයේදී උපන් දිනය සැමරූ රෝහිතට අපූරු සමරු සිහිවටනයක් ලැබී ඇත. ඒ එදා බෝට්ටුවේ සිටි මයිකල්ගෙන් සහ පබියානෝගෙනි. ඔවුන් දෙදෙනා නැවත අනතුර සිදුවූ බෝයාව සොයා ගොස් ජායාරූප ගෙන එයින් සිහිවටනයක් සාදා ඊට අනතුර සිදුවූ දිනය බේරාගත් ජීවිත සංඛාවද ඇතුළත් කර රෝහිතට තිළිණ කර තිබේ.
මේ කතාවේ අපට හමුවූ මයිකල් හොල්මන් හා පබියානෝ පිළිබඳව අප රෝහිතගෙන් විමසුවෙමු. පෙර සතියේ අපට හමු වූ දකුණු අප්‍රිකානු ගුවන් නියමුවා මයිකල් හොල්මන්ය. පබියානෝත ප්‍රංශ ජාතිකයකි. ඔහු කැබින් මැනේජ්ර්වරයෙකි. මේ දෙදෙනා අදද රෝහිතගේ කුළුපග මිතුරන්ය. මයිකල් ලංකාවට පියාසර කළ විට ඉඳහිට ගුවන්තොටුපළේ සිට බසයක නැගී රෝහිතගේ නිවසට විත් නවාතැන් ගනී. මේ මිතුරන් හා සැබැඳි කතා තවත් බොහෝ වෙයි.
මුසන්ඩෑම් හී තවත් කතා රෝහිත අපට කියයි. ඒ සියල්ල මෙහි ලියා තබන්නට ඉඩ නැත. ඉන්ස්ට්‍රක්ටර්වරයෙක් වීමේ පාඨමාලා හැදෑරීම රෝහිත බාලී දූපත් බලා ගිය පුවත අප පෙර කීවෙමු. බාලි දූපත් ද කිමිදුම් පාරාදීසයකි.
“බාලිවල ගිනි කඳු පුපුරලා වොල්කැනෝස් කියන කළුපාට ගල් ඒ හැමතැනම තියෙනවා. ඒ දූපතේත් ඉස්සර ගිනි කන්දක් පුපුරලා එහෙම තිබ්බා. ඩයිව් එකට එහෙම තැනකින් බැහැලා යන්න තිබ්බේ. ටිකක් දුර පීනලා මීටර් දහයක් විතර යනකොට ගිලුණු නැවක් තිබ්බා තුරන්බන් කියලා. ඒකේ සී හෝස්ලා එහෙම හිටියා ලස්සයි.”
රෝයි බාලිවල දුටු සුන්දරම දසුනක් තුරන්බන් නැවේ තිබූ බව ඔහු කියයි. මුහුදේ ගිලුණු වස්තු සොයා කිමිදීම රුක් ඩයිවින් නම් වේ. රෝහිතට අනුව එය තායිලන්තය ඊජිප්තු වැනි රටවල සංචාරක ආකර්ෂණය දිනූවකි. ත්‍රිකුණාමලයේ හා හික්කඩුව ආසන්නයේ ගිලුණු නැව්වල කිමිදී ලද අත්දැකීම් රෝහිත සතුය. නමුත් ලංකාවේ ඊට රාජ්‍ය අනුග්‍රහයක් හෝ සැලකිල්ලක් නැත. රුක් ඩයිවින් පිළිබඳ කතාව අතරේ අප ඔහුගෙන් විශේෂ යමක් විමසුවෙමි. ගිලුණු නගර එහෙම දැකලා නැද්ද? මේ ත්‍රිකුණාමලයේ තියෙනවා. ඒක සමහරක් අය ඕල් සිටි කියලා කියන්නේ. මං මුලින් පාර බැස්සම දැක්කේ නිකන් කඩ පේළියක ෆවුන්ඩේෂන් එකක් වගේ.”
මෙම ස්ථානයේ තව විවිධ මානව ඉදිකිරීම හා සමාන දෑ කිමිදුම්කරුවන් දැක ඇති බව කියවේ. ඒ පිළිබඳව කතාව අපි දීර්ඝව ඔබ හමුවේ නොතබමු. යම් දිනෙක මේ අපූරැ කතාව සොයා යා යුතු යැයි හැඟේ. රෝහිතද අපද රාජකාරි කටයුතු වෙනුවෙන් පිටත්ව යායුතුය. නොදුරේදීම අයිස් ඩියිවින් අත්දැකීමක් ලැබීම සඳහා රෝහිත යුරෝපා බලා පිටත්වීමට නියමිතව ඇත. දිනෙක අප ඒ පිළිබඳව තතු විත්ති ද ඔබට කීමේ පොරොන්දු දී රෝහිතට සමුදෙමු.
►චමිඳු නිසල් ද සිල්වා