2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

දිගටම ගඳ ගසන රෝහල් සායනික කුණු

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

ශ්‍රී ලංකා ජාතික රෝහල ඇතුළුව බස්නාහිර පළාතේ කොළඹ අවට ප්‍රධාන පෙළේ රෝහල් රැසක සායනික අපද්‍රව්‍ය ගොඩගැසීම හේතුවෙන් රෝහල් කාර්යමණ්ඩලය රෝගීන් මෙන්ම එහි පැමිණෙන ජනතාව අපහසුතාවයට පත්වන බවට රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි. මෙවැනි අපද්‍රව්‍ය දෛනිකව රෝහල් පරිශ්‍රවලින් ඉවත්කර ආරක්ෂිතව පුළුස්සා දැමීම මෙතෙක් කලක් මුල්ලේරියාව රෝහල් පරිශ්‍රයේ පිහිටි සායනික අපද්‍රව්‍ය භාෂ්මීකරණ මධ්‍යස්ථානයේ සිදු කෙරිණි. එහෙත් අධිකරණ නියෝගයක් හේතුවෙන් එහි කටයුතු නවතා දමා ඇති බැවින් ඉකුත් 30 වැනිදා සිට මේ අර්බුදය හටගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග සනාථ කළේය.

කොළඹ ජාතික රෝහල ඇතුළුව තවත් ප්‍රධාන පෙළේ රෝහල් රුසක සායනික අපද්‍රව්‍ය එක්රුස්කර නිතිපතා පුළුස්සා විනාශ කර දැමුණේ මුල්ලේරියාව පිහිටි අපද්‍රව්‍ය භෂ්මීකරණ මධ්‍යස්ථානයකදීය. එම පරිශ්‍රය අඹතලේ ජල පවිත්‍රාගාරය ආසන්නයේ පහත් බිමක පිහිටා ඇති බවත් නිතිපතා ඉන් නැගෙන දුම් තමන්ට සෞඛ්‍ය ගැටලුවක්ව පැවති බවත් ප්‍රදේශවාසීහු පවසති. භූමියේ පහළ කොටසක ස්ථාපිත කළ මධ්‍යස්ථානයේ දුම් නැගෙන චිමිනිය පිහිටා ඇත්තේ තරමක කඳු භූමියක් වන ප්‍රදේශයේ නිවාස රාශියක් පිහිටි බිමට සමාන්තරවය. මේ නිසා අපද්‍රව්‍ය පිළිස්සීමෙන් නැගෙන දුම් ජනතාවට හිරිහැරයක්ව පැවති බවට ප්‍රදේශවාසීහු කියති.

අදාළ භෂ්මීකරණ මධ්‍යස්ථානය ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් වූයෙන් අවස්ථා කිහිපයකදීම ඒකරාශී වූ ජනතාව ඊට විරෝධතාවය පළකළෝය. ඊට නිශ්චිත පිළියමක් නොවූයෙන් ගම්වාසීන් පිරිසක් මුල්ලේරියාව පොලිස්ථානය වෙත තත්ත්වය වාර්තා කර පැමිණිල්ලක් සටහන් තබා එමඟින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. ඒ අනුව අධිකරණය විසින් ඉකුත් 30 වැනිදා නියෝග කර තිබුණේ එම මධ්‍යස්ථානයේ අපද්‍රව්‍ය පිළිස්සීම වහාම නතර කරන ලෙසය. එදින පටන් ජාතික රෝහල ඇතුළු රෝහල් කීපයකම මෙකී අපද්‍රව්‍ය එක් රුස්වීමේ අර්බුදය හටගෙන ඇතැයි වාර්තා විය.

මීට මාස කිහිපයකට ඉහතදී මෙවැනි තත්ත්වයක් උද්ගත වූ අතර ඒ පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත් වී නීතිපති දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරියේ සහාය ඇතිව අධිකරණයට කරැණු වාර්තා කරමින් තත්ත්වය පාලනය කරගෙන තිබිණ.

