
රදාවාන තුංමංහන්දිය පසුකරමින් වතුරුගම පාරට හැරෙන විට මට මතක් වූයේ මහගමසේකරගේ තුංමංහන්දිය නවකතාවේ කියැවෙන ගමේ කලා ශිල්පියා වූ අබිලිංය. ඔහු ගමේ මඟුල් ගෙදරට, මරණ ගෙරදට නැතිව බැරි කලාකරුවෙකි. සියුම් ලෙස කැටයම් නිර්මාණය කරමින් ගමේ උත්සවවලට ඔපයක් ලබාදෙන ඔහු ඒ සියල්ල කරන්නේ සතයක්වත් අය කර නොවේ. ඔහුගේ ධනය හිතේ සතුට විය.
එවැනිම තවත් අපූරු ගැමි කැටයම් ශිල්පියෙක් අපට හමුවූයේ වතුරැගම පාරේ ඉඳුරැගල්ලේදීය. ඔහුගේ නිර්මාණ අතර කැපී පෙනෙන ඉඳුරගල්ල විහාරයේ වාහල්කඩ මණ්ඩපය එම විහාරයට ඓතිහාසික වටිනාකමක් ගෙන එයි. එය දැව කැටයම් කුලුනු හතරක් මත රැඳි පෙතිඋළු සෙවිලි කළ පියස්සකින් යුක්ත විවෘත මණ්ඩපයකි. කුලුණුවල පේකඩ සහ පියස්සේ බාල්කද පුරාණ සිංහල කැටයම් මෝස්තර වන නාරිලතා, ගල්බිංදුව, කුන්දිරක්කන්, අරිම්බුව, ලියවැල, හංස පූට්ටුව, බිනර මල, නාගදරණය ඇතුළු රටා රාශියකින් අලංකාර කර තිබේ.

මෙහි නිර්මාණ ශිල්පියා ඉඳුරුගල්ලේ පදිංචි එච්.ඒ. ප්‍රේමතිලකයි. 73 හැවිරිදි ප්‍රේමතිලක ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සේවය කළ රියැදුරෙකි. සහජ හැකියාවෙන් විස්මිත කැටයම් මවනා ඔහු රැපියල් දශලක්ෂ ගණනින් මිල වන මේ සියුම් කැටයම් විහාරවලට කරදී ඇත්තේ නොමිලේමය. ඒත් හරියට තුංමංහන්දියේ අබිලිං වගේමය.
බොහෝ දෙනා නවීන වාහන හිමිකර ගැනීමේ ලොබින් සිටියත් ඔහුට පාපැදියක්වත් නැත. ජංගම දුරකතන පාවිච්චියක්ද නැත. ප්‍රේමතිලක දැන් වියපත්ය. එහෙත් ඔහුට මිටිය, නියන කියත අතට හසුවූ විට තරුණයකු සේ කඩිසරය. ඔහු සිය අත්දැකීම් අප සමඟ බෙදාගත්තේ මේ අයුරිනි.
මම කාගෙන්වත් කැටයම් ශිල්පය ඉගෙන ගත්තෙ නැහැ. පොඩි කාලෙ ඉඳන්ම කැටයම් වැඩවලට හැකියාවක් තිබුණා. මම පැරණි කලා ශිල්පවලට ආදරෙයි. ඒ නිසා පුරාණ කැටයම් තිබෙන පනාවිටිය අම්බලම, අම්බැක්කේ දේවාලය, මහනුවර මඟුල් මඩුව වගේ තැන් බලන්න ගියා. ඒවා ගැන තිබෙන පොත්පත් පින්තූර එකතු කළා. විස්තර සටහන් කරගත්තා. ඒ වගේ තැන්වල තිබෙන කැටයම් දිරලා ගියාම පුරාවිද්‍යාවෙන් කරන්නේ අඩුව පුරවන්න තවත් ලීයක් දාන එක විතරයි. කැටයම එතන නෑ. ඉතින් මට මේ කැටයම් රටා විනාශ වී යාම ගැන ලොකු කනගාටුවක් ඇතිවුණා. ඒක හින්දයි සියලුම සිංහල කැටයම් රටා එකතු කරලා ඉඳුරැගල්ල විහාරයේ මණ්ඩපය හැදුවේ. මගේ කැටයම් ගැන ආරංචි වෙලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යාඥ රසික දිසානායක මහත්තයා මාව හොයාගෙන ආවා. මේ මණ්ඩපයේ වහල සැලසුම් කිරීමටත් ඔහු සහයෝගය දැක්වූවා* ප්‍රේමතිලක පැවසුවේය.

