
සාමාන්‍යයෙන් නොවැම්බර් මාසය අය-වැය යෝජනා වෙනුවෙන් වෙන් කෙරේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කිරීම අනුව සැලැස්ම වෙනස් වී ඇත. ජනාධිපතිවරයාගේ ඇරයුම අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරැම් දී තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයන් ඉවත්කර ඇති බව ප‍්‍රකාශ වන නමුත් එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායම එය පිළිගැනීමට සූදානමක් නැත. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වී රට ගොඩනගන්නට සන්ධාන ආණ්ඩුවක් පිහිටුවාගත් නමුත් අවුරුදු තුනක් හා මාස කිහිපයක් ඇතුළත රට ගොඩනැගීම වෙනුවට විශාල ව්‍යවස්ථා අර්බුදයකට රට තල්ලුකර තිබේ. එය සමතයකට පත් කරගැනීම පහසු නැත.
පසුගිය වසර තුන තුළ මෙරට පොදු ජනතාව ආර්ථික ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් විශාල කැපවීමක් කළ බව නොරහසකි. ගෙවන්නට ඇති ණයබර සෑම අවස්ථාවකදී ම මෛත්‍රී රනිල් ආණ්ඩුව සෑහෙන වතාවක් අවධාරණයෙන් පෙන්වන ලද ප‍්‍රමුඛ කාරණයකි. දෙස් විදෙස් ණය ගෙවන අතරතුර එම ණය ගෙවීම ඉදිරියේ රට පත්ව ඇති ආර්ථික අමාරැකම් හුවා දැක්වීම නිතර සිදුවිය. රාජ්‍ය ආදායම සීමා වූ සහ විදේශ සම්පත් හිඟ වූ කාල වකවානුවක ආර්ථිකය නිවැරදි මගට ගැනීම සඳහා පුළුල් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එයට අවශ්‍ය විදේශ සම්පත් ප‍්‍රදානය කරන ලද අතර ඒ සමග ආර්ථිකය නිසිමඟට ගැනීම අරමුණු කරගෙන බරපතළ යෝජනා පටවා තිබුණි. එකක් වූයේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයයි. සමෘද්ධි සහන අවශ්‍ය ජන කොටස ස්ථිර වශයෙන් වෙන්කර එම පිරිස පමණක් නඩත්තු කරන සේ සහන කප්පාදුවට යෝජනා කරන ලදී. ඛනිජ තෙල් හා විදුලිය වැනි අංශ වෙළෙඳපොළ මිල අනුව අලෙවි කරන මිල සූත‍්‍ර හඳුන්වාදීම තවත් යෝජනාවකි. බදු නැංවීම මගින් රාජ්‍ය ආදායම තර කර ගැනීමට නියම වී තිබුණි. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක ප‍්‍රතිශතයක් දක්වා බදු වැඩිකරන යෝජනා ක‍්‍රියාත්මක කරන්නට යෝජනා කරන ලද 2018 වසරේ අය-වැය විශාල අප‍්‍රසාදයකට පත් වූ බව රහසක් නොවේ. ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව සීමා කිරීමෙන් ආර්ථිකයේ වේගය අඩුකර ප‍්‍රතිසංස්කරණයකට ගමන් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශය වී තිබුණි.
ලෝකයේ නොයෙක් රටවල් මූල්‍ය අරමුදලේ සැලසුම් හේතුවෙන් දේශපාලන වශයෙන් අගාධයකට පත්වූ බවට සාක්ෂි උවමනා තරම් තිබේ. අරමුදලේ නියෝජිතයන් ඉලක්කම් හදා ලේඛන ඉදිරිපත් කරන නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමවලට ඒවා ගැලපෙන්නේ නැත. මනුස්සකම අඩු තීරණවලින් ආණ්ඩු අප‍්‍රසාදයට පත්වන අතර ඒවා ක‍්‍රියාවට නගන රටවල නායකයන්ගේ ඉරණම කනගාටුදායක අන්දමට අවසන් වූ අවස්ථා බහුලය. උපදෙස් කෙසේ වෙතත් රටට ගැලපෙන රාමුවක් සකස් කරගැනීමට දේශීය විද්වතුන්ට හැකියාවක් තිබිය යුතුය.
