2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

කෝච්චියේ හිඟන මාෆියාවේ අතින් අතට යන දරුවෝ

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 268

දිනක් ලියුම්කරු දුම්රියේ නැගී නිවස බලා යමින් සිටියේය. දෙමටගොඩ පසුවනවාත් සමඟ කෙට්ටු කාන්තාවක් කුඩා දරැවකුද රැගෙන දුම්රියට ගොඩවිය. ඈ හැඬූ කඳුළින් කතාව කියන්නට ගත්තේ අතීත සිද්ධි ආවර්ජනය කරමිනි. මම ඉන්නෙ මීරිගම. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. මහත්තය පොල්ගහෙන් වැටිලා එකතැන් වෙලා ඉන්නේ. එයාට රස්සාවක් කරන්න විදිහක් නෑ. අපි කන්නේ මෙහෙම කෝච්චියේ හිඟා කාලා. යැයි ඇය කියාගෙන ගියාය. කෝච්චියේ සිටි සියල්ලන්ම ඇයට රුපියල් 20,50 බැගින් ආධාර කළෝය. ඈ සියලුදෙනාටම පින් දී බැස ගියාය.

 

නැවත දිනකි. එදින වයෝවෘද්ධ පුද්ගලයෙක් දුම්රියට ගොඩවිය. ඔහු අතේ දරුවෙකි. තවත් පසෙක ලොකු ගැහැනු දරැවෙකි. එක් දරුවෙකු මීට පෙර හමුවූ ගැහැනිය සමග සිටි දරැවාය. නහයෙන් අඬාගෙන ඔහු සිය කතාව දිග හැරියේය.

අපිට ඉන්න තැනක් නෑ. මේ මගේ දුවගේ දරුවෝ දෙන්නා. දුවයි මහත්තයයි අනතුරකින් මළා. මම මේ දරුවෝ දෙන්නා බලාගන්නේ. අපිට කන්න යමක් ගන්න කීයක් හරි දෙන්න යැයි ඔහු කීවේය. ඒ අනුව ඔහුටද ඇති පදමට මිනිස්සු මුදල් ලබා දුන්හ.
එසේම මුදල් ලබාදෙනවාත් සමඟ එතැන සිටි ඇපල් විකුණමින් සිටි වෙළෙන්දෙක් දෙන්න එපා ඕකට සල්ලි. ඕකා හොරෙක් යැයි කියමින් කෑ මොර දෙන්නට විය. මොහු පවසන්නේ අසත්‍ය නම් සිඟා කෑ පුද්ගලයාට ඕනෑම දෙයක් කීමට හැකියාව තිබිණි. එහෙත් ඔහු කිසිවක් නොකියාම යන්නට ගියේය. මම ක්‍රමයෙන් ඇපල් විකුණන පුද්ගලයා අසලට ළං වූයෙමි. ඔහුගෙන් එලෙස ප්‍රතිචාරයක් එල්ලවීම ගැන ඔහුගෙන් විමසා බැලුවෙමි. ඔහු කතාව කීවේය.

සර් ඔය මිනිහගේ නෙමෙයි ඔය ළමයි දෙන්නා. තව ගෑනියෙක් ඉන්නවා. ඒ ගෑනියි මේ මිනිහයි තමයි මේ වැඩේ කරන්නේ. ඔය ළමයි දෙන්නා වෙන දෙන්නෙක්ගේ. මේ දෙන්නව එක්කන් යනවට පොඩි එකාට රුපියල් 1500ක් දෙනවා ලොකු කෙල්ලට 2000ක් දෙනවා. ඔය පොඩි ළමයගේ අම්මා කුඩු ගහනවා. ඒ ගෑනිත් හිඟා කනවා. ඒ සල්ලි පොඩි එකාගේ සල්ලියි එකතු කරල කුඩු ගහනවා. ඊට පස්සේ ළමයි බඩගින්නේ. මම තමයි ඔය ඇපල් ගෙඩියක් හරි දෙන්නේ. මේ ළමයින්ට මේ යකා මොනවා කරනවද දන්නේ නෑ යැයි ඒ පුද්ගලයා කිවේය. ඔහු නැවතත් කතාව පටන් ගත්තේය.

