
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟම ශ්‍රී ලංකා නව අග්‍රාමාත්‍යවරයා ලෙසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 26 වැනිදා රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී හදිසියේම අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
එහෙත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බවත්, ව්‍යවස්ථා විරෝධී පාලනයකට රට යටත් කරන්නට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බවත් පවසමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අරලියගහ මන්දිරයේ රැඳී සිටී.
මේ හේතුව මත අද වනවිට රට තුළ අස්ථාවරභාවයක් පැනනැගී ඇති අතර දේශපාලනයේ ඉහළ නිලතල දරණ ඇතැම් ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් වරින්වර පැති මාරු කරගනිමින් විවිධ මත ඉදිරිපත් කර රටේ ජනතාව මුලාකිරීමට සැරසීම ඒ අස්ථාවරභාවය ඉහළ දැමීමට හේතු වී තිබේ.
රට මෙලෙස අස්ථාවරභාවයට පත්වෙද්දී ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් පිල් මාරු කරද්දී විවිධ විද්වත්හු විවිධ අදහස් පළ කළහ. සාමාන්‍ය ජනතාව ඇතුළු රටේ බොහෝ දෙනා මේ පිළිබඳ අනාවැකි පවා පළ කළහ.
මේ දිනවල ලංකාවේ පවතින මෙම ව්‍යාකූල තත්ත්වය හමුවේ රටේ හෙට දිනයේ කුමක් සිදුවේද යන්න පිළිබඳව අපි ප්‍රධාන පෙළේ ජ්‍යොතිෂවේදීන් කිහිපදෙනකුගෙන් අදහස් විමසුවෙමු.
ජයගන්නේ මහින්ද පාර්ශ්වයයි - ප්‍රවීණ ජ්‍යොතිෂවේදී පියසේන රතුවිතාණ මහතා
මෙතෙක් බලවත්ව උච්චව ගමන් ගත් අඟහරු මකර රාශියේ සිට කුම්භ රාශියට ගමන් කළේය. මෙය දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබේ. මෙය මාස හයක් පමණ කාලයක් පැවතුණි. මේ නිසා පසුගියදා බලවත් උච්ච බලය ඉවත් වුණි. මෙය පාපියෙක් පාපියෙක්ගේ නිවෙසට යාමක් ලෙසද හැඳින්විය හැක. මෙයින් අර්බුදකාරී තත්ත්වයක් මතුවේ. ඉදිරියේදී මේ අර්බුදකාරී තත්ත්වය මඳක් වෙනස් වේ.
අද වෙද්දී දේශපාලන සමාජය කොටස් දෙකකට බෙදී ඇත. ප්‍රධාන පක්ෂ දෙක දෙපැත්තකටත් මහජනතාවගේ බලය කොටස්වලටත් බෙදී ඇත. මේ තුන්කෝණයෙන් මහජනතාවගේ බලය ශක්තිමත්ය. මහජනතාවට අවාසිදායක තත්ත්වයක් පෙන්නුම් නොකරයි. නමුත් අනෙකුත් පක්ෂ දෙක අතර විවිධ මත පෙන්නුම් කරයි. මෙම පක්ෂ දෙකම එක මායිමේ ගමන් කරන බවක් පෙනේ. තරාදියේ දෙපැත්ත ළඟ ළඟම එහාට මෙහාට පැද්දි පැද්දී තියෙන්නාක් මෙන් මේ පක්ෂ දෙකම එක ළඟම ගමන් කරයි.
ජ්‍යොතිෂයට අනුව බලවත් වෙනසක් රට තුළ ඇතිවන බව පෙන්නුම් කරයි. ඒ වෙනස කටුක මෙන්ම දරදඬු බවද පෙන්නුම් කරයි. කටුක අත්දැකීම්වලට මුහුණදෙමින් නරක මුහුණුවරයන් පෙන්වමින් වෙනස් වේ. ජ්‍යොතිෂයට අනුව කිසිම කෙනකුට ජයග්‍රහණයක් පෙනෙන්නට නොමැතිකම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවන බව පෙනෙන්නට තිබේ. එම විසුරුවා හැරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ පැත්තට ජයග්‍රහණයක් පෙන්නුම් කරයි. නමුත් එය විසුරැවා හැරීමෙන් පසුව ඇතිවන ජයග්‍රහණයකි. බොහෝ කලබලකාරී තත්ත්වයක් මැද, ඝාතන පවා වාර්තා වෙමින් මේ අස්ථාවරභාවයෙන් මාසයක් පමණ කාලයක් ගෙවීමට සිදුවේ. මේ රට තවත් කාලයක් වත්මන් ජනාධිපතිතුමා යටතේ පාලනය වේ.
අවසන් ජයග්‍රාහකයා රනිල් - ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සේන අම්බලම්ගොඩ මහතා
මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින සටනේදී ඔවුන්ගේ අංග පංචකය පරීක්ෂා කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පැවතියේ සියයට හැටක් පමණි. රනිල් වික්‍රමසිංහ මහතාට සියයට අසූවක් අංග පංචකය තිබෙන බව පැහැදිලි වේ.
