2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

දුක මාකට් කර ගාන කපන අයියලා

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

ලියුම්කරු පසුගිය දිනක කළුබෝවිල රෝහල වෙත පියමැන්නේ පෞද්ගලික කටයුත්තක් සඳහාය. සැණෙකින් අප සිටි ඒ ස්ථානයට පැමිණි එක්තරා පුද්ගලයෙක් අපගෙන් රුපියල් සියයක් ඉල්ලා සිටියේ ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණ සිටින ඔහුට යළිත් සිය ගමරට බලා යෑමට මුදල් නොමැති බව කියමිනි. එපමණකින් නොනැවතී ඔහු සිය වෛද්‍ය සහතික පවා පෙන්වා කියා සිටියේ තමන්ගේ දුක්ගැනවිල්ලය.

එතැන සිටි මැදිවියේ මහතෙක් පසුම්බියෙන් රුපියල් සියයක් ගෙන ඔහු වෙත පෑවේය. ඔහුගේ මුළු මියගිය හත්මුතු පරම්පරාවටම පිං පැමිණ වූ ඔහු එම ස්ථානයෙන්ම බස් රථයකට ගොඩවිය. 

ඉන් දින දෙකකට පමණ පසුව කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී ලියුම්කරැට පෙර අප සිටි ස්ථානයට පැමිණ රැපියල් සියයක් ලබාගත් රෝගියා නෙත ගැටුණේ අහම්බයෙනි. පෙරදා මෙන්ම එම වැකියම කියමින් ඔහු මිනිසුන්ගෙන් මුදල් ඉල්ලමින් සිටී.

අයියේ ටිකක් කතාකරන්න පුළුවන්ද?

ඔයා කවුද?

මම පත්තරෙන්. ටිකක් කතා කරන්න පුළුවන්ද?

මොනවා කථා කරන්නද මල්ලි මම මේ ඉස්පිරිතාලේ ඉඳන් ගෙදර යන්න විදියක් නැතුව ඉන්නේ?

බොරු කියන්න එපා අයියේ. ඔයා ඕක දැන් දවස් දෙකකට විතර කලිනුත් ඔහොම කියලා අපි ඉන්න තැනකට ඇවිත් මහත්තයෙක්ගෙන් සල්ලි අරන් ගියා....

ඉන්පසු මඳක් වටපිට බැලූ ඔහු ලියුම්කරැ හා කතාබහ කිරීමට කැමති වූයේ කොන්දේසි කිහිපයක්ම දැමීමෙන් අනතුරුවය.

මහත්තයා පොඩ්ඩක් ඉන්නවද ලෙඩ්ඩු බලලා ඉවරවෙන වෙලාව එනකම්.... ඒ ඔහුගෙන් ලියුම්කරු වෙත ලැබුණු පළමු ඉල්ලීමය. දහවල් එකට රෝගීන් බලන වෙලාව නිමවූ පසු ඔහු කඩිසර ගමනින් ලියුම්කරැ වෙත පැමිණියේ හැකි ඉක්මනින් නැවත යාමේ බලාපොරොත්තුවෙන් විය යුතුය.

මහත්තයට මොනවද දැන් දැනගන්න ඕන?

මීට දවස් දෙකකට විතර කලිනුත් ඔයා කළුබෝවිල හොස්පිට්ල් එක ළඟට ඇවිත් අපි හිටපු තැන මහත්තයකුගෙන් රැපියල් සීයක් අරන් ගියානේ....

මේකෙන් තමයි මම ජීවත් වෙන්නේ. මේක තමයි මගේ රස්සාව.

ඇයි වෙන රස්සාවක් කරන්න බැරිද?

වෙන රස්සාවක් කරන තරමටම මම ඉගෙන ගෙන නැහැ. අනික කුලී වැඩකරලා දවසට රුපියල් 2000ක් 2500ක් හොයාගන්න බැහැනේ.

ඔහු එසේ පැවසුවද ඔහු දකිනා ඕනෑම කෙනෙකුට ඔහු අධ්‍යාපනයක් නොලැබූවකු බවට කීමට නොහැක. ඔහු කතාවෙන් මිනිසුන් අල්ලා ගැනීමට සමතෙකු බව ලියුම්කරැට වැටහුණේ ඔහුගේ කතාවට මිනිසුන් වශී වී මුදල් ලබාදෙන අයුරැ දැකීමෙනි.

දැන් කොච්චර කාලයක් ඉඳන් මේක කරනවද?

