
පසුගිය සති කිහිපය ඇතුළත ලංකාවට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ පවතින දේශගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය යළිත් හිස ඔසවමින් පවතී.
“මේ වසරේ මේ වනවිට හතළිස් එක්දහසක් ඩෙංගු රෝගින් වාර්තා වී තිබෙනවා. ඒ ඩෙංගු රෝගින් අතරින් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර වැනි දිස්ත්‍රික්කවලින්. ඊට අමතරව පුත්තලම, මඩකලපුව, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කවලින්ද ඩෙංගු රෝගීන් යම් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.”
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය දේශයට පැවසීය.
ලංකාවේ පමණක් නොව මේ වනවිට ආසියාවේ රටවල් කිහිපයක්ම මෙම ව්‍යසනයට මුහුණ දී ඇත. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ජූනි සහ ජූලිවල කඩින් කඩ ඇදහැලෙන නිරිත දිග මෝසම් වැසි තත්ත්වයයි. ඒ සමඟ ඩෙංගු රෝගය ඇතිවීමේ අවදානම උදාවෙයි.
ඩෙංගු රෝගය බොහෝවිට රෝග ලක්ෂණ එකවර පෙන්නුම් නොකරයි. විශේෂයෙන් මේ දිනවල ඇතිවන උණ රෝගය පිළිබඳව බොහෝ දෙනකු එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. ඇතැමුන් මෙය සාමාන්‍ය වෛරස් උණක් යැයි නිගමනය කොට නිසි ප්‍රතිකාර නොගනී.
“වර්ෂාව අඩුවීමත් සමඟ මේ දිනවල ඩෙංගු රෝගය පිළිබඳව ඇතැමුන් සැලකිල්ලක් දැක්වුවද තවමත් ඇතැමුන්ගේ මතය වන්නේ අඩු සැලකිල්ලකි. මේ නිසා උණ රෝගය ඇතිවුවත් ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නැත. නමුත් හිසරදය, ඇස් යට ඇතිවන අධික වේදනාව, මස්පිඬු සහ සන්ධි වේදනාව, වමනය සහ ඔක්කාරය, උණ වැනි රෝග ලක්ෂණයන් එකක් හෝ කිහිපයක් ඇති වූ වහාම වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න.” යැයි විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය වැඩිදුරටත් පැවසීය.
“මෙම රෝග ලක්ෂණවලට අමතරව සමෙහි රතුපැහැ ලප හට ගැනීම, රුධිර වහනයේ වෙනසක් ඇතිවිටද පැය හතළින් අටක් ඇතුළත රුධිර පරීක්ෂාවක් සිදුකිරීම වඩාත් සුදුසු වේ. මෙම පරීක්ෂාවෙන් ඉදිරි පැය විසිහතර ඇතුළතදී වෙනසක් නොමැති නම්, තවමත් රෝග ලක්ෂණ පවතී නම් නැවතත් රුධිර පරීක්ෂාවක් සිදුකළ යුතු වේ. මේ සෑමවිටම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට වගබලා ගතයුතුය.
ඩෙංගු නැමැති රෝගය අප රටේ වසර පුරාම පවතින රෝගයකි. කුඩා මදුරුවකු වාහකයා ලෙස ක්‍රියා කරමින් මිනිසුන්ට මෙය බෝ කරයි. මෙම මදුරුවා බිත්තර දැමීම සඳහා තෝරාගනු ලබන්නේ පිරිසුදු ජලයයි. වර්ෂාවත් සමඟ පිරිසුදු ජලය රැඳුණු ස්ථානවල වැඩිවීමක් පවතී. මෙම වාහකයාට බිත්තර දැමීම සඳහා සුදුසු වාතාවරණයක් රට තුළම සැකසේ. මේ මදුරුවන් සඳහා වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය නොවන අතර හැන්දක ප්‍රමාණයක ජලය වුවත් ඒ සඳහා සෑහේ.
පොල්කටුවක්, ටින් එකක්, ටයර් එකක්, යෝගට් කෝප්පයක් වැනි ජලය රැඳෙන දෑ මත ඉතා ඉක්මනින් මෙම මදුරුවා බිත්තර දමනවා. ගෙවත්තේ පමණක් නොවේ ගේ ඇතුළතත් වතුර රැඳෙන තැන්වල බිත්තර දමන්න පුළුවන්. වැලි, ගඩොල් වැනි දෑ වසා දැමූ ඉටිකොළ කැබැල්ලක වුවද මෙම මදුරුවා බිත්තර දමනවා. මෙවැනි ඕනෑම තැනක මේ වැහිවතුර එකතු වී දින හතක් ඇතුළත දී ඒ මදුරුවා බිත්තර දමා මදුරුවන් වැඩිවීමක් වෙන්නට පුළුවන්.” යැයිද විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය.