ඔය මිනිහා කේ.ජී. (කේරල ගංජා) විකුණපු එකෙක්. ඉස්කෝලේ ළමයින්ට විකුණලා පොලීසියට මාට්ටු වුණා. කොයි වෙලේත් ගංජා ගහලා. අර ළමයා පොඩි කෙල්ලෙක්. ළඟ ඉන්න ළමයා ලොකු කෙල්ලෙක්. මේ දරැවන්ට මේ ගංජාකාරයා මොනවා කරනවද කියලා කවුද දන්නේ? ඔය කෝච්චියේ යන දුම්රිය ආරක්ෂක ඒකකයේ අයට කියනවා. එයාලා නෙමෙයි සත පහකට ගණන් ගන්නේ නෑ. ඒ නිසා මුන් හොරාට මේවා කරනවා යැයි ඔහු තවදුරටත් කීය.

එතකොට මේ අය හිඟා කන්නේ ඔහේ නිකම් කරනවද? මම ඔහුගෙන් විමසුවෙමි.

පිස්සුද ඔය කෝච්චි රෑට බාරව ඉන්නේ ලොකු පොරක්. පොර  තමයි මේ හිඟන්නෝ කොහෙද යන්නේ කියලා තීරණය කරන්නේ? මිනිහත් හිඟන්නෙක්. හැබැයි හැමෝම අඳුරනවා. ඉතිං ඒ නිසා එයාටත් එයාගේ ගෝලයන්ටත් කිසි අවුලක් නෑ කෝච්චිය ඇතුළේ හිඟාකන්න. ඔය හැමෝම එක්කෝ ගංජා ගහනවා නැත්තන් කුඩු ගහනවා. හැබැයි සල්ලි හොයනවා. උපරිම දවසට 5000ට එහා හොයනවා. හොඳට කාලා බීලා ඉන්නේ. හැබැයි වෙන අයට මේක ඇතුළේ හිඟා කන්න බෑ. එහෙම වුණොත් මළගෙයක් තමයි* ඔහු සිනාසෙමින් කීය.

ඔහුගේ කතාවෙන් පසු මම තවදුරටත් මේ කියන කතා ඇත්තදැයි යන්න තවත් අයකුගෙන් දිනක් අසා බැලුවෙමි. ඒ කෝච්චියේ පොත් විකුණන අයකුගෙනි.

සර් මේ කෝච්චිවල ෆෑන් නැත්තේ ඔය හිඟන්නෝ එක්ක එකතුවෙලා ඕවා ගලවනවා. නිකන් නෙමෙයි ස්ටේෂන්වල වැඩකරන උනුත් අල්ලන් ගලවන්නේ. ඔය හිඟාකන උන් ගොඩක් දවසේ පඩියට හිඟාකන්නේ. සාමාන්‍යයෙන් එකෙක් 2500ක් විතර ගන්නවා. ඉතුරුවා ඔය ඔවුන්ව ගෙනල්ල දාන මිනිහට දෙනවා. ඒක මාෆියාවක් වගේ. දරුවෝ ගන්නේ කුලියට. අපේ රටේ ළමා ආරක්ෂක අධිකාරියක් තියෙනවා. ඒත් එක මිනිහෙක් එන්නේ නෑ මේ දරුවන්ට වෙන අපරාධය හොයන්න. අවුරුදු 16ට අඩු ගෑනු ළමයි, පිරිමි ළමයි 20ක් විතර මේ කෝච්චිවල හිඟා කනවා. එකෙක් එනවද මේක නවත්තන්න. නෑ. යැයි ඔහු කීවේය.

සැබවින්ම එය සත්‍ය කතාවකි. කිසිවකු මේ සිදුවන අපරාධය, අපචාරය ගැන හොයන්නේ නැත. මේ දරැවන් අමු අමුවේ අපචාරයට ලක්වන විට ඒ පිළිබඳව කිසිවකු අවධානය යොමු කරන්නේ නැත. හැමදෙනාම දරැවන් ආරක්ෂා කරන්න, දරුවන් රැකගන්න කිව්වත් මෙවැනි දරුවන් කෙරෙහි අවධානය යොමු කරන්න කිසිවකු නැත. මේ දරුවන් අමු අමුවේ බේබද්දන් කුඩ්ඩන් අතින් අත මාරු වනවිට අපේ ජනතාවද කීයක් හෝ අතේ ගුලිකරනවා විනා මේ දරුවන් කාගෙද? ඇයි මෙලෙස හිඟාකන්නේ යන්න විමසන්නේ නැත. කෙසේ වෙතත් අවසානයේ ඔවුන්ද මේ අපායට වැටෙනවා විනා එයින් ගොඩ ඒමක් නැත. ඒ නිසා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අපරාධය කෙරෙහි මීට වඩා සොයාබලා කටයුතු කරන ලෙසය.

 අසංක කළුබෝවිල