දැන් අවුරුදු පහක් විතර මේක කරනවා මල්ලි. කීයක් හරි හොයාගන්න පුළුවන්නේ මේකෙන්.

ඇයි ඉස්පිරිතාල ළඟම මේ වැඩේ කරන්නේ?

මෙහෙමනේ මල්ලි, කළුබෝවිලටයි මහ ඉස්පිරිතාලෙටයි ලෙඩ්ඩු බලන්න දවසකට කී දෙනෙක් එනවද? ඒ අය කොහොමත් නිකන් එන්නේ නෑනේ මල්ලි. දුක මාකට් කරන්න පුළුවන් නම් කීයක් හරි හොයාගන්න පුළුවන් දවසටම පැය දෙකයිනේ ඉන්න ඕන... දවල්ට ලෙඩ්ඩු බලන වෙලාවට එනවා ආයේ හවසට ලෙඩ්ඩු බලන වෙලාවට එනවා... හැබැයි ඉතින් එකම තැන ඉන්නේ නෑ ඒ වෙලාවල්වලට.

ඒ කිව්වෙ?

මෙහෙමනේ දවල්ට කළුබෝවිල හිටියොත් හවසට මහ ඉස්පිරිතාලේ ළඟ. දවල්ට මහ ඉස්පිරිතාලේ ළඟ හිටියොත් හවසට එක්කෝ රාගම නැත්නම් කළුබෝවිල.

ඔය විදියට ලෙඩ්ඩු බලන්න එන අය සල්ලි දෙනවද?

සල්ලි දෙන්නේ නැත්නම් මම මේ වැඩේ අවුරුදු පහක් විතර කරන්නේ නෑනේ මල්ලි. දුක මාකට් කරන තරමට තමයි සල්ලි හොයන්න පුළුවන්.

සල්ලි දෙන්නේ නැති අයත් ඉන්නවද?

වැඩි හරියක් මිනිස්සු මට නම් සල්ලි දීලා යනවා. සමහරැ බස් එකේ යන්න සල්ලි නෑ කිව්වම යන්නේ කොහෙටද කියලා අහලා බස් එකේ ටිකට් එකක් අරන් දෙනවා. ඒ වෙලාවට නගින හෝල්ට් එකට එකක් පාස්කරලා කොන්දොස්තරගෙන් සල්ලි අරන් බහිනවා...

ඒ වුණාට මිනිස්සුන්ට ඔයා කරන්නේ බොරුවක්නේ?

ඒක නම් මම දන්නවා මල්ලි. ඒ වුණාට මංකොල්ල කන්නේ නැතුව හොරකම් කරන්නේ නැතුව මෙහෙම කීයක් හරි හොයා ගත්තට අවුලක් නෑනේ..... බස්වල නැගලා ඔය  පන්සල් පල්ලි ගාවට ගිහින් චාටර් වෙනවට වඩා මෙහෙම දුක මාකට් කරලා කීයක් හරි හොයාගත්තට කමක් නැහැනේ.

ඔය ඉස්පිරිතාලෙ දෙක ළඟට විතරයිද යන්නේ?

නෑ... නෑ... මගේ ෂෙඩුල් එකක් තියෙනවා මෙතනම හැමදාම හිටියොත් මිනිසුන්ට මාව නෝට් වෙනවනේ. ඔය මීගමුව කුරැණෑගල, කරාපිටිය, මාතර ඔය හැමතැනම යනවා. බස් ගාස්තුයි කන්නයි විතරයිනේ සල්ලි යන්නේ. සමහර දවසට කන්නත් අරන් දෙනවා සමහරැ එහෙම වුණාම. අවුලක් නෑනේ මල්ලි දවසකට ඉස්පිරිතාල දෙකක් කවර කර ගත්තොත් ගොඩ.

එලෙස පැවසූ ඔහු ලියුම්කරුගෙන් සමුගත්තේ රාගමට යාමට ඇති බව කියමිනි.

අනුකම්පාව උදෙසා බොහෝ යාචකයන්ට මෙන්ම නැති බැරි අයට උදව් කරන්නේ අප රටේ මිනිසුන් තුළ පවතින එකිනෙකාට උදව් කිරීමේ ගුණාංගය නිසාමය. නමුත් මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියා දුටු විට තවත් නොබෝ කලකින්ම මිනිසුන් විසින් යමක් තවකෙකුට ලබාදීමට පෙර දෙවරක් සිතනු ඇති බව නොඅනුමානය.

හසිත් අංජන