බොහෝ දෙනා නිවස අලංකාර කිරීම සඳහාත්, ගෙවත්ත අලංකාර කිරීම සඳහාත් මාළු ටැංකි, ජල පොකුණු ආදිය සකස් කරයි. මෙවැනි ජල පොකුණු, මාළු ටැංකි ආදිය ඇතිවිට ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. ඇතැම් මාළුද මදුරු කීටයන් ආහාරයට නොගනී. මේ නිසා එවැනි මාළුන් ඇති ටැංකිවලද ඔබ නොදැන සිටියාට මදුරු කීටයන් බෝවිය හැක. මේ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වී මදුරු කීටයන් ආහාරයට ගන්නා මාළුන් මෙවැනි මාළු ටැංකි හා ජල පොකුණුවලට දැමීමට සැමවිටම වගබලා ගත යුතුය.
මීට අමතරව කොළඹ මේ කාලය වනවිට ඉතා වැඩි ඉදිකිරීම් ක්ෂේත්‍ර ගණනාවක් තිබෙන නගරයකි. ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන ආකාරයට මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ස්ථාන තුළද ඩෙංගු මදුරුවාට රැඳී සිටීමට, බෝවීමට ඇති ඉඩකඩ වැඩිය. නිවසකට වඩා මෙවැනි ඉදිකිරීම් ක්ෂේත්‍ර ආශ්‍රිතව ඇති තැන් වැඩිය. මෙවැනි ඉදිකිරීම්වල වැඩි වශයෙන් ජලය එක්රැස් වන තැන් පවතී. එමෙන්ම එවැනි තැන්වල කොන්ක්‍රීට් සවිමත් වීම සඳහා ජලය යොදාගනී. නමුත් එම නිලධාරීන් සහ කම්කරුවන්ගේ ඇත්තේ අඩු සැලකිල්ලකි. මේ නිසා මෙවැනි ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ස්ථානවලදී සොයාගත් ඩෙංගු රෝගින් සංඛ්‍යාවක්ද වාර්තා වී ඇත.
ඩෙංගු රෝගය වැළඳුණු විට අවශ්‍ය වන්නේ ඇඳ විවේකයයි. ඩෙංගු රෝගීන් සැවොම රෝහල් ගත කිරීමක් අවශ්‍ය නොවූවද එවැනි රෝගීන් පිළිබඳව දැඩි අවධානයක් සහ වෛද්‍ය උපදෙස් අනුව රුධිර පරීක්ෂාවක් සිදුකළ යුතුවේ. නමුත් ඩෙංගු රෝගය අසාධ්‍ය තත්ත්වයෙන් පවතී නම් වෛද්‍යවරුන් විසින් නේවාසික ප්‍රතිකාර සඳහා එවැනි රෝගීන් නිර්දේශ කරනු ලබයි. ඩෙංගු රෝගය සඳහා පැරසිටමෝල් ඖෂධ නිර්දේශ නොකරන අතර එවැනි රෝගීන් ගොඩ වෙදකම් නොකොට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට නිතරම සිහි තබා ගත යුතුය.
“ඩෙංගු රෝගය ගැන කතා කරද්දී අද වෙද්දී පාසල්වල තත්ත්වය එතරම් සතුටුදායක වන්නේ නැහැ. පාසලක් ගත්තොත් ගෙදර වගේ නෙවේ. විශාල ඉඩ පරාසයක් විහිදී යනවා. එවැනි තැන්වල පිරිසුදු කිරීම සඳහා යම් ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. තැනින් තැන පිරිසුදු කිරීමක් කළාට එයින් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න බැහැ. ඒ සඳහා කලාපවලට බෙදා ඒ වෙනුවෙන් වෙනම පිරිසක් පත් කොට සතියකට වරක්වත් අධීක්ෂණය කළයුතු වෙනවා. මේ ක්‍රමවේදය පාසලකට පමණක් නොව ආයතනවලටත් පොදුයි.” යැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය වැඩිදුරටත් දේශයට පැවසීය.
වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය බෝවීම වැඩිවේ. මේ පිළිබඳව රටේ සෑම සියලු දෙනාගේම අවධානය යොමුකළ යුතුවේ. නිවස පරීක්ෂා කිරීමට නිලධාරීන් එන දිනට පමණක් කඩිමුඩියේ ගෙවත්තට දිවගොස් පොල් කෝම්බ, යෝගට් කෝප්ප, ටයර් ආදිය අනෙක් පසෙකට පෙරළනවා වෙනුවට හිතටම ගෙන මෙය තමන් විසින් සිදුකළ යුතු යුතුකමක් යැයි සලකා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම අප සැමගේ වගකීමකි.
►දිශානි ජයමාලි කරුණාරත්න