ආර්ථිකය අවදානම් අඩවියක තිබියදී එය ගොඩනගන සැලසුම් ක‍්‍රියාවට නගමින් සිටි අවස්ථාවක ආණ්ඩු පාලනය වෙනස් වී තිබේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැති ධුරයට පත්ව සිටී. හෙතෙම පැවැති ආණ්ඩුවාර වල දී 2005 සිට 2015 දක්වා අය වැය කටයුතුවලට සම්බන්ධ වී සිටි පරිණත අත්දැකීම් සහිතය. මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔහු ක‍්‍රියාකළ ආකාරය ගැන ක්ෂේත‍්‍රයේ විශේෂඥයන්ට ගැටලු ඇත. නමුත් ප‍්‍රායෝගිකව හසුරුවා තිබේ. ශ‍්‍රී ලංකාව යුද ගැටුම් සහිත කාල පරිච්ඡේදයක උග‍්‍ර මුදල් හිඟයක් පවතින අවස්ථාවක පවා ජනතා සහන අත් නොහැර පවත්වාගෙන යන්නට හැකි වූ අතර එය විශේෂත්වයකි. එය කරන්නට හැකියාව ලැබුණේ කෙසේද? සෘජු බදු අඩු මට්ටමක පවත්වාගෙන යන අතරවාරයේ වක‍්‍ර බදු පැනවීම අනුගමනය කරන ලද උපක‍්‍රමය බව සඳහන් කළ හැකිය. අනෙක ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඉහළ පහළ යන අවස්ථාවල දී වාසිය ආණ්ඩුව භාරයේ තබා ගැනීමය. තෙල් මිලෙන් වාසි ගැනීම එවකට මහා භාණ්ඩාගාරය අනුගමන කළ ප‍්‍රතිපත්තිය වූ අතර ඉහළ වාසිසහගත මිලක රට තුළ ඉන්ධන අලෙවියට ඉඩ සලසා එයින් ලැබෙන වාසි රජයේ ආදායමට නතුකර ගත්තේය. ඉන්ධන මිල අඩු කිරීමට අධිකරණය පවා බලපෑම් කළ නමුත් එය ව්‍යවර්ථ විය. ජාත්‍යන්තර ගුවන් සේවා හා නැව් සමාගම් ශ‍්‍රී ලංකාවෙන් ඉන්ධන මිල දී ගැනීම සීමාකළ අතර එයට හේතුවූයේ ජාත්‍යන්තර මිල ගණන් වලට වඩා වැඩි මට්ටමක පැවැතීමයි. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පවා වෙනත් රටවලින් ඉන්ධන ලබා ගැනීමට හුරැ වූ බවට අදහස් ප‍්‍රචාරය විය. නමුත් එම වාසියෙන් ආර්ථිකය හැසිර වූ එවකට පැවැති ආණ්ඩුව පරාජයට පත්කරන දැවැන්ත චෝදනාවක් සේ පෙළ ගැසුණේ ඉන්ධන මිල බව සඳහන් කළ යුතුය. සම්මුති ආණ්ඩුව බලයට පත් වූ වහා එහි මුදල් අමාත්‍යව සිටි රවි කරුණානායක මහතා තෙල් මිල අඩු කළ අතර පසුව එය බලවත් ප‍්‍රශ්නයක් විය.
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මුදල් අමාත්‍යංශ්‍ය බාරගත් වහා ජනතාව වෙනුවෙන් සහන ගණනාවක් ප‍්‍රකාශයට පත් කළේය. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගණනාවක බදු අඩු කළ අතර දුරකථන බදු අඩුකිරීම ඒ අතර කැපී පෙනේ. ඉන්ධන මිල පහත හෙළීය. ගොවි ජනතාවට බලපාන තීරණ හා බැංකුවලින් තැන්පත් පොලිය මත අයකළ බදු ඉවත් කිරීමද අවධානයට ගත යුතුය. මෙම තීරණ සමග 2018 වසරේ අය වැය ඇස්තමේන්තු වෙනස් වීමට බැරි නැත. වසරේ මුල් මාස අට තුළ පවා අතිරේක ඇස්තමේන්තු ගණනාවකින් රජයට අවශ්‍ය මුදල් ලබා ගැනීමට මහා භාණ්ඩාගාරයට නියම වූ පසුබිම තුළ ආදායම් උපයා ගත හැකි බදු ඉවත් කිරීම බොහෝදුරට කල්පනා කර ගත් අවදානම් තීරණයක් බව සඳහන් කළ යුතුය.
