
ක්‍රිකට් තරග මුදලට පාවාදීමට වැට බැඳීම සඳහා ප්‍රතිකර්මයක් ලෙස ක්‍රීඩකයන්ගේ වත්කම් පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා සූදානම් වෙයි. එම පියවර එතරම් පහසු කටයුත්තක් නොවන බවත් ඒ සඳහා පාර්ලිමේන්තු පනතක් සංශෝධනය කළ යුතු බවත් නීති විශාරදයෝ පවසති. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා කැබිනට් අමාත්‍යවරයකු වීම නිසා මෙම කටයුත්ත එතරම් අපහසු කටයුත්තක් නොවීමට ඉඩ ඇති බව සමහරුන්ගේ මතයයි.
‘‘අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඔවුන්ගේ වත්කම් හෙළි කිරීමට එකඟවීම ඉතාම ප්රගතිශීලි පියවරක්. ලෝකයේ වෙනත් රටවල ක්‍රිකට් ක්‍රීඩකයන්ටද මෙය හොඳ ආදර්ශයක්. මේ සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු නෛතික බැඳීමක් නෑ. නමුත් තරග පාවාදීම සම්බන්ධයෙන් නොයෙකුත් කථා ප්‍රචාරය වීමෙන් ක්‍රීඩකයන් දැඩි පීඩනයකට පත්ව සිටිනවා. ඒ අනුව අපි නීති සංශෝධනයක් කරලා රට නියෝජනය කරන ක්‍රීඩකයන් සහ ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට වසරකට වරක් වත්කම් සහ බැරකම් හෙළිකිරීමේ නීතියක් ගෙන ආවොත් එය ක්‍රීඩාවට සුබදායි වෙනවා” යැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.
1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක දරණ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ රාජ්‍ය සේවකයෝ සිය වත්කම් සහ බැරකම් හෙළිකිරීමට නීතියෙන් බැඳී සිටිති. මෙම පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට පැවරී තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එහිදී කිසිදු වගකීමක් පැවරී නොමැති බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය.
රාජ්‍ය ආයතනයක සේවකයකු නම් සිය ආයතන ප්‍රධානියාටද, අමාත්‍යංශ සේවයකුනම් අමාත්‍යංශයේ ලේකම්වරයාටද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නම් කථානායකවරයාටද, සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කළ යුතුය. විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයකු නම් තනතුරට පත්වන අවස්ථාවේදී මෙන්ම වාර්ෂිකවද වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කළ යුතුය. විධායක නොවන රාජ්‍ය සේවකයකු නම් රැකියාවට පත්වන අවස්ථාවේදී පමණක් වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කළ යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් රාජ්‍ය සේවකයන් නොවේ. ඔවුහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වාර්ෂික ගිවිසුමකට බැඳී ක්‍රීඩා කරති. ඒ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයක් ලබාගැනීමට නම් ඒ සඳහා වන වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ පනත සංශෝධනය කිරීම අනිවාර්ය වේ.
“පුහුණුකරු චන්දික හතුරුසිංහ මට කිව්වා ක්‍රීඩකයන් සමඟ ටිකක් කථා කරන්න කියලා. ඒ හමුව සුහද එකක්. ඒ හමුවෙදී තමයි මම ක්‍රීඩකයන්ට මේ යෝජනා කළේ. වත්කම් ඉදිරිපත් කරන්න ක්‍රීඩකයන් සියලු දෙනාම කැමති වුණා. ‘‘ක්‍රීඩකයන් මට කිව්වා ඇතැමුන් කියනවා අපි ජනතාවගේ බදු මුදල්වලින් ක්‍රීඩා කරන්නේ කියලා. ක්‍රිකට් ක්‍රීඩකයෝ වැඩියෙන්ම බදු ගෙවන පුරවැසියන් යැයි මෙහිදී මතක් කළ යුතුයි” යැයි ඒ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ක්‍රීඩකයන් සුහද සාකච්ඡාවකදී වත්කම් හෙළි කිරීමට එකඟ වුවද සත්‍ය වශයෙන්ම ඊට එකඟවේදැයි සැකසහිතය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීතිරීතිවලට අනුව ක්‍රීඩකයන්ට එවැනි බැඳීමක් තබාගත හැකිද යන්න ප්රශ්නයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමාත්‍යවරයා යටතේ පැවතීම හේතුවෙන් ඇතැම්විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ බැඳීම් ලිහාදීමට ඉදිරිපත් විය හැකිය.
මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මෙන්ම ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශද ලබාගැනීමට බලාපොරොත්තු වන බවද පවසයි. එය බොහෝවිට නැති ප්‍රශ්නයක් නිර්මාණය කිරීමකට මඟ විවර කිරීමක් විය හැකිය. මෙම තත්ත්වය පිළිබඳව ඇතැම් විට අන්තර්ජාතික ක්‍රීඩා සංගම්වලට පැමිණීමද යෑමට ඉඩ තිබේ. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ උත්සාහයට ශක්තිය දිය යුතුය. වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ පනත සංශෝධනය කර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩා සංගම් නිලධාරීන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාගත හැකි වුවහොත් එය ක්‍රීඩාවේ අනාගතයට හොඳ කටයුත්තකි.
යොහාන් භාසුර