
ආණ්ඩුව පෙරළියෙන් පසු උදාවී ඇති දේශපාලන සංක්‍රාන්ති සමයේ බොහෝ පුවත් මැවෙමින් පවතී. දින දින යාවත්කාලීන වන දේශපාලන තතු විත්ති අතරේ පක්ෂ මාරුකිරීම්, ලිපි හුවමාරු කරගැනීම් මෙන්ම විවිධ ප්‍රකාශයන් සම්බන්ධවද නිතර කියැවේ. ඒ අතරින් පසුගිය කාලයේ පැවති උද්ඝෝෂණ විරෝධතා දේශපාලන උණුසුම තවත් තීව්‍ර කළේය. බලපෙරළිය හේතුවෙන් පක්ෂ විපක්ෂ පාර්ශ්වය පැවැත්වූ මෙම විරෝධතා, උද්ඝෝෂණ ජන රැලි වල තතු විත්ති සොයා මතකයන් අතර සංචාරයකට අප සැරසෙමු. මේ ලියැවෙන්නේ බල අරගලයේ සටන් පෙරමුණේ කතාවයි.
පසුගිය කාලයේ රටේ විශාල ජනතා අවධානයකට ලක්වූ ජන රැලියක් හා විරෝධතා පෙළක් නොවැම්බර් 05 සහ ඔක්තෝබර් 30 යන දෙදින පැවැත්විණි. පසුගිය පස්වැනිදා නව ආණ්ඩුව පාර්ශ්වයේ ජන රැලිය පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්වුයේය. එය “රට රකින ජන මහිමය” ලෙස නම් කර තිබිණි. පළමුව එම සටන් පෙරමුණේ මතකයන් අපි අවදි කරමු.
සඳුදා දින පැවැත්වූ මෙම ජන රැලිය සංවිධානය කිරීමේ වගකීම අලුත හිතවත් වූ ශ්‍රීලනිප - ඒකාබද්ධ සැමට පැවරුණේය. ඒ අනුව දිවයිනේ නන්දෙසින් පිරිස් මේ සඳහා සහභාගී කරවීමේ වගකීමද ආසන සංවිධායකයන්ට පැවරී තිබුණි. බස් රථ විශාල ප්‍රමාණයක් මේ අනුව කොළඹ බලා උදෑසනම ගමන් අරඹා තිබුණේය. උදෑසන වරුවේ පිටත් වූ බස් රථ මධ්‍යහ්න වනවිට දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිවිසුම අසල රථවාහන තදබදයක් නිර්මාණය වීමට හේතුව විය. එය කි.මී. කිහිපයක් දිග රථවාහන තදබදයකි.
පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුමේ දියත උයන අසල දී රැලිය ආරම්භ කරන ලදී. ජනපති හා අභිනව අගමැති රැලියට සහභාගී වීමට පැමිණියේ එකම මොහොතකදීය. ඔවුන්ට උණුසුම් ප්‍රතිචාර ලැබිණි. උදෑසන පටන් පැවති වැසිබර කාලගුණය හේතුවෙන් රැලියට ආරම්භයේ සිටම බාධා ඇතිවිය. රැලියට විශාල ජන සහභාගීත්වයක් තිබිණි. නව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම පැති මාරුකළ ඇමැතිවරුද වේදිකාවේ සිටියහ. අගමැති ජනපති එක්ව ජනතාවට ආචාර කළහ. දෙපාර්ශ්වයේම ප්‍රබලයෝ ජනතාව ඇමතූහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රැලිය අමතමින් මෙසේ ප්‍රකාශ කළේය.
“මම මුදල් අමාත්‍යාංශයේ වැඩ බාරගත්තම මම ජනාධිපතිතුමා සමඟ කතා කරලා බදු බර සහ තෙල් මිල අඩුකරන්න පුළුවන්ද කියලා බැලුවා. ඒක එක දවසින් කරන්න පුළුවන් වුණා. රට විදේශීකරණයෙන් මුදවාගෙන රට යළි සංවර්ධනය කිරීම ආරම්භ කරනවා. ජනාධිපතිවරයා සමඟ එක්ව මේ ගමන ඉදිරියට යනවා.”
ජනාධිපතිවරයාගේ කතාවද සුවිශේෂී විය. එහි කියැවුණු දෑ ගෙවුණු සතියේ දේශපාලන උණුසුමට සෘජුව බලපානු ලැබීය. ඉන් එක් ප්‍රකාශයක් වූයේ මෙයයි.
“මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකමට පත් කරන්න මාස දෙකකට කලින් ඉඳලා මම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට නිවසට එන්න කියලා කිව්වා. මම කිව්වා රනිල්ගේ වැඩපිළිවෙළ මට ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් කරු ජයසූරිය වගේම සජිත් ප්‍රේමදාසත් කිව්වා මට බැහැ නායකතුමාට විරැද්ධ වෙන්න කියලා.”
දෙවැන්න වූයේ සමනළ කතාවය.
“ආණ්ඩුවේ තීන්දු ගත්තේ ජනපති අගමැති නොවෙයි. ආණ්ඩුවේ තීන්දු ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ සමනළ රුළයි කියන එක මම කියන්න ඕනෙ.”
කෙසේ හෝ වැසි අතරේම සඳුදා “ජන මහිමය” රැලිය නිමාවිය. එම රැලිය සමඟ ඈඳුණු දේශපාලන සංසිද්ධි කිහිපයක්ද සිහිපත් කිරීම වටී. ජනපතිගේ සමනළ කතාව සතියේ සමාජ ජාල උණුසුම් කළ තේමාවක් විය. මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා තිබුණේ කූඩැල්ලෙක් වෙනවාට වැඩියෙන් සමනළයෙක් වීම හොඳ බවය. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තමන් ජනපති හමුවන්න ගියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසරය ඇතිව බවය. ඒ අතර 7 වැනිදා සමරිසි ප්‍රජා සාමාජිකයන් පිරිසක් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. සමනළ යන යෙදුම භාවිත කරමින් ජනාධිපතිවරයා ප්‍රසිද්ධ වේදිකාවේ සිදුකළ අපහාසය හෙළා දකින බව ඔවුහු කියා සිටියහ. මේ පිළිබඳව අදහස් දැක්වූ රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා යම් ප්‍රජාවකට අපහාස කිරීමට අදහස් නොකළ බවයි.

තවත් සැලකිය යුතු විරෝධතා කිහිපයක් ගෙවුණු දින කිහිපයේ පවත්වා තිබුණි. එම සටන් පෙරමුණුවල තත්ත්වය මෙසේය. සඳුදා දිනයේදීම කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට එක්සත් ජාතික පෙරමුණේ වෘත්තීය සමිති කිහිපයක් උද්ඝෝෂණයක නිරත විය. මේ හේතුවෙන් එදින සවස අවට මාර්ගවල තදබදයක් නිර්මාණය වී තිබුණි. සමරිසි ප්‍රජාවද ජනපතිගේ සමනළ ප්‍රකාශයට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර එය සමාජ මාධ්‍යවල විශාල අවධානයක් දිනා ගත්තේය. ඒ හරහා විවිධ මතගැටුම්ද සංවාදයන්ද නිර්මාණය වී තිබුණි.
බල පෙරළියේ මුල් අවදියේම ජනතා විමුක්ති පෙරමුණ විසින්ද නුගේගොඩදී දැවැන්ත ජනහමුවක් පවත්වා තම මතය ප්‍රකාශ කරන්නට යෙදුණු බවද අප මෙහිදී සිහිපත් කළ යුතුය.
පැරීසියේදී ලංකිකයන් පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් දියත් කර තිබුණේ පසුගිය 4 වැනිදාය. පැරිස් එක්සත් ජාතික පක්ෂ ශාඛාව මගින් මෙය සංවිධානය කර තිබුණි. මේ අතර එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කරන ලද බල වියරුවෙන් රට බේරාගැනීම යන තේමාව යටතේ රථ පෙළපාලියක්ද පසුගිය බ්‍රහස්පතින්දා දින කොළඹදී පැවැත්විණි.
දැන් අප ඔබව රැගෙන යන්නේ බල අරගලයේ සංක්‍රාන්ති සමයේ වූ ප්‍රබලතම ආණ්ඩු විරෝධී රැලියේ මතක අතරටය. “යුක්තියේ ජනහඬ” යන මැයෙන් සංවිධානය කර තිබූ මෙම ජනරුලිය ඔක්තෝබර් 30 වන දින එනම් බලපෙරළියෙන් සතියක් ඉක්මවීමට පෙර සංවිධානය විය. “ජනවරමට ගරුකරනු - පාර්ලිමේන්තු නැවත කැඳවනු” යන්න මෙම රැලියේ තේමාව වූයේය. කඩිමුඩියේම එජාපය කොල්ලුපිටිය මංසන්ධිය අසල මෙම දැවැන්න ජනහමුව සංවිධායක කිරීමට පිඹුරුපත් සකසා තිබුණි. එහෙත් කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමකට අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ මහජන පීඩාවක් ඇති නොවන සේ රැලිය පැවත්වීමට නියෝග කරන ලදී. ඒ අනුව එදින ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණ.