ගමේ කවුරැත් තිලකෙ අයියා නමින් හඳුන්වන ඔහු පාසල් ගියේ බටේපොළ විද්‍යාලයටය. ඒ 9 වැනි ශ්‍රේණියට යනතෙක් පමණි. වර්ෂ 1960 දී පාසලෙන් සමුගත් ඔහු කැටයම් නිර්මාණය කරමින්, විහාර දාගැබ් බැඳීමට සහාය වෙමින් කල්ගත කළේය. ගමේ තොරණ, පිරිත් මණ්ඩප ආදී වැඩවලටද ඔහු නැතිවම බැරි විය. ඊට පසු ඔහු විහාර දාගැබ් නිර්මාණය කරන හිතවත් බාසුන්නැහැ කෙනකු සමඟ ගම අවට දාගැබ් බැඳීමට ගියේය. ඒ රියැදුරැ රුකියාව කරන අතරතුරදීය. ඉඳුරැගල්ල, බටේපොළ, එල්ලක්කල, හක්ගල්ල, කිනිගම, හේනෙගම, අමුණුකුඹුර, කන්නිමහර වැනි ගම් අවට විහාරවල දාගැබ් ඉදිකිරීමට එක් විය. ඊටපසු ඔහු තනියම දාගැබ් බැඳීමට රට වටේ ගියේය.
මම ගලෙන්බිඳුණුවැව, මතුගම, යටියන විහාරවල දාගැබ් බැන්දා. යාළුවන් සමඟ දාගැබ් ඉදිකර ලැබුණු අත්දැකීම් නිසා මට තනියම දාගැබක් බඳින්න හැකියාව තිබුණා. ඒ අතර මගේ ඉඳුරැගල්ලේ කැටයම් වාහල්කඩේ පින්තූරයක් අන්තර්ජාලයේ දැකලා අග්‍රාමාත්‍ය ලේකම් කෙනෙක් මාව හොයාගෙන ආවා. ඒ සිරිපාදේ දොළොස් මහා පහනේ මණ්ඩපය ඉදිකරවා ගැනීමටයි. ඔවුන් මට මුදල් දීමට ලොකු උත්සාහයක් ගත්තත් මම සල්ලි ගත්තේ නැහැ. මම මුදල් පස්සේ යන්නෙ නැහැ. මම කොහේ වැඩ කළත් වේතනයක් විදිහට මුදල් ඉල්ලන්නේ නැහැ. නමුත් මම වැඩකරපු තැන්වලින් හරියට සලකනවා. ළඟදී මම දාගැබක් හදපු යටියන ගමෙන් සෙනඟ බස් එකක්ම අරන් අපේ රදාවානේ ගෙදරට ආවා. ඒක තමයි ඉතින් මනුස්සකම කියන්නේ. සල්ලිවලට ඒක ගන්න බැහැනේ. මම අවුරැදු 20ක් රියැදුරෙකු ලෙස වැඩ කළානේ. ඒකට වැටුපක් ලැබුණා. කැටයම් වැඩ කරන්නේ මගේ තෘප්තියට. වැඩකරන කාලෙ කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රදර්ශන කුටි විනෝදෙට හැදුවා.

රදාවාන ඉඳුරුගල්ල විහාරයේ කැටයම් මණ්ඩපය ප්‍රේමතිලකගෙ හැකියාව ලොවට කියාපාන කදිම උදාහරණයකි. ඔහු එය ආරම්භ කළේ 2000 දී රුකියාවෙන් විශ්‍රාම ගත් පසුවයි. &2004 දී තමයි ඒකෙ වැඩ පටන් ගත්තේ. නා ලී තමයි මේකට භාවිතා කළේ. ඇම්බැක්කෙ එහෙමත් තියෙන්නෙ නා ලී. අවුරැදු සිය ගණනක් වුණත් මේ ලීය පවතිනවා. කැටයම් කළේ තනියමයි. කිසිම ගෝලයෙක් එක්කර ගත්තේ නැහැ. අවුරුදු දෙකක් දිනපතා වැඩකරලා ඉවර කළා. සමහරදාට රෑ එළිවෙනකම් කැටයම් කළා. ගමේ අයගෙන් නාගස් ඉල්ලාගෙන දැව ඉරාගෙන තමයි කැටයම් වැඩ පටන් ගත්තේ.
