2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

අර්බුදයේ ජන මතය

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඇතිව එක්සත් ජාතික පෙරමුණ යටතේ බිහිකළ යහපාලන ආණ්ඩුවේ කාලය තවත් මාස දහතුනක් ඉදිරියට තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නිලයෙන් පහකර මහින්ද රාජපක්ෂ එම ධුරයට පත් කරනු ලැබීය. කිසිවකුත් නොසිතූ මොහොතක ජාතික ආණ්ඩුව හෙවත් සම්මුතිවාදී ආණ්ඩුවේ පාලන කාලය වසර තුනයි මාස නවයකින් අවසන් කරන්නට පියවර ගත්තේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයට හොර රහසේය.

සැප්තැම්බර් 26 වැනිදා සන්ධ්‍යාවේ අගමැති ධුරයේ දිවුරුම් දුන් මහින්ද මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩුවක් බිහිකළද තවමත් නිත්‍යනුකූල අගමැතිවරයා තමන් බව ප්‍රකාශ කරන රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ නව අගමැති දිවුරුම් දීම නීති විරෝධී බවය. ව්‍යවස්ථානුකූලව රටේ අගමැතිවරයා තමන් බව කියන වික්‍රමසිංහ මහතා තවමත් අරලියගහ මන්දිරයේ රැඳී සිටිමින් තම පාර්ශ්වයට බහුතර බලය ඇතිබව කියයි. එය සනාථ කිරීමට වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසද ඔහු ඉල්ලා සිටී.

මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ නව අගමැති පත්කිරීම නිත්‍යනුකූල හා ව්‍යවස්ථානුකූල බවය. නොඑසේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවට වික්‍රමසිංහ මහතාට ප්‍රසිද්ධියේම අභියෝග කළේය. ඉන් අනතුරුව වරින්වර දින කිහිපයකදීම මැති ඇමැති පිරිසක් දිවුරුම් දී ඇතත් දෙපාර්ශ්වයේම බහුතර බලය පිළිබඳ ඇත්තේ අවිනිශ්චිත බවකි. මේ අතර ජනාධිපතිවරයා ලබන 14 වැනිදාට පාර්ලිමේන්තුව කැඳවන බව ගැසට් පත්‍රයකින් නිවේදනය කළේය.

බලපෙරළියත් සමඟ පක්ෂ මාරුකරන බලවතුන් පිළිබඳ කතා එමටය. මේ තත්ත්වය තුළ ඉකුත් 26 වැනිදා සිට අද දක්වාම රටේ පවතින දේශපාලනය අස්ථාවරය. මෙකී විකෘති දේශපාලන වාතාවරණය පිළිබඳව මහජනතාව දක්වන අදහස් මෙසේය.

මහින්ද මහත්තයා ආපු එක ගැන සතුටුයි
දයානන්ද - කඩුගන්නාව

“රට ගැනයි ආර්ථිකය ගැනයි මුලින්ම බලන්න අවශ්‍යයි. දේශපාලනය කරන්න මිනිස්සු කැපවෙලා ඉන්නවානම් සුදුස්සො පත් කරන්න මහජනතාව විදිහට අපිට වගකීමක් තියෙනවා. මහින්ද පත්වීම ගැන මට සතුටුයි. මම ව්‍යාපාරිකයෙක් නිසා ඉදිරියට යහපතක් වෙයි කියලා හිතනවා. කලින් මහින්ද පාලනය කරපු කාලෙ අපේ ව්‍යාපාර හොඳට කෙරුණා. මේ ආණ්ඩුව ආපු දා ඉඳලා ඒවා අඩාල වෙලා. මම සම්භාණ්ඩ නිෂ්පාදනය කරලා අලෙවි කරනවා. ඒවායේ තියෙන ගැටලුවලට ආණ්ඩුව මැදිහත්වෙලා නෑ. මේ වෙලාවෙදි පෞද්ගලික වාසි නොබලා හොඳ පාලකයෙක් තෝරාගත යුතුයි. යුද්ධයක් තිබුණු කාලෙ රටට වඩා පසුගිය අවුරුදු තුන අරාජික වුණා. ඒක කතා කරලා වැඩකුත් නෑ. අපි අමාරුවෙන් ව්‍යාපාරයක් කරගෙන යද්දි ඒ භාණ්ඩය රජයෙන් පිටරටින් ගෙන්වලා අඩුවට විකුණනවා. ඉතින් කොහොමද රට හැදෙන්නෙ. රට හදන්න ආනයනය අඩු හෝ නවත්වන්නට ඕනෑ. අපට අවශ්‍ය දේ රටේම නිෂ්පාදනය කිරීමට පියවර ගන්න ඕන. රටේ තිබුණු මට්ටම හරි පවත්වාගෙන යන්න බැරි නම් මොන ආණ්ඩුවෙන්වත් පලක් නෑ.”