කොළඹ ජාතික රෝහලේ පමණක් දිනකට සායනික අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2000ට අධික ප්‍රමාණයක් රැස්වන බව වාර්තා වේ. ජාතික රෝහලේ ශල්‍යාගාර ගණනාවකින් දෛනිකව ඉවත දමන කසළ මේ ආකාරයට ගොඩගැසී 59 වාට්ටුව අසල පිරී ඇතැයි ද තවත් එවැනි ස්ථාන කිහිපයක්ම දකින්නට ඇතැයිද රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙසේ ඉවතලන අපද්‍රව්‍ය අතර බඩවැල් කොටස්, ඇඟිලි කොටස්, මස් වැදලි, ලේ, සැරව සහ දේහ තරල තැවරුණු ගෝස්, පුළුන් ආදිය ද වේ.

තවද ශල්‍යාගාර හා වාට්ටුවලින් ඉවතලන සිරින්ජර් කටු, ඉඳිකටු, බ්ලේඩ් ආදිය ද තිබෙන බව වාර්තා වේ. මීට මාස කීපයකට පෙර ද මේ තත්ත්වය හේතුවෙන් ජාතික රෝහලේ අපස්මාර ගොඩනැගිල්ල අසළ අපද්‍රව්‍ය ටොන් ගණනක් ගොඩනැගී තිබිණ. දැනට පවතින තත්ත්වය අනුව බොහෝ අපද්‍රව්‍ය රෝහල් පරිශ්‍රයේ මාර්ග දෙපස ද පවතින බව කියයි.

මෙසේ අපද්‍රව්‍ය රුස්වී තිබීම රෝහල් පරිසරයට මෙන්ම කාර්ය මණ්ඩලයට හා රෝගීන්ට මෙන්ම පැමිණෙන සියලු ජනතාවට බරපතළ සෞඛ්‍ය සහ පරිසර තර්ජනයකි. ප්‍රදේශය පුරා හමන දුගඳ නිසා ප්‍රදේශයේ ජනතාවට ආශ්වාස කිරීම ද ගැටලුවකි. අපද්‍රව්‍ය පරිසරය පුරා විසුරැවන සුනඛයන් හා කපුටන් ඇතුළු සත්ත්වයන් නිසා ගැටලුව තවත් වර්ධනය වෙමින් පවතී. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය නිසා අපද්‍රව්‍ය වැසි ජලය සමඟ මුසු වී මිදුලට හා කාණුවලට ගලා යමින් ඇත. අවසානයේ මේ අපද්‍රව්‍ය පොදු ජල ප්‍රවාහයට එක්වීමෙන් බරපතළ රෝග බෝවීමේ අවදානමක් පවතී.

උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව රෝහල් බලධාරීන් දැනුවත්ව සිටින බවද වාර්තා වේ. රටේ පවතින අස්ථාවර දේශපාලන වාතාවරණය මැද සෞඛ්‍ය අමාත්‍යවරයකු පත්වූයේ දින කීපයකට ඉහතදීය. තවමත් නිසි විසඳුමක් රහිතව රෝහල් පරිශ්‍රවල පවතින අර්බුදය විසඳීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා අදාළ බලධාරීන් පියවර ගත යුතුය. එම ක්‍රියාමාර්ගය මුල්ලේරියාව අපද්‍රව්‍ය භෂ්මීකරණ මධ්‍යස්ථානය අවට ජනතාවට ගැටලුවක් නොවිය යුතු බවද අවධාරණය කරමු.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලයනල් මුහන්දිරම්

දැනට අපද්‍රව්‍ය රැස්වීමේ ගැටලුවක් පවතිනවා. ඒකට හේතුව මුල්ලේරියාව ප්‍රදේශයේ තිබෙන අපද්‍රව්‍ය භෂ්මීකරණ මධ්‍යස්ථානයට එරෙහිව උසාවි නියෝගයක් ලබාදීමයි. තාවකාලික පියවරක් වශයෙන් ජාතික රෝහලේ රුස්වන අපද්‍රව්‍ය රත්මලාන පිහිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තිබෙන භෂ්මීකරණ මධ්‍යස්ථානයේ පුළුස්සනවා. ජාතික රෝහලේ රැස්වන අපද්‍රව්‍ය රෝහලේම පිළිස්සීමට ඉඩ පහසුකම් මදි. මේ සඳහා පැහැදිලි විසඳුමක් අවශ්‍ය වෙනවා. ඒකට අමාත්‍යංශය මට්ටමින් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර