
- අතුරලියේ රතන හිමියෝ
2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව වසර 03ක් පමණ ගතවනවිට පැවතිය රජය විවේචනය කළ ආකාරයටම එදා පැවති රජය ද විවේචනය කිරීමට රතන හිමියන් ක්‍රියා කළේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස සිටියදීමය.
2014 වසරේ නොවැම්බර් මස 09 දා රතන හිමියන් මාධ්‍ය හමුවේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු දත් ද ආණ්ඩුවෙන් ගැලවීමට නියමිත බවයි. ඒ වනවිටත් මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරයකු සහ ශ්‍රීලනිපයේ ලේකම්වරයා වූ අතර ඒ මහතා පැහැදිලිවම පොදු අපේක්ෂකයා වන බව දැන සිටි ස්වල්ප දෙනා අතුරින් රතන හිමියන් ද කෙනෙකි.
යහපාලන රජය යටතේ ස්ථාපිත වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන යෝජනාවලිය සැකසීමට ද අතුරලියේ රතන හිමියන් එක්වූ අතර රසායනික පොහොර මාෆියාවට එරෙහිව ද අඛණ්ඩව හඬ නැගූහ. පසුගිය 2018 ජුනි මාසයේදී රතන හිමියන් පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන ජනපති වටා එක්රොක් වී එතුමන් ගන්නා තීරණයට එකඟ වන බවයි. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටි උන්වහන්සේ පසුගියදා පත් කෙරුණු මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයාට සහය පළ කිරීමට ද තීරණය කළහ.
රටෙහි සිදුවූ මෙ දේශපාලන බල පෙරළිය සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියන් දැක්වූ අදහස් මෙසේය.
පැවතුණු යහපාලන රජය බලයට ගේන්න සෝභිත හාමුදුරැවන් එක්ක හිටපු අනිත් චරිතය තමයි රතන හාමුදුරුවෝ. මේ පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ සිදුවූ දේශපාලනය ගැන ඔබවහන්සේගේ අදහස මොන වගේද?
මම හිතන්නේ අපි යහපාලන ආණ්ඩුව යටතේ අපි බලාපොරොත්තු වුණු මූලික කරුණු කිහිපයක් තිබුණා. එකක් තමයි ව්‍යවස්ථානුකූල නීතිමය රාමුවක් සකසා නීතියට සියලු දෙනා අවනත වන විදිහේ ව්‍යූහයක් සකස් කරන එක. එතකොට අපි ඒක යහපාලනය නමින් නම් කළා. එහිදී අපි බලාපොරොත්තු වුණා ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයකුට තියන බලතල අඩු කරලා ඒක යම්කිසි පාර්ලිමේන්තුවටත් වග කියන අධිකරණයට වග කියන තත්ත්වයකට ගේන්න. ඒක යම් යම් සංශෝධන කළා. නමුත් රට එහා ගිහිල්ලා ආණ්ඩුව සම්පූර්ණ විධායක ජනපති ධූරය අහෝසි කරලා රටේ යම්කිසි අස්ථාවරභාවයක් ඇතිවන විවිධ ජනවර්ග අතර ගැටුම් ඇතිවන ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න තමයි උත්සාහ කළේ. ඒ වගේම තමයි අපි හොරකම, දූෂණය, වංචාව පිළිබඳ අපි ජන මතයක් හැදුවා. මම දකින විදිහට ගිය ආණ්ඩුවට වඩා මේ යහපාලන ආණ්ඩුවේ හොරකම් අක්‍රමිකතා ඇති වුණා. මහ බැංකුව එයින් ප්‍රකට සිදුවීමක්. ඒ නිසා මේ ආණ්ඩුව පිළිබඳ විශාල කලකිරීමක් තිබුණා. ආර්ථිකය පිළිබඳ ගැටලු මතුවුණා. ඒ වගේම රට විකුණන, රටේ ප්‍රධාන ජාතික සංස්කෘතික අභියෝගයට ලක්වෙන සමාජයේ විශාල සදාචාරාය පිරිහුණු කාලයක් බවට මේ ටික කාලය කැපී පේනවා. ඒ නිසා ඉතා ඉක්මනින් මේ ආණ්ඩුව වෙනස් කළ යුතුයි කියන මතයට මම පැමිණිලා හිටියේ.
එහෙම තත්ත්වයක් උද්ගත වෙලා තිබුණානම් මේ පැවතුණ යහපාලන ආණ්ඩුව නිර්මාණය කරන්න මූලික වූ අයකු හැටියට ඔබවහන්සේ ඇයි එය වෙනස් කරන්න උත්සාහ කළේ නැත්තේ?
හුඟක් උත්සාහ කළා. සිංගප්පූරු ගිවිසුමට එරෙහිව විවේචන මම එල්ල කළා. ව්‍යවස්ථා සංශෝධනය ගැන මම සෘජුව මගේ මතය කිව්වා. මට පුළුවන් හැමදේම කළා. නමුත් පුද්ගලයකුට බලපෑම් කරන්න පුළුවන් සීමාවක් තියනවා. නමුත් අන්තිමට වුණේ මොකද්ද. මංගල සමරවීර ඇමැතිතුමා නඩුවක් දාලා තියෙද්දී ඒවට අදාළ ගැසට් පත්‍රය නිකුත් කළා.
පැවති යහපාලන ආණ්ඩුවෙන් ඉටුකර ගැනීමට නොහැකි වූ බලාපොරොත්තු මේ වත්මන් අගමැති ප්රමුඛ රජයෙන් ඉටුකර ගැනීමට හැකිවෙයි කියලා ඔබවහන්සේ හිතනවද?
මේක මේ අවුරුදු ගාණක් යන ආණ්ඩුවක් නෙවෙයි. මේක භාරකාර ආණ්ඩුවක් විදිහට තමයි මම දකින්නේ. මේ අලුතෙන් පත්වන ආණ්ඩුවට තියෙන්නේ ඉතාම කෙටි කාලයක්. ඒ කියන්නේ ඉදිරියේදී අනිවාර්යයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. අවුරුද්දක කාලයක් තමයි මේ ආණ්ඩුවට යන්න පුළුවන්. එතකොට ඒ කාලය තුළ ජනාධිපතිවරණයක් ඇවිල්ලා කවුරැහරි පත්වෙලා ඒ එන කෙනා පාර්ලිමේන්තුව විසුරැවා හරිනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මම විශ්වාස කළා දෙපාර්ශවයේම එකඟතාවය මත යම් යම් වෙනස්කම් සිදු කළ යුතුයි කියලා. මම රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක ඒ ගැන කතා කළා. දැන් බලන්න ඔය සමහර ඇමැතිවරු ඉන්නේ 1994 ඉඳලා වෙනස් වෙන්නේ නැහැ. එයාලට එන්න පුළුවන් ජන පදනම පාවිච්චි කරලා දිස්ත්‍රික්කයේ ඡන්දවලින්. හැබැයි අවසානයේ ඡන්දයක් දැම්මොත් ඒ අය පරදිනවා. ඒ නිසා සෘජුවම මනාප ක්‍රමයත් අහෝසිවන අනුපාත ක්රමයේ සාධනීය අංග ලක්ෂණයත් රැකගෙන සුළු පක්ෂවලින් නියෝජනය තහවුරු වන විදිහේ ඡන්ද ක්‍රමයක් දැනට යෝජනා කරලා තියනවා. ඒ වගේම තමයි දිනන පක්ෂයට සරල බහුතරයක් ලබා ගැනීමේ ඉඩකඩක් ලැබෙන්න තියනවා. නැත්නම් එක පක්ෂයක් සමඟවත් ආණ්ඩු ගෙනියන්න බැහැ. එහෙම වුණාම අස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය වෙලා යම් යම් ජාතිවාදී දේශපාලන කණ්ඩායම්වල ගොදුරක් බවට ආණ්ඩුව පත්වෙනවා. ඒ නිසා පක්ෂයට බහුතරය ලැබෙන මනාප ක්‍රමය තුළ තිබෙන සාධනීය ලක්ෂණයන් තහවුරැ වන සහ ඡන්ද ක්‍රමයක් අපි යෝජනා කරලා තිබෙනවා.
මේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කතානායකවරයා විසින් නිකුත් කළ නිවේදනය විශාල මත ගැටුමක් හේතු වෙලා තියෙන බව පේනවා.ඒ නිවේදනය ගැන ඔබවහන්සේගේ අදහස මොකද්ද?
පළමුවෙන්ම මම අහන පළවෙනි ප්රශ්නය ජනාධිපතිවරයා අගමැතිවරයා පත්කිරීම නීත්‍යානුකූලද නැද්ද? පැවතියේ ජාතික ආණ්ඩුවක්. මේ ජාතික ආණ්ඩුවෙන් එක පාර්ශවයක් ඉවත් වෙනවා. එතකොට තිබෙන කැබිනට් මණ්ඩලයේ බලය අහෝසි වෙනවා. අගමැතිවරයාගේ එතකොට ජනපතිවරයා විදිහට පත් කළා. අලුත් ජනාධිපතිවරයෙක් සහ අලුත් කැබිනට් මණ්ඩලයක් එතකොට ඒ පත්කිරීම නිත්‍යනුකූලයි. හැබැයි ඒ පත්කිරීම නිත්‍යනුකූල වෙන්නේ පාර්ලිමේන්තුව රැස් කළාට පස්සේ බහුතරය පෙන්වීමෙන් පසුව. එතකොට දැන් ජනාධිපතිවරයාගේ පත්කිරීම් නිත්‍යනුකූලයි. කැබිනට් මණ්ඩලය පත් කිරීම නිත්‍යනුකූලයි. හැබැයි දැන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගත යුතුයි.