මෛත්‍රී මහත්තයා කළේ ලොකු වරදක්
රුවන් කුමාර - පොළොන්නරුව

දේශපාලනය ගැන නම් ඇත්තටම කනගාටුයි. මෛත්‍රී මහත්තයා කළේ වැරදි වැඩක්නෙ. නිත්‍යනුකූලව අගමැති කෙනෙක් ඉද්දි තමයි බල රහිත කෙනෙක් පත් කරල තියෙන්නෙ. ජනතාවගේ කැමැත්තෙන්නෙ රනිල් තේරුවේ. දැන් මොකද වෙලා තියෙන්නෙ මෛත්‍රීගේ කැමැත්තට අගමැති කෙනෙක් හදලා. ඒක වැරදියි. මේ කරපු දේ ගැන නම් සතුටු නෑ. අපිට පක්ෂ භේදයකුත් නෑ. වැරදි වැඩේ කරපු නිසා ආයෙත් එජාපයට ගියා නම් හොඳයි හිතනවා. එහෙමයි කියලා යහපාලන ආණ්ඩුව හොඳයි කියනවා නෙවේ. අවුරුදු තුනක් ගිහිල්ලත් කෙරුණු දෙයක් නෑ එයාලගෙන්. දෙපැත්තට ඇදි ඇදි හිටියා විතරයි. ඒ නිසා එජාපය තනි ආණ්ඩුවක් පිහිටවනවා නම් හොඳයි. ඒක වෙන එකක් කියලා හිතන්න බෑ. පොළොන්නරුවේ අපිත් මෛත්‍රී මහත්තයට ඡන්දය දුන්න මිනිස්සු. නමුත් කළේ ලොකු වරදක්. ඒක රටේම මතය. මේක මහා පාවාදීමක්. රනිල් ගැන දුක ඒකයි. හැබැයි ඡන්දෙකින් මහින්ද මහත්තයා පත්වුණා නම් මට සතුටුයි. ගමේ මිනිස්සුන්ගේ මතයත් මේක තමයි. මෛත්‍රීට ඡන්දෙ දීපු මිනිස්සුත් අසරණයි. මහින්දටත් ඡන්දෙ දුන්නා. මෛත්‍රීටත් දුන්නා. දැන්නම් දෙන්නෙ කොහොමත් රනිල්ට තමයි. අපි අසාධාරණයට කැමති නෑ.”

කළ දේ හොඳයි
කුමුදුලාල් - වෙන්නප්පුව

“මට හිතෙන විදිහට නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහොමත් හරියන්නේ නෑ. මහින්ද මහත්තයා ටිකක් හොඳයි. ඊට වඩා මම මෛත්‍රී මහත්තයට කැමතියි. ඒ නිසා කරපු දේ හොඳයි කියලා හිතෙනවා. 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවනවා කියලත් කියනවා. එතැනදී මොනවා වෙයිද දන්නෙ නෑ. අපිට ඕන මිනිස්සු විදිහට කරදරයක් නැතුව කාල ඇඳලා ඉන්න. රටේ සම්පත් ටික පරෙස්සම් කරන්න. විකුණන එක වැරදි දෙයක්. මහින්ද පත්වුණු පහුවදාම තෙල් අඩු කළා. ඕක නම් පට්ට මුලාවක්. රනිලුත් ආපු ගමන් කළේ ඒක. ඒවාට මිනිස්සු අල්ලන්න අමාරුයි. කාලය ඉවරවෙලා ගෙදර ගිය මහින්ද මහත්තයා බලෙන් ඇවිත් මොනවා කරනවද? පාඩුවේ විශ්‍රාම සුව විඳින්න තියෙද්දි මිනිස්සුන්ගේ කතා අහනවා අපරාදේ. ගිය පාරත් ගොඩක් අය ඡන්දෙ දුන්නෙ රනිල් මහත්තයට නෙවේ. මෛත්‍රී මහත්තයට.”