කොල්ලුපිටියේ මංසන්ධියේ පැවැත්වීමට නියමිතව තිබුණු “යුක්තියේ ජනහඬ” රැලිය ආරම්භ වූයේ අරලියගහ මන්දිරය ඉදිරිපිටින්ය. ඒ අනුව අරලියගහ මන්දිරය ඉදිරිපිට තාවකාලික වේදිකාවක් නිර්මාණය විය. මෙම රැලිය බල පෙරළියෙන් ඉතා කෙටි කාලයක් තුළ සංවිධායක වීමත් බලයෙන් පහකරන ලද එජාපය ප්‍රමුඛ බලවේග විසින් සංවිධානය කිරීමත් හේතුවෙන් එදින අධික ජනගඟක් කොල්ලුපිටියට ගැලුවේය. තාවකාලික වේදිකාවේ එජාප නායකයෝ හා සහාය දක්වන සෙසු පක්ෂ නායකයෝද වූහ. ඔවුන්ගේ අදහස් දැක්වීම ඇරඹුවේ ඒ අනුවය.
වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සම්බන්ධයෙන් තමන් සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් සමාව ඉල්ලන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පැවසීය. මේ වනවිට ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් පාර්ලිමේන්තුව යළි විවෘත කිරීම හැර වෙන විකල්පයක් නැති බවත් 2015 වසරේදී බලයට පත්වීමෙන් පසු යහපාලන රජය කිසිවිටක මාධ්‍ය ආයතන හෝ වෙනත් කිසිදු ආයතනයකට බලයෙන් ඇතුල් වී මහජනතාවට හිරිහැර නොකළ බවත් මන්ත්‍රි පාඨලී චම්පික ප්‍රකාශ කර සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක මහතාද අදහස් දැක්විය. “ඔබතුමන්ලාට වගේම මටත් මේ පක්ෂයෙන් හිරිහැර වුණා. අපි ඒක පැත්තකට දාමු. අපි එකතුවෙමු. සැබෑ එක්සත් ජාතික පෙරමුණක් විදිහට ආණ්ඩුවේ බලය පිහිටවමු” යැයි ද රැලිය අමතා ප්‍රකාශ කළේය. තවත් එජාප ප්‍රබලයෝ බොහෝ දෙනෙක් මෙහිදී ජනතාව ඇමතූහ. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද අරලියගහ මන්දිරයේ සිට පැමිණ රැස්ව සිටි පිරිස ඇමතුවේය.
“විවිධ ආගම්, ජාති නියෝජනය කරන දේශපාලනඥයන් එක්සත් ජාතික පෙරමුණ ලෙස එක්වුණේ රටේ යහපාලනය වෙනුවෙන්. සියලුම පක්ෂ හා සිවිල් සංවිධාන එකතු වී ඉල්ලන්නේ පාර්ලිමේන්තුව යළි රැස් කරන්න කියලා.” හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.
රැලිය අතරතුරදී මාර්ග අවහිරතාද ඇතිවිය. මෙවර රැලි පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කරන ලදී. රංජන් රාමනායක මහතා ගූගල් සර්ච් කර අගමැති සෙවූ කතාව සමාජ ජාලවල උපහාසයට ලක්විය. පසුව ආණ්ඩුවේ මැති ඇමතිවරු ද මාධ්‍ය සාකච්ඡා කැඳවමින් රැලියේ ප්‍රකාශවලට පිළිතුරු දුන්හ.
විරෝධතා, උද්ඝෝෂණ රථ පෙළපාළිය සමඟින් තවත් උණුසුම් දේශපාලන සතියක් කිහිපයක් නිමාවූයේ එසේය. අප සඳහන් කළ උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාරවලට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල නව අගමැති පත්කිරීමට සහාය පළකිරීමේ හා විරෝධය දැක්වීමේ ව්‍යාපාර සංවිධානය කර තිබුණි. ඒ කෙසේ වෙතත් අදින් එළඹෙන සතියේ දී දේශපාලනයේ මෙතෙක් පැවති උණුසුම ගිනියම් වනු නියතය. ඔබට අසන්නට දකින්නට බොහෝ දෑ නිර්මාණය වනු ඇත. මෙම බලපෙරළිය සමඟ නිර්මාණය වූ සංක්‍රාන්ති සමයේ විචාර බුද්ධියෙන් යුතුව ක්‍රියා කරන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. නොනිමි බල අරගලයේ සටන් පෙරමුණේ සිට අපි අදට මෙසේ සමුගනිමු.
♦ චමිඳු නිසල් ද සිල්වා