කෙසේ වෙතත් මෛත‍්‍රී - මහින්ද ආණ්ඩුවට අලුතින් අවස්ථාවක් තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ අලුත් වටයකින් කේවල් කිරීමය. අරමුදල තාවකාලික ණය සංචිතයක් ප‍්‍රදානය කර පනවන ලද කොන්දේසිවල මෙතෙක් අනුගමනය කරන ලද පැති හා ඒවායේ සුබ අසුබ පෙන්වා දීර්ඝ සාකච්ඡා වටයක් ඇරඹීමය. මූල්‍ය අරමුදලට ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් මගහැරයාමට එහි නිලධාරීන්ට කිසිසේත් පුළුවන්කමක් නැත. ආර්ථිකය වර්ධනය කරන පියවර පෙන්වාදී යම් දේශපාලන ස්ථාවර භාවයක් කරා ගමන් කරන තෙක් ඉවසිල්ලෙන් ආධාර කරන සේ යෝජනා කරන්නට මහා භාණ්ඩාගාරයේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් සමත් වුවහොත් එය රටට ලැබෙන යම් ඉස්පාසුවකි. ඉන්ධන මිල සූත‍්‍රයෙන් උගත් පාඩම් පෙන්වා දිය හැකිය. විදුලිය බල මිල සූත‍්‍රයක් හඳුන්වා දීමට නොහැකි මන්දැයි තේරුම් කරන්නට හැකියාවක් තිබේ. ආර්ථිකය සංකෝචනය කර ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව සීමා කිරීමෙන් ආර්ථිකය නඟා සිටුවනවාට වඩා ආර්ථිකය ප‍්‍රසාරණය කර එයින් වැඩෙන මිල දී ගැනීමේ හැකියාව අනුව ආර්ථිකය නැවත වර්ධනය කරන්නට පියවර ගත හැකි බව තාර්කිකව ඔප්පු කරන්නට බැරිකමක් නැත. එවැනි පියවරක් සඳහා දක්ෂ සහ පළපුරුදු නිලධාරී යාන්ත‍්‍රණයක් රටට අවශ්‍යය. දේශපාලන වශයෙන් කොන්කිරීම පැත්තකට තබා දක්ෂ මානව සම්පත නිසි සේ භාවිතා කළහොත් රටට අනාගතයක් තිබේ.
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්වභාවය ඉදිරි කාලයේ දී කෙබඳු මුහුණුවරක් ගැනීමට ඉඩ තිබේද? හොඳ හෝ නරක ගැන ඉක්මන් බලාපොරොත්තු පළකරන්නට හැකියාවක් නැත. පසුගිය වසරේ ආර්ථිකයේ වර්ධනය සියයට 3.1 ක සීමාවේ පැවැතිණ. එය වසර දහසයකට පසු අවම වර්ධන වේගයයි. ආර්ථික වර්ධනය වෙනුවෙන් ආයෝජන අවශ්‍යය. ආයෝජන දිරිගන්වන අය-වැය යෝජනා අපේක්ෂා කළ යුතුය. පවතින ව්‍යුහය විප්ලවීය ප‍්‍රතිසංස්කරණවලට ලක් කළ යුතු අතර එසේ කිරීමේදී යම් අවදානමක් ගැනීමට සිදුවිය හැකිය. තරගකාරීත්වය ඇති කළ යුතුය. රාජ්‍ය ව්‍යවසාය කාර්යක්ෂම කරන අතර තව තවත් ආයෝජනය කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිගැන්විය යුතුව තිබේ. අලුත් තාක්ෂණය හා කාර්මික මෙවලම්වලට නැඹුරුවීමෙන් විනා රට තුළ ඇති බරපතළ ශ‍්‍රම හිඟයට මුහුණ දිය නොහැකිය. එවැනි තාක්ෂණික භාවිතයක් වෙනුවෙන් දිරිගැන්වීම් අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ තරැණ පෙළ ව්‍යවසායකත්වයට නැඹුරු කළ යුතු අතර ඒ වෙනුවෙන් පවතින බාධා සහමුලින්ම ඉවත්කිරීම ඉදිරි අය-වැය යෝජනාවකින් අපේක්ෂා කළ යුතු තත්ත්වයකි.
