2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

Spiderman හැදූ කොමික් ලොවේ සුපිරි තරුව

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 598

ස්පයිඩර් මෑන් අපේ යෞවනයන්ට ළඟම හිතවතෙක් වැනි සමීපතමයෙකි. අයන් මෑන් හා එක්ස් මෑන් ද එලෙස තරුණ පරපුරේ පමණක් නොව වැඩිහිටි පරපුරේ ද හද දිනාගත් ජීවමාන චරිත තරමට ජනප්‍රියය. එමතු නොව ෆැන්ටාස්ටික්, ඉන්ක්‍රෙඩිබල් හල්ක්, ‍තෝර්, ඩෙයාර් ඩෙවිල් ද ලෝකයේ ජීවත්වන කොමික් චරිත වේ. මේ චරිතවල නිර්මාතෘ චිත්‍රකතා රචක ස්ටෑන් ලී පසුගියදා මිය ගියේ වයස අවුරුදු 95 සම්පූර්ණ කරමිනි. එහෙත් තරුණ සිතුවිලිවලින් යුක්තව සිටින විටදීය.

ජැක් තර්ච් සහ ස්ටීව් ඩිට්කෝ වැනි චිත්‍රශිල්පීන් හා එක්ව තම කාටූන් චරිත ලෝකය කළඹන වීරයන් බවට පත්වූයේ ලීගේ සුරුවිරුතාවයට පින් සිදුවන්නටය. ඔහුගේ දක්ෂතාවය කෙතරම්දයත් එකම කාලයක විවිධ කතාන්දර රචනා කරමින් පළකිරීමට හැකියාව ලැබුණි.

මාර්වල් යුනිවර්ස් සමාගම හරහා ඔහුගේ චරිත සජීවී චිත්‍රපට බවට පත්වූ අතර එම චරිත ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත විය. ශ්‍රී ලංකාවේ ද ස්පයිඩර් මෑන්ලා කෙතරම් ජනප්‍රිය වූවාදයත් සිංහල අවුරුදු උත්සවල විකට ඇඳුම් තරගවලට ද ඔවුන් පිවිසීමෙන් පෙනේ. තවත් ගැටව් පිරිසක් ස්පයිඩර් මෑන් රඟපෑමට ගොස් අඬු කඩාගත් බවට ද වාර්තා විය.

ස්ටැන්ලි මාර්ටින් ලිබර් උපන්නේ අමෙරිකාවේ මෑන්හැටන්වලදී 1922 දීය. ඔහුගේ ළමා කාලය කටුක බවින් පිරී තිබුණි. එකල ඔහු හාඩ් බෝයිස් ත්‍රාසජනක කතාවලට මහත් කැමැත්තක් දැක්වූයේය. වර්ෂ 2002 දී ප්‍රකාශිත ඔහුගේ ස්වචරිතාපදානය වූ Excelsior හි ඔහු සඳහන් කරන්නේ පියාගේ රැකියා විරහිතභාවය තම ළමා මනසට විශාල පීඩාවක් ගෙනදුන් බවයි. “ඇත්තටම මිනිසකුට වඩාත් වැදගත් දේ වැඩ කිරීම බව මට අවබෝධ වුණේ ඒ කාලයේදී. කාර්යබහුල බව තමයි ජීවිතයකට අවශ්‍ය.” ඔහු සඳහන් කර සිටියේය.

අවුරුදු 17 දී ලී තම ඥාතියකු වන මාර්ටින් ගුඩ්මන්ට අයිති ප්‍රකාශන සමාගමක රැකියාවකට යන්නේ ජීවත් වීමට කීයක් හෝ උපයා ගැනීමටය. එහිදී ඔහුගේ මනසට පැමිණි වීරචරිත ලී අපූරු ලෝකයකට රැගෙන ගියේ සාර්ථකත්වයේ හිණිමඟක් ළඟාකරවමිනි. වයස අවුරුදු 19 දී ඔහු එම සමාගමේ ප්‍රධාන සංස්කාරක ධුරයට පත්වන්නේ තම නිර්මාණ කුසලතාවේ මහිමය නිසාය.

ඔහු පසුව මාර්වල් චිත්‍රකතා සමාගමට එක්වෙමින් එහි හොඳම රචකයෙක් බවට පත්විය. එමතු නොව එහි ප්‍රධාන සංස්කාරක බවට ද පත්විය. ලී නූතන චිත්‍රකතා කලාවට සොඳුරු හැඩයක් දුන් ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස සැලකේ. සුවිශේෂී කතා සාරාංශ, ප්‍රාණවත් දෙබස්, කුතුහලය, ධෛර්යය සහ වීරත්වය, විද්‍යාත්මක කරුණු මෙන්ම දාර්ශනික තේමා ද ඔහුගේ කතාවලට ඇතුළත් විණි.

“ඇත්තටම කතාවක් ලියන එක මට එච්චර දෙයක් නොවෙයි. ඒක අඳින්න හොඳ චිත්‍රශිල්පී කණ්ඩායමක් සොයාගන්න එකයි ගැටලුව. මට ජීවිතය පවත්වා ගැනීමට සංගීත භාණ්ඩ වයන්න බෑනේ. මම දවසක් ගිටාර් වාදන ශිල්පියෙක්ගෙන් ඇසුවා එක අතකින් ස්වර ගහන ගමන් මොළයෙන් හිතන්නෙ කොහොමද කියලා. “ස්ටෑන් එච්චර හිතන්න එපා ඒ දේවල් ගැන. ඒක තමයි මගේ ජීවිතය. මම ගිටාර් ගහනවා එච්චරයි. මට කියන්න තියෙන්නේත් ඒකම තමයි. මට හිතෙන දේ ලියාගෙන යනවා. මට ලියන්න අවශ්‍ය කාලය පමණයි.” ස්ටෑන් ලී කලකට පෙර ගාඩියන් පුවත්පතට පවසා තිබුණි.

1961 දී ස්ටැන් ලී මාර්වල් වෙනුවෙන් ලෙස්ටාර්ටික් ‍තෝර් නිර්මාණය කළේය. ඔහු එය නිර්මාණය කළේ ඒකාකාරී චිත්‍රකතා නිර්මාණය ගැන කලකිරී ඉන් සමුගැනීමට තීරණය කර සිටියදීය. “මගේ බිරිය කිව්වා ඇයි ඔයා චිත්‍ර කතාවලින් ඉවත් වෙන්නේ. ඔයා කතා ශෛලියෙන් ඉවත් වෙන්න. වෙනස් ආකාරයක කතාවක් ගොතන්න කියලා.” ඔහු පවසා ඇත.

“Amazing Spider Man” එහි තවත් ප්‍රතිඵලයකි. ඒ සමඟම ඉන්ක්‍රෙඩිබල් හල්ක්ද කරළියට පිවිසියේය. අද පවා ලෝකය හොල්ලන මේ චරිත මුලින්ම චිත්‍රකතා ලෙස එළි දුටුවේ 1962 දීය.

ඒ හා සමඟම යොවුන් පාඨක පෙළ මේ චරිතවලට කැමැත්තෙන් රොද බඳින්නට වූ අතර ලක්ෂ ගණනින් ඒ චිත්‍රකතා පොත් අලෙවි විය. ස්පයිඩර් මෑන් හෙවත් මකුළු මිනිසා 1977 දී රූපවාහිනී මාලා නාට්‍යයක් ලෙස ලෝකය පුරා ප්‍රචාරය ආරම්භ විය. ඉන් ටික කලකට පසු එය චිත්‍රපට මාලාවක ආරම්භය ද සටහන් කළේය. අප රටේ ද ස්පයිඩර් මෑන් නැරඹීමට ප්‍රේක්ෂකයන් පොර කෑ අයුරු අපට මතකය.

වෝල්ට් ඩිස්නිගෙන් පසු ලෝකය ඇල්ලු චිත්‍රකතා රචකයා ස්ටැන් ලී වශයෙන් සැළකේ. ඔහුගේ චරිතවල විශේෂත්වය නම් ඒවා එතෙක් ලොවට නොපැමිණි සුවිශේෂී ගතිගුණ සහිත ඒවා වීමයි. මේ නිසා එම චරිත දෙස කවුරුත් බැලුවේ නොසංසි‍ඳෙන කුතුහලයෙනි. ඔහුගේ සමහර චරිත සමාජය වෙනස් කරන සංකේත බවට පත්ව තිබේ. බ්ලැක් පැන්තර් සහ සැවේජ් ෂී හල්ක් කතා අමෙරිකානු සුළු ජනකොටස් සහ කාන්තාවන් ගැන අවධානය යොමු කර තිබේ.

ඇවෙන්ජර්ස් සහ එක්ස් මෑන් ඔහු නිර්මාණය කළ තවත් වීර චරිත දෙකකි. 1972 දී ඔහු මාර්වල් ප්‍රකාශන ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ බවට පත්විය. ඉන් අවුරුදු හතරකින් පසු ස්පයිඩර් මෑන් පොතෙන් පිටපත් මිලියන 72ක් අලෙවි විය.

“ස්ටැන් ලී අපේ සමාගමේ මිකී මවුස් වෙලා” යයි මාවල් ආයතනයේ කතාවක් පැතිරුණි.

ඔහු කෘති කිහිපයක් ද පළකළ ලේඛකයෙකි. The Superhero Woman 1971 දී පළවූ අතර How To Draw Comics The Marvel Way 1978 දී පළ කෙරිණි. ඒ අතර 1978 දී හල්ක් කතා මාලාව රූපවාහිනියේ විකාශය වීම ඇරඹිණි. ශ්‍රී ලංකාවට රූපවාහිනිය පැමිණි ඒ මුල් යුගයේ Incredible Hulk මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයකුට ද නොමඳ වින්දනයක් ලබාදුන් වීරයෙක් බවට පත්විය.

ලීගේ චරිත ඇසුරින් තැනු X Man. වර්ෂ 2000 දී නිකුත් වූ අතර එම චිත්‍රපටය උතුරු අමෙරිකාවේ සිනමාශාලාවලින් පමණක් ඩොලර් මිලියන 130ක් ඉපයීමට සමත් විය. වර්ෂ 2014 දී ස්පයිඩර් මෑන් අමෙරිකාවේ දී ඩොලර් මිලියන 400ක් ඉපයුවේය. තවත් මාර්වල් කතාවක් වන Avengers – Infinity War ලොව පුරා ඩොලර් බිලියන 2ක් මුදල් ඉපයීමට සමත් විය. ඒ අතරම මාර්වල් සිනමා සමාගම ලොව ධනවත්ම සමාගම් අතරට එක්විය.

ස්ටැන් ලීගේ මරණයෙන් කම්පාවන ප්‍රේක්ෂක පාඨක විශාල පිරිසක් අප රටේද සිටිති. ඔවුන්ගේ ෆේස්බුක් පණිවුඩ, ට්විටර් පණිවුඩ මේ මොහොතේත් සයිබර් අවකාශය හරහා හුවමාරු වෙමින් පවතී.

කුසුම්සිරි