අංග පංචකය මගින් ඕනෑම කෙනකුගේ ජය හා පරාජය තීරණය කළ හැක. රනිල් වික්‍රමසිංහ මහතා පංච පල මහා යෝගයෙන් උත්පත්තිය ලබා ඇතිබව පෙන්නුම් කරයි. පසුගියදා සිදුවූ ගුරු මාරුවට අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රයේ ‘රැඳි ගුරු’ සහ ‘ප්රවිශ්ට ගුරු’ ලබාදෙන කිරණ සංඛ්‍යාවද රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන කිරණ සංඛ්‍යාවේ ප්රබෝධාත්මක බල වර්ධනයද වෙනස් වී ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට මේ අනුව ‘ගාරව සංඛ්‍යානයට’ පත්වීමට හැකියාව යෙදේ. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාට යෙදෙන කිරණ සංඛ්‍යාවට අනුව ඔහු ‘අතිගාරව සංඛ්‍යානයට’ පත්වේ. ගාරව සංඛ්‍යානයට වඩා ගෞරවණීය දේ ලෙස අතිගාරව සංඛ්‍යානය හැඳින්විය හැක. එහි ගෞරවණීයභාවය වැඩිය. මේ තුලනතාවය මත ගාරව පසුකරගෙන අතිගාරව ගමන් කරයි. එය වැළැක්විය නොහැක. ගාරව යටපත් කොට අතිගාරව සංඛ්‍යානය හිස ඔසවයි.
ගුරු ගාරව ස්ථානයට පැමිණි අතර එය අතිගාරව සංඛ්‍යානයට පත්වීමට උත්සාහ ගනී. ගාරව තත්ත්වයේ පසුව පහළොවක් විස්සක් එකතු වුවද ‘අතිගාරව’ පැරදිය නොහැක. ගාරව හත්සිය විස්සක් අතිගාරව එකකට සමාන වේ.
මේ නිසා අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රබල ග්‍රහ පිහිටීම මගින් මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොව ජනාධිපතිවරයාට පවා හකුලාගැනීමට අවසානයේදී සිදුවනු ඇත. කේන්ද්‍රයේ ක්ෂේත්රගත කිරීමෙන් අවසන් තීන්දුවට පැමිණෙන විට පිළිතුර වන්නේ ජයග්‍රාහකයා රනිල් වික්‍රමසිංහ මහතා බවය.
ග්‍රහචාර විධි මෙන්ම අංග පංචක පරීක්ෂණ තුළින් ලැබෙන අවසන් පිළිතුර වන්නේද රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා වන බවය. මේ ගෙවෙන්නේද ලබා ඇත්තේද රනිල් වික්‍රමසිංහ මහතාගේ වාරයයි.
මේ අනුව බැලූ කල අගමැති තනතුර සඳහා නියම සුදුසුකම් ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාටය. සර්වබල සේනාසන යෝගයෙන් පංච යෝග බලයෙන් උපන් රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ සියලු බලවේග පරදවා අවසානයේදී සිය බලය තහවුරු කරගනු ඇත.
විසඳුමක් එන්නේ මාර්තු මාසේ - ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.ඒ.යූ. සරත්චන්ද්‍ර මහතා
මේ වසරේ ඔක්තෝබර් 11 වැනි දින ගුරු මාරුවක් සිදුවුණි. මේ ගුරු මාරුවත් සමඟ රට තුළ විශාල වෙනසක් සහ විශාල පෙරළියක් සිදුවුණි. එය මේ තත්ත්වය උදාවන්නටත් ප්‍රථම මා විසින් මාධ්‍ය කිහිපයක් ඔස්සේම දැනුවත් කෙරිණි. ඒ අනාවැකියත් සමඟ රට තුළ විශාල පෙරළියක් සිදුවිය.
මෙම ගුරු මාරුව මගින් සිදුකරනු ලබන්නේ ප්‍රඥාව ලබාදීමත්, ප්‍රඥාවන්තයන් සිටින අය ළඟට ගැනීමත්ය. මේ නිසා බලතලවල සිටින අයට තම රාජකාරි නිසි පරිදි නොකරන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කිරීමක් පෙරළියක් මගින් සිදුකරයි. මේ සිදුවන්නේද එයමය.
රට තුළ සිදුවූ මේ අස්ථාවරභාවය ඉදිරියට තව තවත් වෙනස් වේ. ඒ වෙනස් වීමත් සමඟ මේ ගුරැ ග්‍රහයා මගින් ප්‍රඥාවන්තයන් පිරිසක් රටට බිහිකිරීමක් හෝ සිටින අයට ප්‍රඥාව වැඩිකිරීමක් සිදුකරයි. මෙම අස්ථාවරභාවය ලබන වසරේ මාර්තු මාසය වනතුරු පවතින අතර ඊට පෙර රට තුළ පවතින මෙම ප්‍රශ්න විසඳීමක් පෙන්නුම් කරයි. ඉන් පසුව කිසිවකුත් නොහිතන සිදුවීමක් සිදුවිය හැක. බුධ ග්‍රහයා සෙනසුරුගේ නැකැතට ගමන් කිරීම නිසා රට තුළ හැලහැප්පීම්, කලකෝලහල තවදුරටත් ඇතිවිය හැක. නමුත් අවසානයේදී මෙම අස්ථාවරභාවය වෙනස් වී රට හොඳ සාමකාමී රටක් බවට පත්වේ.
►දිශානි ජයමාලි