එතකොට ඔබවහන්සේ කියන්නේ කතානායකවරයා වූ කරු ජයසූරිය මහතාට එලෙස නිවේදන නිකුත් කිරීමේ බලයක් නැහැ කියලද?
මම දකින හැටියට විධායකය සතු බලතල නිශ්චිත 33 වගන්තිය යටතේ තියනවා. පාර්ලිමේන්තුව සැසි වාරය කල් දැමීම, කැඳවීම සහ නව අගමැතිවරයකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුයි. ඒක අභියෝගයට ලක්කරන්න කතානායකවරයාට බැහැ. මම කියන්නේ නීතිය පැත්තෙන්.
පාර්ලිමේන්තුව කල් තැබුවේ මහින්ද රාජපක්ෂ මහත්තයාට බහුතරයක් හදන්න කියන මතය අද වනවිට සමාජගත වෙලා ඉවරයි. ඒ විදිහට පාර්ලිමේන්තුව කල් දැමීම අසාධාරණයි කියලා ඔබවහන්සේ දකින්නේ නැද්ද?
පාර්ලිමේන්තුව කල් තබන්න ජනාධිපතිවරයාට බලයක් තියෙනවා. ඒ බලය තමයි ජනාධිපතිවරයා පාවිච්චි කරන්නේ. අනික අවුරුදු ගාණකට පාර්ලිමේන්තුව කල් දාන්න බැහැ. යම් කාල සීමාවක් තියෙනවා. පාර්ලිමේන්තුව කැඳවන්න තිබුණේ 05 වැනිදා. මම දන්න විදිහට දැන් 14 වැනිදා නැවත කැඳවන්න තීරණය කරලා තියනවා. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ජනාධිපතිවරයාට එහෙම කල් දැමීමේ අයිතියක් තියනවා.
යහපාලන ආණ්ඩුව නිර්මාණය කරනකොට එය විදේශීය බලපෑම්වලට යටත්ව නිර්මාණය වුණා කියලා චෝදනාවක් එල්ල වුණා. ඔබවහන්සේටත් එම චෝදනාව එක්ක වුණා. මේ ආණ්ඩුවට එවැනි චෝදනා එල්ල වෙන්නේ නැදද?
මම හිතනවා ඇත්ත වශයෙන්ම මෙම විදේශීය බලපෑම් එන්නේ අපි දුර්වල වුණාම. ඉතිහාසයෙත් එහෙමයි. අපි තමයි මේ විදේශීය බලවේගවල සහාය ඉල්ලන්නේ. තානාපතිවරු කැඳවනවා. කැඳවලා යහපාලනය ගොඩනගන්න කියලා ඉල්ලනවා. අපි කළ යුත්තේ රට තුළ තියන ප්‍රශ්න අපිම විසඳගැනීම. එහෙම නැති වුණොත් මෙහෙම බලපෑම් වෙනවා.
මේ බල අරගලයන් හේතුවෙන් පීඩාවට පත් වෙන මහජනතාව බොහෝ දෙනෙක් කියන්නේ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබුණේ නැති බවයි. මහජනතාව පැත්තෙන් මොනවත්ම ඉටුවෙන්නේ නැද්ද?
අනිවාර්යයෙන්ම ඒක තමයි අපිට තියන කනස්සල්ල. රට ගොඩනගන්න ඕන අපි දැන් මේ යන්නේ ලෝකයේ බොහෝ රටවල් ආර්ථික වශයෙන් කඩා වැටෙන යුගයක්. ඒක බොහොම පැහැදිලිව පේන්න තියනවා. චීනය හැරෙන්න අනිත් කිසිදු රටකට ආර්ථික වශයෙන් ස්ථාවරයි කියන්න බෑ. එවැනි තත්ත්වයක් තුළ අපිට තමයි වාසියක් තියෙන්නේ. අපිට මේකට ඕන විදිහේ වෙනස්කම් කරන්න තිබුණා. නමුත් ඒවා කළේ නැහැ. ඔවුන් කළේ රටේ සම්පත් විකිණීම පමණයි. ඒ ආණ්ඩුව අන්ධ ආණ්ඩුවක්.
සංවාද සටහන - හසිත් අංජන
සේයාරැව සුමුදු හේවාපතිරණ