මෙතන කැටයම් තුන්සිය හතළිස් ගණනක් තිබෙනවා. එකම කැටයම දෙතැනක නෑ. ඇම්බැක්කෙත් එහෙමනේ. ඒකෙ කැටයම් පන්සිය ගණනක් තිබෙනවා. පැරණිකම රැකෙන විදියට තමයි මම කැටයම් කරන්නේ.
සිරීපාදේ දොළොස්මහේ පහනේ මණ්ඩපයත් මගේ ජීවිතේ අමතක නොවෙන සිද්ධියක්. අඟල් 10X10 කොස් කඳන් තමයි ඒකට යොදාගෙන තිබෙන්නේ. කිසිම යකඩ ඇණයක් භාවිත කරලා නැහැ. වද්දලා තමයි තිබෙන්නේ. මඩොල් කුරුපාවකින් පරාල 32ක් එකට සම්බන්ධ කරලා තිබෙනවා. කුලුණු හතර කළුගල්වලින් කරලා තිබෙන්නේ. මේ මණඩපය රදාවානේදී කැටයම් කර තැනුවා. මණ්ඩපය හදලා තනලා නොම්බර ගහලා ගැලෙව්වා. ඊට පස්සේ නල්ලතන්නියට වාහනවලින් ගෙනිහින් එතැන ඉඳන් හෙලිකොප්ටරවලින් මළුවට ගෙනිච්චා. මම මුදල් නොගත් නිසා දොළොස්මහේ පහන විවෘත කරන දවසේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සම්මානයක් පිරිනැමුවා.
මේ වනවිට ඔහු විහාර 20ක පමණ විවිධ කැටයම් නිර්මාණ ඉදිකර තිබේ. නා ලී, මී ලී වැනි පුරාණයේ භාවිත කළ දැව ඒ සඳහා භාවිතයට ගෙන ඇත. ගමේ යනවා කිව්වාම හාමුදුරුවෝ සාක්කුවට දාන කීයක් හරි ගන්නවා මිසක මම මුදල් ඉල්ලලා නැහැ. ඔහු යළිත් පැවසුවේය. බොහෝ විහාරස්ථානවලින් තිලකෙ අයියාගෙන් වැඩගැනීමට ඉල්ලීම් කළත් ඔහු වැඩක් බාරගන්නේ කලාතුරකිනි. මම හාමුදුරුවන්ගේ මුහුණ බලලා, දායකයෝ ගැනත් බලලා, තැනත් බලලා තමයි වැඩක් බාරගන්නේ. මම මේ කැටයම් ශිල්පය කරන්නේ පිනකට වඩා මගෙන් රටට ඉටුවිය යුතු යුතුකමක් විදිහට. අනාගත පරම්පරාවට දැකබලා ගත යුතු නිර්මාණයක් ලබාදීමට. ඉදිරියේදී පැරණි කැටයම් විනාශවෙලා ගියහම අපේ දරුවන්ට දැකගන්න කැටයමක් ඉතිරි වෙන්නෙ නැහැ. අලුත් සමාජයේ අය නම් මුලින්ම සල්ලි තමයි ඉල්ලන්නේ. එහෙම වුණහම සාත්තරේ පිහිටන්නෙ නැහැ.
අපි විහාර දාගැබ් තැනීමට යොදාගන්නේ ඇඹරැම් බදාම. හුඟ දෙනෙක් පොටි වර්ග යොදාගන්නේ. පුරාණයේ යොදාගත්තේ හුණු, දිවුල්ලාටු, පැණි, ගල්කුඩු වගේ බදාම මිශ්‍රණයක්. අද පැණි වෙනුවට සිමෙන්ති ටිකක් මිශ්‍ර කරනවා ඇලෙන ගතිය ලබාගැනීමට. තිරිවානා ගල් අඹරලා හලාගෙන තමයි ගල්කුඩු හදාගන්නේ. ඔහු වැඩිදුරටත් කීවේය. තව දින කිහිපයකින් ඔහු මතුගම යටියන විහාර මන්දිරයේ දොරෙහි කැටයම් නිර්මාණයට යන බව අපට පැවසුවේය. අපි ඔහුගෙන් සමුගත්තේ මුදල්වලට වඩා මනුස්සකම හරිහම්බ කරන කලාකරැවෙකුගේ සිනහව දෙස බලමිනි.
(සම්බන්ධීකරණය කළ චිත්‍ර ශිල්පී වී.පී. සුනිල් සාන්තට අපගේ ස්තූතිය)
කුසුම්සිරි විජයවර්ධන