පවතින රාමුව වෙනස් කිරීම ඉදිරි අයවැයකින් කළ හැකිය. ශ‍්‍රී ලංකාවේ ඛනිජ තෙල් ආනයන පිරිවැය 2018 වසරේ පළමු මාස හතර තුළ සියයට 76 කින් වැඩි වී තිබේ. තෙල් ආනයනයෙන් සියයට හැටක් ප‍්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන්ය. විදුලිය නිපදවීමටද සෑහෙන ඉන්ධන ප‍්‍රමාණයක් වැයවෙයි. මෙම පැති වෙනස් කරගැනීම අවශ්‍යය. සූර්ය බලය එයට විකල්පයකි. සූර්ය කෝෂ වෙනුවෙන් අය කරන බදු සම්පූර්ණයෙන් ඉවත් කර ඒවා භාවිතයට නැඹුරුවන මහා පරිමාණ විදුලිය පරිභෝගිකයන්ට සූර්ය බලයට පරිවර්තනය සඳහා ඉලක්ක ප‍්‍රකාශයට පත් කර දිරිගැන්වීම් ප‍්‍රකාශයට පත් කළ හැකිය. වාහන ආනයනයේදී විදුලියෙන් ධාවනය නොවන වාහන වෙනුවෙන් බරපතළ සීමා කිරීම් සහිතව පොදු ප‍්‍රවාහනය වේගයෙන් සංවර්ධනය කළ යුතුය. අලුතින් දුම්රිය ගෙන්වා ධාවනය කිරීම වැදගත් ආයෝජනයක් වන අතර අවශ්‍යනම් එහි කොටසක් පෞද්ගලික අංශයට පැවරීම සුදුසුය. ඉන්ධනවලින් ඉතිරිවන ධනය හා පොදු ප‍්‍රවාහනය කාර්යක්ෂම වීමෙන් ඉතිරිවන කාලය හා ඉන්ධන නාස්තිය අවම කිරීම රටට විශාල වාසියක් වනු නිසැකය. එය ජනතාවට බෙදාදිය හැකිය. මහපාරේ සිදුවන තදබදය හෙයින් අවුරුද්දකට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකක පමණ අවාසියක් සිදුවන බව පර් යේෂණ වාර්තා පෙන්වා දී ඇත. ජපානය ශ‍්‍රී ලංකාවේ නාගරික ප‍්‍රවාහන පද්ධතිය සැලසුම් කරන පර්යේෂණයක් පවත්වා ඇති අතර කඩුවෙල, කෙරවළපිටිය, කඩවත හා කොට්ටාව යන මහා නගර බවට පත්විය හැකි ස්ථාන ආවරණය වන අලුත් ප‍්‍රවාහන සංකල්ප යෝජනා කර තිබේ. ඒවා අධ්‍යයනය කරන්නට අවශ්‍යය.
ලෝක ආර්ථිකයේ පවතින නොසන්සුන් තත්ත්වය සහ කාලගුණ ස්වභාවය ආර්ථික වර්ධනයට බලපෑම් කරනු නිසැකය. දීර්ඝ නියඟය හා අධික වර්ෂාව ශ‍්‍රී ලංකාවේ වියදම් වැඩිකර තිබේ. ක‍්‍රමානුකූලව ජනතාව විපත්වලින් ගලවන සැලැස්මක් අය වැය-වලට ඇතුළත් කළ යුතුය. නාගරික සංවර්ධන විෂයට පුළුල් අවස්ථා සැපයිය යුතුය. අනවසර ඉදිකිරීම් ඉතාමත් බහුලය. ඒවා විපත්වලට මඟ බව පෙන්වා දිය යුතුය. ජනතාව අනවසරයෙන් ඉදිකරන්නේ ඇයි? ආණ්ඩුවේ ආයතන කාර්යක්ෂම හා ප‍්‍රායෝගික ප‍්‍රතිපත්ති අනුගමනය නොකරන හෙයින් බව සඳහන් කළ යුතුය. ඉඩම් හෝ ගොඩනැගිලි සැලැස්මක් අනුමත කිරීමට ගතවන කාලය, අයට ඇති අවහිර අනවසර ඉදිකිරීම් වලට මුල බව පෙනේ. මෙවැනි යල් පැන ගිය පැති වෙනස් කරන්නට මුල්වීම අය-වැයක කාර්ය භාරය වශයෙන් සැලකිය යුතුය.
ආණ්ඩුවක බලය ලබාගැනීමට පහසුය. නමුත් ජනතාවට දැනෙන වෙනසක් කිරීමට පහසු නැත. ඒ වෙනුවෙන් තීරණ ගැනීම අවශ්‍යය. අභියෝගාත්මත තීරණ වලින් අලුත් දේ නිර්මාණය කළ හැකිය. අවස්ථාව සම්පාදනයෙන් විනා අවස්ථා ඇහිරීමෙන් රටක් දියුණු කළ නොහැකිය. සෑම ක්ෂේත‍්‍රයක් කෙරෙහිම අලුතින් හිතා බලා පවතින රාමුව වෙනස් කිරීම ඉතාම වැදගත්ය.
ගාමිණී සරත් ගොඩකන්ද