තිබුණටත් වඩා වැඩේ අවුල් කළා
ජිනසේන අළුදෙණිය - අරණායක

“මේක බොරු ව්‍යාපාරයක්. දේශපාලනය කියන්නෙම බල තණ්හාව විතරයි. ව්‍යවස්ථාව අනුව කරපු වැඩේ වැරදියි. ව්‍යවස්ථාවට අනුව නම් මේක පාර්ලිමේන්තුවේ විසඳාගත යුතු ප්‍රශ්නයක්. මහින්ද මහත්තයා එපා කියලනේ මෛත්‍රී මහත්තයා පක්ෂයෙන් එළියට ගියේ. දැන් ආයෙත් ඇවිත් ඉන්නෙ මහින්ද හොඳ වෙලාද? මේක මහා ජරා දේශපාලනයක් විදිහටයි අපි දකින්නෙ. මම නම් ආයෙ ඉදිරියට මොන මැතිවරණයකටවත් ඡන්දය භාවිත කරන්නෙ නෑ. රනිල් මහත්තයත් ඉක්මනට අයින්වෙයි පාර්ලිමේන්තුව රැස්වුණාට පස්සෙ. අපිට පැත්තක් නෑ. රනිලුත් කළේ හොඳ වැඩ නෙවේ. දෙපැත්තම වැරදියටයි අපි දකින්නෙ. මහින්ද එපාවෙලා මෛත්‍රී ගෙනාවේ. දැන් තිබුණට වඩා වැඩේ අවුල් කළා. දැන් මිනිස්සු යන්නෙ වැරදි අතට. මම හිතන්නෙ රට යන්නෙම වැරදි පැත්තට. එක්කෙනකුට දෙන්නකුට හොඳ අවශ්‍ය වුණාට බෑ බහුතරය වැරදි පාරෙ යනව නම් ඔහේ ගියාදෙන්. අපිත් දවසක මැරිලා යයි.”

වෙච්ච වැඩේ හොඳයි
නම සඳහන් නොකළ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි අයෙක්

“මහින්ද රාජපක්ෂ මහත්තයා පත්වුණු එක හොඳයි කියලා හිතනවා. කාලයක් රට අස්ථාවර වුණා. දැන් එහෙම වෙන එකක් නෑ. අපිට හොඳට කාල බීලා ඉන්න පුළුවන් වෙයි. ජනාධිපති වුණාට මොකද මෛත්‍රීපාල මහත්තයත් හොඳ නෑ. වැඩකට නැති වැඩ කරන්නෙ. නමුත් පාවාදීමක් කළා කියලා හිතන්නෙ නෑ. දේශපාලනඥයන් දෙපැත්තට පනිනවා. අපිට බහුතරය තියනවා කියනවා. පැනපු මිනිස්සු ආයෙම හැරිලා එනවා. මිනිස්සු විදිහට අපිට මේවා දකින එක හිසරදයක්. ඕකෙන් මේකෙන් වෙන්නෙ රට අස්ථාවර වෙන එකම තමා. මේවට වගකියන්න ඕනෙ මෛත්‍රී මහත්තයමයි.”

මේ ක්‍රමය රටට හරියන්නෙ නෑ
ආනන්ද - ගම්පහ

“වතුර ගලාගෙන යන පාරක් එකපාරම හරවන්න බෑ. ඒක කරනවා නම් අසාර්ථක වැඩක්. මිනිස්සු හැමෝම යන පාරේ අපිටත් යන්න වෙනවා. දැන් බලය මහින්දට යන එක කාටවත් නවත්තන්න බෑ. අපේ ළමයෙක්වත් ඉස්සරහට මේ රටේ ඉන්න එකක් නෑ. ඒක ළමයිගෙ වරද නෙවේ. මේ රටේ පාලකයන්ගේ වරද. මේ යන ක්‍රමය රටට හරියන එකක් නෙවේ. මේ රට අල්ලගෙන හිටපු සුද්දන්ට මල් තියලා වඳින්න ඕනෑ. ඒ අය නිසා තමයි අපි පාරකවත් යන්නෙ. නැත්නම් අපි තවමත් වැද්දෝ වගේ ඉන්නේ. රටේ යහපත් දෙයක් කළා නම් කළේ සුද්දො විතරයි. මේ රට නිදහස් කරගෙන කරලා තියෙන්නෙ මෝඩ වැඩක්. සුද්දාගෙන් පස්සෙ කිසි කෙනෙක් රට පාලනය කරලා නෑ. හොරාකනවා විතරයි. එදා සුද්දට යටත්වෙලා හිටපු හැම රටක්ම අද දියුණුයිනෙ. මහින්ද රාජපක්ෂ මහත්තයට මිනිස්සු කැමතියි. හේතුවක් හිතාගන්න බෑ. වාසියක් තියෙනවද දන්නෙ නෑ. රදල මිනිස්සුන්ගේ මාන්නය වැඩියි. ඒ අය මිනිස්සු එක්ක ඉන්න දන්නෙ නෑ. ඒකයි රනිල් මහත්තයා අද මේ තත්ත්වයෙ ඉන්නේ. සාමාන්‍ය මිනිස්සු එක්ක ඉන්නවා නම් ගැටලුවක් නෑ. රටේ ආර්ථික අමාරුවක් තියෙනවා කීවට ඒක පේන්නෙ නෑ. සුපිරි වෙළෙඳසලකට හරි කඩයකට හරි පාරට හරි බැස්සම පේනවා තත්ත්වය. ආර්ථිකය වැටිලා නෑ. අපි ඔතනට ගියත් කරන්නෙ ඕකමයි. ඒ ආණ්ඩුවත් එකයි මේ ආණ්ඩුවත් එකයි. මිනිස්සු මනසින් ආගාධයට වැටිලා බැණ බැණ ඉන්නවා.”

සමන්ත විල්තෙර